Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

ගෝඨා අගමැති කරනවාට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් එරෙහිවේ


එළඹෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් කීපදෙනෙකුම ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි එම පක්ෂයේ මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ජනාධිපතිවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා එලෙස කටයුතු කළ හොත් අනාගතයේදී අයහපත් පළ විපාක අත්විදීමට ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ඇමතිවරුන් කීපදෙනෙකුම ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකුවන මහජන බැංකු සභාපති කරුණාජීව මහතාට දැනුම් දී තිබේ.
ජ්‍යෙෂ්ඨත්වය සලකා කතානායක චමල් රාජපක්ෂ මහතා අගමැති කළද එය ගැටලූවක් නොවන බව සඳහන් කර ඇති එම ඇමතිවරුන්, ජ්‍යෙෂ්ඨත්වය නොසලකා පිටතින් ගෙන එන නවකයෙක්ව අගමැති කළ හොත් මේවන විටත් පක්ෂය තුළ ඇති අභ්‍යන්තර ප්‍රතිවිරෝධය පුපුරා යා හැකි බවට අනතුරු අඟවා තිබේ.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අමාත්‍ය මර්වින් සිල්වා මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින්, කවර බලපෑම් පැමිණියද කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොවන්නැයි දැනුම් දී තිබේ. කැලණිය ආසන සංවිධායක ධුරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරන බවට පළ වී ඇති වාර්තා විස්තර කරමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා එම දැනුම් දීම සිදු කර ඇත.
කෙසේ වුවද, ප්‍රසිද්ධ දේශපාලනයට ඒමට තීරණය කර ඇත්දැයි ජාතික පුවත්පතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ දහවල් විමසා ඇති අතර එහි දී ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ, ප්‍රසිද්ධ දේශපාලනයට ඒමට තමන්ගේ කැමැත්තක් නොමැති බවයි. ජනාධිපතිවරයා එවැනි ඉල්ලීමක් කළ නමුත් තමා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ බවද ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් පවසා තිබේ.
තමන්ට එරෙහිව වෙබ් අඩවිවලින් සහ සමහර පුවත්පත් වලින් පසුගිය කාලයේ දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එහි දී පවසා ඇති ආරක්ෂක ලේකම්වරයා, රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා මීට සති කීපයකට පෙර තමන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කර බවත්, තමාට එරෙහිව කතුවැකියක් පවා ලියා ඇති බවත් සඳහන් කර තිබේ. දේශපාලනයට ඒමට තමාගේ අදහසක් නැති නමුත් නාගරික සංවර්ධන අධිකාරිය හරහා සිදු කරන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය තුළින් තමා අතිශයින් ප්‍රමෝදයට පත්ව සිටින බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, නොවැම්බර් මාසයට යොදා ගෙන ඇති අමාත්‍ය මණ්ඩල සංශෝධන තවත් කල් යනු ඇතැයි මේ සම්බන්ධයෙන් අප වෙත තොරතුරු ලබා දුන් ශ්‍රීලනිප මූලස්ථාන නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.



Source - lankanewsweb.com

Share this article with your friends