රුවන් විෙජ්වර්ධන මහතා, වික්‍රමසිංහ මහතාගේ සමීපතම ඥාතිවරයකුවන අතර එම පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා, වික්‍රමසිංහ මහතාගේ සමීපතම මිතුරෙකුවේ.
නිලවරණයේදී තමා වෙනුවෙන් ඉටුකළ කාර්යභාරය පිළිබඳව මලික් සමරවික්‍රම මහතාට ස්තුතිය පළකොට ඇති සජිත් ප්‍රේමදාස මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද සාකච්ඡාවක් ලබාදීමට වේලාවක් වෙන්කර දෙන ලෙස ඉල්ලා තිබේ.
පසුගිය 19වන දා පැවති නිලවරණය භාරව සිටි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සෑම ඡන්ද පත්රිකාවකම සංඛේත අංකයක් යොදා තිබූ බවත්, එම සංඛේත අංකවලට අනුව වික්‍රමසිංහ මහතාට එරෙහිව ඡන්ද දුන් පුද්ගලයින් හඳුනාගත හැකි බවත්, එවැනි තත්ත්වයක් මතුවුවහොත් කරු ජයසූරිය මහතාට ඡන්දය දුන් පිරිස අනාගතයේදී දරුණු පලිගැනීමකට ලක්විය හැකි බවත් පවසා ඇති සජිත් ප්‍රේමදාස මහතා, එම ඡන්ද පත්‍රිකා සියල්ල ගිනිතබා විනාශ කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාටත්, තිස්ස අත්තනායක මහතාටත් බලපෑම් කරන්නැයිද සමරවික්‍රම මහතාගෙන් ඉල්ලා තිබේ.
සායිබාබා මධ්‍යස්ථානයේ ආගමික උත්සවයක් සඳහා තිස්ස අත්තනායක මහතා 23වනදා සතියක සංචාරයක් සඳහා ඉන්දියාවට යන බවත්, විපක්ෂ නායකවරයාද අවුරුදු නිවාඩුව සඳහා විදේශගතවන බවත් පවසා ඇති මලික් සමරවික්‍රම මහතා, ඡන්ද පත්‍රිකා සම්බන්ධ කාරණය ඊට පෙර ඔහුන්ට දැනුම් දී ඡන්ද පත්‍රිකා ගිනි තැබීමට කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතාට පොරොන්දු වී තිබේ.
කෙසේ වුවද කරු ජයසූරිය මහතා පිළිබඳව විපක්ෂ නායකවරයා බලවත් කෝපයකින් සිටින බැවින් ඔවුන් දෙදෙනා අතර ගැටුම නිරාකරණය කිරීමට මේ මොහොතේ මැදිහත් විය නොහැකි බවද පවසා ඇති මලික් සමරවික්‍රම මහතා, ඉදිරියේදී එජාප නායකයා සමඟ ගැටුමකට නොගොස් සහයෝගයෙන් කටයුතු කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.
Source : lankanewsweb.com