Chitika Smowtion 468x60


Wednesday, January 4, 2012

පලා නොයන තාරුණ්‍යයේ අරගලයට – Youth for Chenge බිහිවේ


පලා යන්නේ නැතිව අරගල කළ යුතු බවත් ‘වෙනසක තාරුණ්‍ය’ සංවිධානය පිහිටුවන්නේ ඒ සඳහා සියලු ක්ෂේත්‍රවල තරුණ තරුණියන් ඒකරාශී කිරීමට බවත් එම සංවිධානයේ කැඳවුම්කරු වරුණ රාජපක්ෂ මහතා පවසයි. නව තරුණ ව්‍යාපාරය පිහිටුවීම පිළිබඳව දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය. ඊට ‘වෙනසක තාරුණ්‍ය’ කැඳවුම්කරු වරුණ රාජපක්ෂ, ජාතික කමිටු සාමාජකයින් වන ගයනි කොඩිතුවක්කු, යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් පලනිවෙල් රිචඩ් යන අය සහභාගි වූහ.
එහිදී අදහස් දැක්වූ වරුණ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
“පවතින සමාජය විසින් පීඩාවට පත් කළ තරුණයන්ගේ මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිවයි ‘වෙනසක තාරුණ්‍ය’ ආරම්භ කරන්නේ. විවිධ ක්ෂේත්‍ර, පරිසර, ක්‍රීඩා, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, කලාව, තරුණ ජනමාධ්‍යවේදීන් සියලු දෙනාගෙන් මෙම ව්‍යාපාරය සමන්විතයි. ‘වෙනසක තාරුණ්‍ය’ පවතින සමාජය වෙනස් කිරීමේ අපේක්ෂාව සහිත සංවිධානයක්. පවතින ධනවාදය පවත්වාගෙන යාමට ඒ වෙනුවෙන් තරුණයන් වෙනස් කරන්න ජනාධිපතිවරයාගේ පුත්‍රයා හදපු ව්‍යාපාරයක් තිබෙනවා. ඒක ඇත්තටම තරුණයාට හෙටක් නොවෙයි ජනාධිපතිවරයාගේ දරුවන්ට හෙටක් හදන්න ඇති කළ එකක්. ඊට වෙනස්ව සමාජය වෙනස් කිරීම අරමුණු කර ගත් ව්‍යාපාරයක් අවශ්‍යයි.

තරුණ ප්‍රජාවේ බහුතරය ග්‍රාමීය තරුණයන්. ඔවුන්ගේ ගැටලු නියෝජනය කරන තරුණ ව්‍යාපාරයක් නැහැ. බොහොම සතුටින් ඉන්න, සුන්දර ගමක් ගැන කතාවක් තිබෙනවා. එහෙම ගමක් සූරියප්පෙරුම මහත්තයාගේ දේශනවල මිස ඇත්ත මහපොළොවේ හමු වෙන්නේ නැහැ.
පසුගිය දවස්වලව මාධ්‍ය වාර්තා කළා එප්පාවල සමූහික සිය දිවි නසා ගැනීමක්. තවදුරටත් ජීවත් වෙන්න බැරි තත්වයට පත් වුණු නිසා, සමාජය තුළ තමන්ට තැනක් නැති නිසා එවැනි දේ සිදු වන්නේ. ලෝකයේ වැඩියෙන්ම සිය දිවි නසා ගන්නා රටවල් 10 අතරට ලංකාව ඇතුළත් වෙනවා. දිනකට 14-15ක් පමණ සිය දිවි නසා ගන්නවා. ඒ අතර වැඩිම පිරිස තරුණ තරුණියන්.
රැකියා විරහිත බව ගත්තොත් අවුරුදු 15-30 අතර පසුවන සෑම පස් දෙනකුගෙන්ම එක් අයෙක් විරැකියාවෙන් පෙළෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකට අනුව එම වයසේ ඉන්න අයගෙන්ව 70%කට ආසන්න පිරිසක් යැපෙන්නේ දෙමාපියන්ගෙන්. ස්වාධීනත්වය නැති වුණු, බලාපොරොත්තු කඩ වුණු තත්වයට ඔවුන් පත්ව සිටිනවා. 40,000ක පමණ තරුණියන් පිරිසක් ගණිකා වෘත්තියේ නිරත වෙනවා. ඔවුන්ගෙන් බහුතරය ග්‍රාමීය තරුණියන්. මෙලෙස පීඩාවට පත් වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න නියෝජනය කරන තරුණ ව්‍යාපාරයක් අවශ්‍යයි.
නාගරික තරුණ ප්‍රජාව ගත්තොත් ඔවුන්ටත් අනාගතය ගැන බලාපොරොත්තු බිඳ වැටුණු තත්වයට පත් වෙලා තිබෙනවා. අපරාධවලට, මත්ද්‍රව්‍යවලට තල්ලු වන්නේ ඒ නිසා. රැකියා සොයාගෙන යුරෝපා රටවලට යන්න උත්සාහ කළා. නමුත් දැන් එහෙම ගිය අය ඒ රටවල්වල පාරවල්වල රස්තියාදු වෙනවා, රැකියාවක් නැතිව. දැන් අවශ්‍ය පැනලා යන එක නොවෙයි, සටන් කිරීමයි.
ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත් බරපතළ ප්‍රශ්න තිබෙනවා. රාජපක්ෂ පවුලේ මැදිහත්වීම නැතිව නිලවරණයක් තියන්න බැහැ. නිලවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් පවුල සමග හිතවත්කමක්වත් තිබෙනවා නම් පමණයි. ඒ නිසා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත් අරගලයක් තිබෙනවා.
තරුණ කලාකරුවන්ට අද විවිධ විවේචන ඉදිරිපත් වෙනවා. නමුත් අද ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් ගත්තොත් ඔවුන් ශ්‍රම කොල්ලයකට හසු වී තිබෙනවා. ඒ වගේම ඔවුන් ජනප්‍රිය අය නිසා ඊට ගැලපෙන තත්වයක් පවත්වාගෙන යාමට සිදු වෙනවා. එය කරන්න මුදල් නැහැ. ඒ නිසා ඔවුන් විවිධ දේට යොමු වෙනවා. එය සමාජයේ විවේචනයට ලක් වෙනවා. අද විවේචනය කිරීමෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යයි.
මාධ්‍යවේදීන්ටත් මේ තත්වය අදාළයි. තමන් කැමති දෙයක් ලියන්න බැහැ. ඒ නිදහස දිනා ගන්න ඕන. ඒකට තනිවම අරගල කරන්න බැහැ. ඒකට ඉඩක් නැහමැ. ඒ නිසා ඊට සමාජ ව්‍යාපාරයක් අවශ්‍යයි.
පරිසර ක්ෂේත්‍රය ගත්තොත් අඩුම තරමේ පරිසර වාර්තාවක්වත් සැලකිල්ලට නොගන්නා තත්වයක් තිබෙන්නේ. මීට පෙර යම් ව්‍යාපෘතියක් කරද්දී සම්ප්‍රදායක් වශයෙන් වත් පරිසර වාර්තා සැලකිල්ලට ගත්තා. උමා ඔය, කොත්මලේ ව්‍යාපෘතිය, සිංහරාජය දෙකඩ කරමින් මාර්ගයක් ඉදි කිරීම වගේ ව්‍යාපෘති බැලුවොත් පරිසර වාර්තා සැලකිල්ලට ගෙන නැහැ. අපේ රටේ ස්වාභාවික සම්පත් වෙනත් බහුජාතික සමාගම්වලට විකිණීම ආණ්ඩුව මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්නේ විශාල ජයග්‍රහණයක් ලැබුවා වගේ. මේ තත්වයට විරුද්ධව අරගල කළ යුතුයි.
සමාජය වෙනස් කරනවා වගේම, ඒ සඳහා අරගල කරනවා වගේම තමන් තුළත් අරගලයක් තිබෙනවා. අද තරුණයන් නව ලිබරල්වාදයේ අගතීන්ට ලක් වුණු එ‍හි ගොදුරු බවට පත් වුණු අය. ඒ නිසා ඊට විරුද්ධව අරගල කරන, ඒ වෙනුවෙන් දැනුවත් වෙන, උගන්වන ව්‍යාපාරයක් බවට ‘වෙනසක තාරුණ්‍ය’ පත් වෙනවා.
‘වෙනසක තාරුණ්‍ය’ සංවිධානයේ ජාතික කමිටුව හඳුන්වාදීම, වැඩපිළිවෙළ හා ප්‍රතිපත්ති එළිදැක්වීම ලබන 09 වැනිදා කොළඹ, නව නගර ශාලාවේදී පැවැත්වෙනවා.”



Share this article with your friends