Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

වල් වැදී ඇති රටේ නීතිය හා සාමය යළි තහවුරු කිරීමට උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි


2009 මැයි මස යුද්ධය නිමා වීමත් සමග මතු වූ යුධ අපරාධ හා ශී‍්‍ර ලංකා ආණ්ඩුව සතු වගවීම
වෙනුවෙන් ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි 19 වන සැසියට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව විසින් ඉල්ලා සිටින්නේ, තමන් සතු ව්‍යවස්ථාමය බලය මත ජනාධිපතිවරයා පත්කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි නිර්දේශ සියල්ල කි‍්‍රයාත්මක කරන බවට සහතිකයකි.
ඒ අතරතුර, රට තුළ නීතිය හා සාමය බිඳ වැටීම පිළිබඳව මෙතෙක් වාර්තා වූ තොරතුරුවලින් පෙන්නුම් කරන්නේ, කොමිසමෙහි නිර්දේශ උතුරු නැගෙනහිර ජනතාවට පමණක් නොව, මුළු රටටම අදාල බව යි. එනිසාම, මේ රටේ යළි නීතිය හා සාමයත් ප‍්‍රජාතක්ත‍්‍රවාදයත් තහවුරු කර ගැනීමේ වගකීම, අප වෙත බාර වන්නකි.


