Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

ජනාධිපතිවරයා, සෝමේ ලවා පී.බී ට 'පාට්' දම්මවයි ?


ව්‍යාපාරික මහා කලාකරු සෝමරත්න දිසානායක මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා හෑල්ලූවට ලක්කරමින් 'මැදමුලන චණ්ඩියෙකු' ලෙස හැසිරී ඇති බව ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු අප වෙත පැවසීය. ජනාධිපතිවරයාට හිතවත් කලාකරුවන් පිරිසක් සහ රජයේ නිලධාරීන් කීපදෙනෙකු අතර දොළොස්වනදා පැවති සාකච්ඡාවකදී සෝමරත්න දිසානායක මහා කලාකරුවා එසේ අසංවර ලෙස කටයුතු කර ඇත.
කලාකරුවන්ට සහ ජනමාධ්‍යවේදීන්ට පොලී රහිත ණය යටතේ වාහන මිලදී ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව මත, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට එම රැස්වීම පවත්වා ඇත. ඒ සඳහා සෝමරත්න දිසානායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, චන්න විෙජ්වර්ධන, රවීන්ද්‍ර රන්දෙණිය, ඩග්ලස් සිරිවර්ධන, සුදත් රෝහණ, සුරේෂ් අබේසේකර යන කලාකරුවන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී ජයසුන්දර, ජනධමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමල් රූබසිංහ යන නිලධාරීන් සහභාගි වී තිබේ.
මෙහි දී වසර 18කට වඩා අඛණ්ඩව ෙක‍ෂ්ත්‍රයේ රැඳීසිටින කලාකරුවන්ට සහ ජනමාධ්‍යවේදීන්ට කිසිදු පොලියකින් තොරව වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 12ක මුදලක්, මාසිකව රුපියල් 10,000ක් බැගින් ආපසු ගෙවීමේ පොරොන්දුව යටතේ රාජ්‍ය බැංකු හරහා ලබා දිය හැකි බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා තිබේ.
ඒ පිළිබඳව විරෝධය පළ කොට ඇති සෝමරත්න දිසානායක මහතා, ලක්ෂ 12කට ගත හැකි වාහනය කුමක්දැයි ජයසුන්දර මහතාගෙන් විමසා තිබේ. රජයේ වියදම් සීමා කිරීමට සිදු වී ඇති බවත් එම තත්ත්වය තුළ ජනමාධ්‍යවේදීන් හා කලාකරුවන් දහස් ගණනක් වෙනුවෙන් තමන්ට නිර්දේශ කළ හැක්කේ එවැනි මුදලක් පමණක් බවත් යළි අවධාරණය කර ඇති ජයසුන්දර මහතා, එම මුදල ඇපයට තබා ඕනෑම අයෙකුට ඊට වඩා වැඩි වටිනාකමින් යුතු වාහනයක් මිලදී ගැනීමට පහසුකම් සලසාදිය හැකි බව ද සඳහන් කර ඇත.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එම ප්‍රකාශයෙන් කෝපයට පත් දිසානායක මහතා, ''ආණ්ඩුව හදපු අපිට, සලකන්නේ මෙහෙමද? එතකොට ලෙස්ටර් වගේ කෙනෙකුටත් දෙන්නේ ලක්ෂ 12ක්ද? අපිට මේවට එකඟවෙන්න බෑ. අපි මේ ගැන ජනාධිපතිතුමාට කියනවා. අපට මේ විදිහට අපහාස කරන්න එපා.' යැයි දැඩි ආවේගයෙන් යුතුව පවසා තිබේ.
කලාකරුවන්ට අදාළ කටයුතු තම විෂය ෙක‍ෂ්ත්‍රයට අදාළ කාර්යයක් නොවන බව මෙහි දී ප්‍රකාශ කර ඇති මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, කලාකරුවන් පිළිබඳ සොයා බැලීමට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා සිටින බවත්, රටේ මූල්‍ය අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් සහන සලසා දීම පමණක් තමාගේ වගකීම බවත් පැහැදිලි කර ඇත.
ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස් මහතාට ලබා දිය යුතු සහන සම්බන්ධයෙන් මෙම ස්ථානයේ කෑකෝ ගැසීමෙන් පළක් නොමැති බව සෝමරත්න දිසානායක මහතාට දැඩිව පවසා ඇති මුදල් ලේකම්වරයා, එවැනි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ජනාධිපති අරමුදල සහනාධාර ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ද සඳහන් කර තිබේ.
මුදල් ලේකම්වරයා එසේ කරුණු පැහැදිලි කරද්දී පවා සෝමරත්න දිසානායක මහා කලාකරුවා දිගින් දිගටම ඊට බාදා කර ඇත. 'මහාචාර්ය තුමා මේ වගේ රැස්වීමක විනීතව හැසිරෙන්න ඉගෙන ගන්න' යැයි දැඩි ස්වරයෙන් එහි දී පවසා ඇති මුදල් ලේකම්වරයා රැස්වීමෙන් නැගිට ගොස් තිබේ.
එසේ ආවේගකාරීව රැස්වීම තුළ හැසිරුණේ ඇයිදැයි, රැස්වීමෙන් අනතුරුව එහි සිටි කලාකරුවන් කිහිපදෙනෙකු සෝමරත්න දිසානායක මහතාගෙන් විමසා ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ එසේ කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවයි. ජයසුන්දර මහතාගෙන් චණ්ඩි පාට්වලට බිය නොවන ලෙසත්, ළඟදීම ඔහුව මුදල් ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් එහිදී සඳහන් කර ඇති දිසානායක මහතා, නව මුදල් ලේකම්වරයා පත්වූ වහාම සෑම කලාකරුවෙකුටම වාහනයක් ගැනීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් පොලී රහිතව ලබා දෙන බවත්, කලා ෙක‍ෂ්ත්‍රයේ වසර 10 වඩා සිටි සෑම කලාකරුවෙකුටම එම වාහන සහනය ලබා දීමට තමා කටයුතු කරන බවත් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හැසිරුණු උද්දච්ච ආකාරය පිළිබඳව මාධ්‍යවලට පවසන්නැයිද ඔහු අනෙකුත් කලාකරුවන්ගෙන්ද ඉල්ලා තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends