Chitika Smowtion 468x60


Friday, March 2, 2012

ජී.එල්-සමරසිංහ ගැටුම වැලැක්වීමට ජී.එල් අප‍්‍රිකාවට යවලා


ජනාධිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පසුගියදා (26) හදිසියේම අප‍්‍රිකාවට යවා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ වැවිලි කාර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එරටට ගියදා සිටම ඇති කරගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම වලක්වා ගැනීම සඳහා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා වුවද, ජනාධිපතිවරයා විසින් ජිනීවා සැසිවාරයට සහභාගී කරවූ ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කර තිබීමත්, ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඔහුට ජිනීවා හිදි විශේෂ පිලිගැනීමක් හිමිවීමත් පීරිස් මහතාගේ අමනාපයට හේතුවී තිබේ. එම තත්ත්වය යටතේ ජිනීවා සැසිවාරයට සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය පැහැදිලිව දෙකට බෙදී ඇති බවත් අප මීට පෙර වාර්තා කළෙමු.


පසුගිය බදාදා පස්වරු 6 ට පමණ ජී.එල්. පීරිස් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින්, මහින්ද සමරසිංහ අමාත්‍යවරයා තමාව ගණන් නොගන්නා බවටත් ඔහු තමාට නොදන්වා ප‍්‍රකාශ ලබාදෙන බවත්, ඔහු සමුළුව අමතා කරන කතාවේ පිටපතක් මෙතෙක් තමාට ලබාදී නොමැති බවටත් චෝදනා කර තිබේ.

විදේශ ඇමතිවරයාගේ එම කන්දොස්කිරියාවෙන් කෝපයට පත් ජනාධිපතිවරයා, ‘‘ඇමතිතුමා ඔයාට විදේශ ඇමති විදිහට අපේ අයව හසුරුවාගන්න බැරිනම්, ඉතිං කොහොමද අනිත් රටවල එවුන්ගේ ඡුන්ද ගන්න හදන්නේ.... කරුණාකරලා මට කරදර නොකර ඔක්කොම එකතුවෙලා වැඩකරන්න’’ යැයි දැඩි ආවේගයෙන් යුතුව පවසා තිබේ. ‘‘මම ඔහේට කිව්වා ඔය ෂෙනුකා ගෑනි ගෙනියන්න එපා කියලා. බලන්න දැන් තමරයි එය ගෑනියි කෙහෙවලූ පටලවා ගන්නවා. ඇමතිතුමත් කරන්නේ නැති ප‍්‍රශ්න දාන එකමයි’’ යැයි කියමින් දුරකථනය විසන්දි කර තිබේ.

ජනාධිපතිවරයා හා විදේශ ඇමතිවරයා අතර එම දුරකථන සංවාදය සිදුවෙද්දී, මෛත‍්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ යන අමාත්‍යවරුන්ද හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාද ජනාධිපතිවරයාගේ ආසන්නයේ සිට ඇත.

දුරකථන සංවාදය එසේ අතරමග නවතා දැමූ ජනාධිපතිවරයා, ‘‘මේ යකාට පිස්සුද කොහෙද? ඇත්තටම  ඕකට මෙන්ටල් ප‍්‍රශ්නයක් තියෙනවා. මේ යකා විදේශ ඇමතිකරලා මට දැන් පුදුම කරදරයක් වෙලා තියෙන්නේ’’ යැයිද අවට සිටින පිරිසට ඇසන සේ මහහඩින් පවසා ඇත.

උගත් පාඩම් කොමිසමේ වාර්තාව නිකුත් කිරීමටත් පෙර පසුගිය මාර්තු මාසයේ වොෂින්ටනයට ගිය ජී.එල් පීරිස් අමාත්‍යවරයා, උගත් පාඩම් කොමිසම් වාර්තාවෙන් දෙන නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවට ඇමරිකානු නිලධාරීන්ට පොරොන්දු වී ඇති බවත්, අඩුම තරමින් එවැනි පොරොන්දුවක් දීමට පෙර තමාගෙන් හෝ කිසිදු විමසීමක් සිදු නොකල බවත් එම පිරිස සමග වැඩිදුරටත් පවසා තිබේ.

එම සිද්ධියෙන් අනතුරුව ජී.එල්. පීරිස් අමාත්‍යවරයා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රධානී නවනීදන් පිල්ලේ මහත්මිය හමුවීමට නිමල් සිරිපාල අමාත්‍යවරයා සමග ගියද එම අවස්ථාවට මහින්ද සමරසිංහ අමාත්‍යවරයා සමබන්ධ කර නොගෙන ඇත.

තවද ජී.එල් පීරිස් අමාත්‍යවරයා පසුගිය සිකුරාදා යළි ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට සහ ජිනීවා හි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා මහත්මියට එරෙහිවත් චෝදනා ගණනාවක් ඉදිරිපත් කර තිබේ. එයින් කෝපයට පත් ජනාධිපතිවරයා මහින්ද සමරසිංහ මහතාට අවශ්‍ය පරිදි ජිනීවා හා කටයුතු කරගෙන යාමට ඉඩදී යළි ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජී.එල්. පීරිස් මහතාට දැඩි ලෙස ප‍්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයාගේ බැනවැදීම් හමුවේ බලවත් සේ සිත්තැවුලට පත්ව ඇති ජී.එල්. පීරිස් අමාත්‍යවරයා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට දුරකථන ඇමතුමක් දී තමා එකවර ලංකාවට පැමිණිය හොත් එය තමාගේ තනතුරට කැලලක් විය හැකි හෙයින් අප‍්‍රිකානු රටවල සහාය ලබාගැනීම සඳහා අප‍්‍රිකාවේ සංචාරයකට සහභාගී වීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. ජනාධිපතිවරයා ජී.එල්. පීරිස් මහතාව අප‍්‍රිකාවට යවා ඇත්තේ ඒ අනුවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රටවල් 47 කින් සමන්විත වන අතර අප‍්‍රිකානු රටවල් 13ක් ඊට අයත් වේ. මෙම රටවල සහාය ශ‍්‍රී ලංකාව වෙත ලබාගැනීම සඳහා විදේශ ඇමතිවරයා මීට මාසයකට පෙරද එම රටවල විදේශ ඇමතිවරුන් හමුවීම සඳහා ගොස් තිබිණ.



Source - lankanewsweb.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends