සනේන්ද්ර මෛත්‍රී ගුණරත්න, ශිරාල් චිරන්ත ලක්තිලක, හෙට්ටිආරච්චිගේ සුභාෂ් රවී ජයවර්ධන, වීරසිංහ ආරච්චිගේ චන්දිම නයනජිත්, ආරියරත්න සන්තියාගූ, කිරිඇල්ල ගුරුන්නාන්සේලාගේ රවීන්ද්‍රලාල් පෙරේරා, දොන්සලු රොෂාන් ඉන්දික ද සිල්වා, කෝකමාදුව මුදලිගේ දෂිත මනුරංග, කුරකුලසූරිය පල්ලටීටන් කට්ටිගේ ජොහාන් පෝල් ප්‍රනාන්දු, අරුණ ශාන්ත සමරවික්‍රම, බාලසූරිය ආරච්චිගේ නන්දන බාලසූරිය, ගොඩගමුවගේ චන්දදාස ගොඩිගමුව, ගමරාලලාගේ චමින්ද සෝමරත්න, හේරත් මුදියන්සේලාගේ ජයරත්න, හිටිහාමිල්ලාගේ අජිත් සෙනරත් කුමාරසිංහ, සේගු ආදම් දයාදරන් ප්‍රේම් කෙයාස් සහ මොහොමඩ් ලාෆීර් මොහොමඩ් රියාල් යන විත්තිකරුවන් මෙසේ ඇපමත මුදා හරිනු ලැබීය.
මෙම විත්තිකරුවන් 17දෙනා නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් තීන්දුව කිසිදු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.
මෙම නඩුවේ සැකකරුවන් මාවෙත ඉදිරිපත් කරණු ලැබු චෝදනා සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විසින් මුල් අවස්ථාවේදී මුල් බී වාර්තාවේ දක්වා සිටින කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය විසින් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියමකර ඇත. එකී චෝදනා මුල් අවස්ථාවේදීම ඇප දියහැකි වරදවල් බව ඇප පනතේ ප්‍රතිපාදන අනුව පැහැදිලිය. එහෙත් මෙම නඩුවේ මුල් බී වාර්තාවේ ඉදිරිපත් කරන ලද කරුණුවල තත්ත්වය සැලකිල්ලට ගෙන මහජන කැලබීමක් සහ සාමය කඩවීමක් ඇති වීමට ඉඩකඩ ඇත්තද යන්න ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගෙන මා විසින් ඇප නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.
අද දින සැකකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටින්නේ, මෙම සිද්ධියෙන් පස් වෙනත් කිසිදු සිද්ධියක් වාර්තා නොවන බැවින් ඔවුන්ට ඇප ලබා දෙන ලෙසයි. එහෙත් මිරිහාන පොලිසිය අද දින වැඩිදුර වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල රථයට අලාභහානි සිදු කර ඇති බැවින් එය පොදු දේපළ පනත යටතේ ගැනෙන වරදක් හෙයින්ද, සිදුකරන ලද අලාභය රුපියල් ලක්ෂ 5ක පමණ අලාභයක්වන බැවින්ද, ඇප ලබානොදෙන ලෙසයි. එමෙන්ම මුල් බී වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ද විමර්ශන අවසන් නොමැති බව පොලිසිය වැඩිදුරටත් මා හට කරුණු ඉදිරිපත් කර සිටී.
ඒ අනුව මෙම නඩුවේ කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම සිද්ධිය එක්සත් ජාතික පක්ෂයේ නායක ධූරය සහ නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේදී උද්ගතවූ ගැටලූවකි. මුල් බී වාර්තාවේ සහ වැඩිදුර වාර්තාවල සඳහන් කරුණු විමර්ශන කිරීමේදීද අද දින මා විසින් විවෘත අධිකරණයේදී පොලිසියෙන් විමසන ලද කරුණුවලින්ද අනාවරණය වන කරුණුවලින්ද, පැහැදිලිවන්නේ මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණය සඳහා එකම පක්ෂයේ කණ්ඩායම් දෙකක් සිටි බවයි. ඒ අනුව මගේ වැටහීම වන්නේ එම සිද්ධියවන අවස්ථාවේදී මෙම ස්ථානයේ සිට ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ එක් කණ්ඩායමක් එනම් සැකකරුවන් ලෙස මෙම අධිකරණයට ඉදිරිපත් කර ඇති කණ්ඩායම පමණක් නොවන බවයි. මගේ වැටහීම වන්නේ ඒ අනුව එකම පක්ෂයේ කණ්ඩායම් දෙකක විශාල පිරිසක් මෙම අවස්ථාවේ සිටි බවයි.
එමෙන්ම මෙවැනි අවස්ථාවක් ඛෙහෙවින් සංවේදී මෙන්ම ඛෙහෙවින් සංකීර්ණ ප්‍රශ්නයක්ද වේ. මෙම අවස්ථාවට පැමිණි පුද්ගලයන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක වැදගත් අවස්ථාවකට සහභාගි වූ විවිධ දිසාවලින් පැමිණි පුද්ගලයන්වන අතර, එසේ පැමිණි පුද්ගලයෝ සියලූ දෙනා එකම අරමුණකින් පැමිණි බවට හෝ මාවෙත ඉදිරිපත් කරන ලද සැකකරුවන්ගේ මග පෙන්වීම අනුව, ඔවුන්ගේ මෙහෙයවීම අනුව මෙම ස්ථානයට පැමිණි බව හෝ සැලකීමට හැකියාවක් නැත. එමෙන්ම මෙවැනි අවස්ථාවකදී විශාල පිරිසක් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් පුද්ගලයන් කිපදෙනෙකු මත පමණක් වගකීම පැවරීමද අසීරු කරුණකි. කෙසේ වෙතත් මෙම සිද්ධියේ බැරෑරුම්කම අනුව මුල් අවස්ථාවේදීි සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
විත්තියේ නීතිඥමහත්වරුන් මගින් ඉදිරිපත් කරන කරුණු අනුව මෙම සිද්ධිය හැරුණු විට ඉන් පසු වෙනත් කිසිදු සාමය කඩවීමේ හෝ මහජන කැලබීමේ හෝ කිසිදු සිද්ධියක් වාර්තා වී නැත.
එමෙන්ම පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂයක සාමාජියකන් රාශියක් එක්රැස්ව සිටින තැනක සිදුවන සිද්ධියක් මුලින් සැලසුම් කොටගෙන සිදුකරන ලද සිද්ධියක් ලෙස සැලකීම අපහසුය. එමෙන්ම මුල් බී වාර්තාවේ මෙන්ම මා ඉදිරියේ ඇති කරණු සැලකිල්ලට ගැනීමේදීද කලහකරුවන් භාවිතා කර ඇත්තේ ගල්මුල් බව පැහැදිලිය. මගේ වැටහීම වන්නේ පෙර සූදානමකින් පැමිණියේ නම් භාවිතාවන ආයුධ මේවා නොවන බවයි. එහෙයින් මේ සැකකරුවන් සම්බන්ධයෙන් විත්තියේ නීතිඥ මහත්වරුන් දක්වන කරුණු සැලකිල්ලට ගනිමි.
දෙවනුව අධිකරණය හමුවේ ඇති ගැටලූව වන්නේ පොදු දේපල පනත යටතේ ඉදිරිපත් කරන මෙවැනි චෝදනාවක සැකකරුවන් මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණයට හැකියාවක් තිබේද යන්නය.
පොදු දේපළ පනතේ 8වන වගන්තියේ දැක්වෙන විශේෂ අවස්ථා යටතේ මහේස්ත්රාත්වරයාට සුදුසු ඇප නියෝගයක් කිරීමට පොදු දේපළ පනත යටතේ බලය දී ඇත. එසේ බලය දී ඇත්තේ මෙම පනතේ ප්‍රතිපාදන අනුව පුරවැසියකුට සිදුවිය හැකි අගතිය ඉතා ප්‍රවේශමෙන් බලා, කල්පනා කර බැලීමට මහේස්ත්රාත්වරයාට බලය ලබාදීම උදෙසාය. ඒ අනුව මෙවැනි කලහයක සිදුවන සිද්ධියක වගකීම පුද්ගලයන් කිපදෙනෙක් මත පමණක් පැවරිය හැකි බව මට නොපෙනේ.
අනෙක් අතට වෙනත් පොදු දේපළ මෙන් නොව අදාළ පොදු දේපළ චංචල දේපළක්වන අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ඇතිවන ගැටලූවක් අධිකරණය ඉතා කල්පනාවෙන් ක්‍රියා කළ යුතු බව මගේ වැටහීමයි. ඊට හේතුව වාහනයක් වැනි පොදු දේපළක් පොදු කටයුත්තක් සඳහා මෙන්ම පෞද්ගලික කටයුත්තක් සඳහා මෙන්ම යොදා ගැනීමට හැකි බැවිනි. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් තේරීමේ නිලවරණය එම පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිදු වූ, එම පක්ෂයට පුද්ගලික දෙයක් බව මගේ වැටහීමයි. එසේම එදින විපක්ෂ නායකතුමා එම ස්ථානයට පැමිණ ඇත්තේ පක්ෂ නිලවරණයට තරග කිරීම සඳහා මිස විපක්ෂ නායකවරයාගේ නිල තත්ත්වයෙන් නොවන බව මාගේ වැටහීමයි. එහෙයින් විපක්ෂ නායක තුමාගේ නිලරථය එතුමා කිසියම් නිල කටයුත්තකට සහභාගිවන අවස්ථාවලදී මුහුණ දෙන වරදකට වඩා මෙම සිද්ධියේ කිසියම් වෙනසක් මම දකිමි. එහෙයින් මම එකී කරුණද සැලකිල්ලට ගනිමි.
තවද මා විසින් විවෘත අධිකරණයේදී විමසා දැන ගන්නා ලද පරිදි විපක්ෂ නායක තුමාට ලබාදී ඇති නිල රථය වෙඩි නොවදින නිල රථයක්වන අතර, මෙම කලහකරුවන් විසින් පහර දෙන ලද ගල්මුල්වලින් බරපතල අලාභ වූයේද යන්න සනාථවන බව කිසිදු ලේඛනයක් මා ඉදිරියේ නැත.
සහකාර පොලිස් අධිකාරී නිහාල් රංජිත් මෙන්ඩිස් මහතා මා වෙත ඉදිරිපත් කරනු ලැබූ කරුණු අනුව මෙම වරද පොදු දේපළ පනත යටතේ ගැනෙන වරදක් බවට විස්තර කර ඇත. එසේ වුවද අද දින මා වෙත ඉදිරිපත් කරන වැඩි දුර වාර්තාවේ මෙම අලාභ මුදල ලක්ෂ 5ක තක්සේරු කරන ලද්දේ කෙසේද යන්න පිළිබඳව තක්සේරු වාර්තාවක් පොලිසිය වෙත ලබා දී නැත. එහෙයින් මම ඉහත සඳහන් කරුණු සියල්ල පොදු දේපළ පනතේ 8වන වගන්තියේ දැක්වෙන විශේෂ කරුණු ලෙස සලකමි. එහෙයින් මම සියලූ ඇපකරුවන්ට ඇප ලබාදීමට තීරණය කරමි.
එක් එක් සැකකරුවන්ට රුපියල් 10,000 බැගින් මුදල් ඇප. රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප. සෑම ඉරුදිනම මිරිහාන පොලිසියට උදේ 9ත් 12ත් අතර වාර්තා කළ යුතුයි.
සාමය කඩවීමක් වාර්තා වුවහොත් ඇප අවලංගුවන බවට සහතික කරමි.
අ/කළේ
(එම්.එම්.ආර්. අනුර කුමාර)
2011.12.22
නඩු අංකය - බී /4390/11
Source : lankanewsweb.com