Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

ජවිපෙ දෙදෙනෙකු ඝාතනය කළ ‘අමරේ’ට විශේෂ ආරක්‍ෂාවක් ?


ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (15) හම්බන්තොට කටුවන ප‍්‍රදේශයේ නිවසක සංවිධානය කර තිබූ රැස්වීමකට කඩා වැදී එහි සිටි පිරිසට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කළ ‘ජූලම්පිටියේ අමරේ’ නමැත්තාට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට පොලිසිය කටයුතු කර ඇත. මේ දිනවල කියුබාවේ සංචාරයක යෙදී සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ඊයේ පස්වරුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර සේනාරත්න මහතාට දුරකතනයෙන් කතා කොට වහාම ‘අමරේගේ’ ආරක්‍ෂාව තහවුරු කරන්නැයි නියෝග කර ඇත.
ඒ අනුව, ඊයේ රාති‍්‍රයේම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්ද ඇතුළුව 176 දෙනෙකුගෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් මැදමුලන ප‍්‍රදේශයට පිටත් කර යවා තිබේ. මීට අමතරව, යුද හමුදාවේ විශේෂ බළකායේ සාමාජිකයින් 125 දෙනෙකුව බෙලිඅත්ත හා තංගල්ල ප‍්‍රදේශයට කොළඹින් යවා ඇත. තවද, මාතර, මොණරාගල, කතරගම ප‍්‍රදේශවලින්ද පොලිස් නිලධාරීන් සිය ගණනක් එම ප‍්‍රදේශයට යවා තිබේ.
වාර්තා වන ආකාරයට ඊයේ පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නලීන්ද ජයතිස්ස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා ඇති මෙම ජනහමුව නලීන්ද ජයතිස්ස මහතා ආමන්ත‍්‍රණය කිරීමට සූදානම් වන අවස්ථාවේදී යතුරු පැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් ගිනි අවිවලින් ජන හමුව දෙසට වෙඩි තබා තිබේ.
මෙම වෙඩි තැබිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 18ක තරුණයෙකු වන සමන්ත හෙෂාන් සහ වයස අවුරුදු 50ක මානෙල් නමැති කාන්තාවකි.
මෙම වෙඩි තැබීම සඳහා ජූලම්පිටියේ අමරෙ නමින් හඳුන්වන ආණ්ඩුවේ පාතාල නායකයා ඇතුළු පිරිසක් පැමිණි බව ප‍්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී ඇතත්, මේ දක්වා එම පැමිණිලි සටහන් කිරීම පොලිසිය විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
ජනාධිපතිවරයගේ සමීපතම ගෝලයෙකු වන ‘ජූලම්පිටියේ අමරේ’ නමැත්තා වෙනම පාතාල කණ්ඩායමක් මෙහෙයවමින් එම ප‍්‍රදේශය තුළ භීෂණයක් පතුරුවාලමින් සිටින පුද්ගලයෙකු වන අතර, ඔහු ටී56 අවි ආයුධ සහිතව තම ගෝලබාලයින් සමග නිතර දෙවෙලේ බෙලිඅත්ත සහ තංගල්ල ප‍්‍රදේශයේ සැරිසරන අතර, පොලිිසිය ඔහුට අසීමත බියක් දක්වයි.
පුද්ගල ඝාතන 22 ක් ,ස්ත‍්‍රී දුෂණ 11 ක් සහ කොල්ලකෑම් 13 ක් සහ හමුදා නිළධාරින් තිදෙනෙකු ඝාතනය ඇතුලූ අපරාධ රැසකට මොහු මේ වනවිට චෝදනා ලබා සිටී.
මොහු සම්බන්ධයෙන් මීට සති තුනකට පමණ පෙර 'ලංකා' පුවත්පතේ ලිපියක් පළ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ පාතාල නායකයා ප‍්‍රදේශයේ ජ.වි.පෙ. ක‍්‍රියාකාරකයින් සමඟ උරණව සිටි බව ප‍්‍රදේශවාසීහු පවසති. ජ.වි.පෙ. ක‍්‍රියාකාරකයින් කිහිපදෙනෙකුටම ඔහු විසින් මැර තර්ජන සහ පහරදීම් සිදු කර ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජිනදාස කිතුලේගොඩ මහතාගේ සොහොයුරෙකුටද ඔහු එලෙස පහරදී තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends