Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

ක්‍රීඩකයන්ගේ විනය පිරිහීමට 'ජනාධිපතිතුමාත් වගකිව යුතුයි'


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය පිරිහීමට හිටපු ක්‍රිකට් පරිපාලකයන් පමණක් නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා කෙලින්ම වගකිව යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග පවසයි.
"2008 කාලෙදි තමන්ගේ රටට ක්‍රීඩා නොකර IPL තරගාවලියට යන්න දෙන්න කියලා ඒ අනුමැතිය වුනත් ලබාදෙන්න ක්‍රියා කළේ අපේ ජනාධිපතිතුමාත්, හිටපු ක්‍රීඩා ඇමති තුමාත්," ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති වරයෙකුද වන අර්ජුන රණතුංග බීබීසී සංදේශයට පැවසීය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන සියලුම ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට වසර දෙකක තරග තහනමක් පැනවීම ට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීබීසීයට කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමිනුයි, අර්ජුන රණතුංග එම අදහස් පල කළේ.
"ඉතින් මම හිතනවා ක්‍රීඩකයන්ව මේ තත්වෙට පත් කරලා දුන්නේ ජනාධිපතිතුමා සහ මේ ආණ්ඩුව. හැබැයි අපි ක්‍රීඩකයන්ට විතරක් ඇඟිල්ල දිගු කරන එක ඉතාමත් හොඳ නැති දෙයක් මොකද කවර කවදාවත් නැති විදියට දේශපාලන ඇඟිලි ගැහීම් ආවේ මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන්," බවද මන්ත්‍රීවරයා පැවසීය.
අමාත්‍යවරයා ගේ යෝජනාව ක්‍රීඩා පනතට අනුකූලව ඉදිරිපත් කෙරෙන්නක් බැවින්, එයට තම සහාය හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශයට පැවසීය. රණතුංග මන්ත්‍රීවරයාද එම යෝජනාවට සහාය පළ කරයි.
'බලධාරීන්ට අයිතියක් නෑ'
දැනට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබන වසර සඳහා ඔහුට ලබාදී තිබෙන කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරනු ලැබීම ඇමතිවරයාගේ මෙම තීන්දුවට ආසන්නන්තම හේතුව බවයි, මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වුවද එම වාර්තා ප්‍රතික්ෂේප කරන උපාලි ධර්මදාස සභාපති වරයා පවසන්නේ කිසිදු ක්‍රීඩකයෙකු තවමත් සිය කොන්ත්‍රාත්තු වලට අත්සන් තබා නැති හෙයින්, ලසිත් මාලිංග ට තහනමක් පැනවීම පිලිබඳ වාර්තා සම්පූර්ණයෙන්ම පදනමකින් තොර බවයි.
මේ පිළිබඳව විමසීමක් කල අවස්ථාවේ දෙපාර්ශවය අතර ඉතා සාධනීය මට්ටමෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නියෝජිත කෙන් ද අල්විස් සංදේශයට පැවසීය.
ලසිත් මාලිංග ඇතුළු සියලුම ක්‍රීඩකයන්ට මේ සතිය අග වනවිට කොන්ත්‍රාත්තු වලට අත්සන් තැබීමට හැකිවනු ඇතැයිද කෙන් ද අල්විස් බලාපොරොත්තු පළ කළේය.
මේ අතර ක්‍රීඩා ශක්ති වැඩ සටහන පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක යෝගානන්ද විජේසුන්දර පවසන්නේ බාල වියේ සිටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෝෂණය කොට රැක බලාගැනීමේ ක්‍රියාදාමයක් ශ්‍රී ලංකා ක්‍රියාත්මක නොකරන හෙයින්, ක්‍රීඩකයන්ට එවැනි තහනමක් පැණවීමට ශ්‍රී ලංකා බලධාරීන්ට අයිතියක් නැති බවයි.
"ජාත්‍යන්තර වෘත්තීයමය ක්‍රීඩකයන්ගේ පසුබිමෙහි ලා සලකල අපේ ක්‍රීඩකයන්ට බලපෑම් කරනවා නම්, එම විදේශීය ක්‍රීඩකයන්ට ලැබෙන මිල මුදල්, පහසුකම් සහ අනෙකුත් දේවල් සපයා දීල ඉවරවෙලා කොටුකර ගත්තට කමක් නෑ," යෝගානන්ද විජේසුන්දර බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.
ක්‍රිකට් පමණක් නොව, රග්බි සහ පාපන්දු ඇතුළු සියලු ක්‍රීඩා වලට යෝජිත තහනම අදාලව බවයි, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරන්නේ.
විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය හිමිවීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ට රග්බි ක්‍රීඩකයන් පිරිසක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම ද ඇමතිවරයා ගේ මෙම තීරණයට හේතු වන්නට ඇති බවයි, විශ්වාස කෙරෙන්නේ.
රගර් ක්‍රීඩාවේ මතු වූ අර්බුදය සහ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින තත්ත්වය එකිනෙකට වෙන බව අර්ජුන රණතුංග ගේ අදහසයි.
"අපේ රටේ වාසනාවට කිසිම රාජපක්ෂ කෙනෙක් ක්‍රිකට් ගහන්නේ නෑ. එහෙම වුනානම් ඔය ප්‍රශ්නෙත් ක්‍රිකට් කණ්ඩායමටත් එන්න තිබුනා නමුත් රගර් ක්‍රීඩාවේ තමන්ට වුනු අසාධාරණ නිසයි ඒ ක්‍රීඩකයන් අයින්වෙලා තියෙන්නේ," ඔහු පැවසීය.
- BBC Sandeshaya

Share this article with your friends