උතුරු නැගෙනහිර පවතින හමුදා කි‍්‍රයාකාරීත්වයත්, නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම්වල අවනීතියත්, පරිපාලනයට ස්වාධීනව කටයුතු කිරීමට ඇති නොහැකියාවත්, පොලීසිය ස්වාධීන සිවිල් ආයතනයක් නොවීමේ ආදිනවත් කොමිසමේ අවසන් වාර්තාව මගින් පැහැදිළිව සනාථ කෙරෙයි.
ඒ සියල්ල, දැන් රටේ සෙසු පළාත්වලටත්, සෙසු ජනතාවටත් අදාලය. පාතාල සාමාජිකයින් හා නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් දේශපාලන බලය සමග නිදැල්ලේ හැසිරීම දැන් පොදු තත්ත්වයක් බවට පත්ව තිබේ. කොලොන්නාවේ දී භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සිට මේ වන විට, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා පළාත් පාලන සභිකයින් නීතිය සියතට ගෙන සිදු කරන හා සිදු කළ අපරාධ සම්බන්ධ මාධ්‍ය වාර්තා හා තොරතුරු එමට ය.
ඉතාම මෑතක දී පොලීසියේ උසස් නිලධාරියෙකු රුපියල් දසලක්ෂයක අල්ලසක් ගැනීමේ දී කොටු විය. එහෙත් අප පළමු වරට හමුදා නිලධරයෙකු සහ පොලීසියේ කිහිප දෙනෙකු මිනී මැරීමට කොන්ත‍්‍රාත් ගන්නා බව ඇසුවේ මේ ආණ්ඩු පාලනය යටතේ ය. නීතිය සාධාරණව කි‍්‍රයාත්මක වීම ගැන කිසිදු විශ්වාසයක් නැති ජනතාව, පොලීසි වටලා, පොලිස් නිලධාරීන්ට පහර දීමත් මෑතක දී, වරක් නොව, දෙවරක්ම සිදුවිය.
කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභිකයින් විසින් ඇමති මර්වින් සිල්වාට එරෙහිව නැගූ මුදල්
කොල්ලකෑමේ චෝදනාත්, තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති විසින් බීමත් පිරිසක් සමග විදේශිකයෙකු සංචාරක හෝටලයක දී ඝාතනය කර ඔහු සමග සිටි විදේශික තරුණියකට බරපතල තුවාල සිදු කිරීමත්, ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද පැටලී ඇති කහවත්තේ ද්විත්ව කාන්තා මිනීමැරම හා මත්කුඩු ජාවාරමත් මෑත කාලයේ කැපී පෙනෙයි. ඒ සමගම ගොඩකවෙල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා සභිකයෙකු තරුණයෙකුට සාහසික ලෙස පහර දී මරා දැමීමක් ද තිබේ. මේ සියලූ දෙනාම ආණ්ඩුවේ දේශපාලනඥයින් ය. ආණ්ඩුවේ බලය මත එසේ කි‍්‍රයා කළවුන් ය. එනිසාම ඔවුන්ට එරෙහිව නීතිය සාධාරණව හා නිසියාකාරව කි‍්‍රයාවට නැගෙන්නේ නැති බව සමාජය දන්නා කාරණාවකි.
ඉතාම ආසන්න සිදුවීම සළකතොත්, කොළොන්නාව නගර සභා සභාපති රවීන්ද්‍ර උදයශාන්ත ප‍්‍රසිද්ධ
ප‍්‍රකාශයක් කරමින් පවසන පරිදි, ඔහුව පැහැර ගැනීමට පැමිණි සුදු වෑන් රියෙහි වූ පිරිස
ප‍්‍රදේශවාසීන් විසින් කොලොන්නාව පොලීසියට කොටු කර දුන් පසු ඔවුන්ට විරුද්ධව කිසිදු
පියවරක් ගෙන නැතිවා පමණක් නොව, ඔවුන්ව නිදහස් කර යවන තරමට නීතිය වල්වැදී ඇත. මාධ්‍ය වාර්තා අනුව, පොලීසියට හසු කර දෙනු ලැබූයේ හමුදාවේ සිව් දෙනෙකි. ඒ සම්බන්ධව නිල වශයෙන් කෙරෙන ප‍්‍රකාශවල ඇති අතාර්කික හිස් බව, මේ රටේ වෙසෙන කිසිවෙක් විශ්වාස නොකරති. ඒ සිදුවීමේ උණුසුම තිබියදීම, පසු දින බොරැුල්ලේ දී තවත් සුදු වෑන් පැහැර ගැනීමක් වාර්තා විය.
මේ ආකාරයෙන් මේ රටට පැවතිය නොහැක. මේ රට, පාතාලයට සහ දේශපාලන මැරයින්ටත්, දේශපාලනයෙන් dhuuෂණය වූ පොලීසියටත් බාරදී අහක බලා ගැනීම අමනෝඥ ය. ඒ නිසා, ජනාධිපතිවරයා විසින්ම පත්කළ, උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ඉදිරිපත් කර ඇති, ජනතාවගේ එදිනෙදා ජීවිතයට වැදගත් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කළ හැකි නිර්දේශ වහා කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව අපි අවධාරණය කරමු.
ඒ අනුව, කොමිසම විසින් නිර්දේශිතඃ
01. සිවිල් පාලනයට සම්බන්ධ සියලූ කාර්යන්ගෙන් වහාම හමුදාව ඉවත් කිරීමේ අවශ්‍යතාව (අංක 5.104(2.4 ) සහ 8.211 )
02. නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් වහා නිරායුධ කර, විසුරුවා හැරිය යුතු බව (අංක 5.66 )
03. ස්වාධීන පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභා පත්කිරීමට යෝජනා කිරීම (අංක 8.209 )
04. ජනතාවගේ වුවමනාවන් හා අපේක්ෂාවන් සඳහා බලය විමධ්‍යගත කිරීම (පිටු 275 - 277 සහ පිටු 307-8 )
05. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම (පිට 353 )
ඇතුලූ, උතුරු-නැගෙනහිර ජනතාවගේ සාමකාමී පැවැත්මට විශේෂයෙන් අදාල නිර්දේශ සියල්ල වහා
කි‍්‍රයාත්මක කිරීමට නොපමාව පියවර ගන්නැ යි අපි ආණ්ඩුවට බල කරමු.
අත්සන් කළේ,
ගාමිණි වියන්ගොඩ 0777 664757- ජයතිලක කම්මැල්ලවීර-
චන්ද්‍රගුප්ත තේනුවර 0777 350228- කේ.ඩබ්ලිව්. ජනරංජන 0777 304121-
සුදර්ශන ගුණවර්ධන 0777 342834- කුසල් පෙරේරා 0773 508328,
(පුරවැසි අයිතිය වෙනුවෙන් )
කොළඹ දී


Source - lankanewsweb.com

Share this article with your friends