Chitika Smowtion 468x60


Tuesday, February 7, 2012

ශ‍්‍රීලනිප මූලස්ථානය හොර රහසේ අගුපිලකට ගෙන යයි


හැත්තෑව දශකයේ ආරම්භයේ සිට කොළඹ 10, ඩාලි පාරේ (ටී.බී. ජයා මාවත) අංක 301 ස්ථානයෙහි පිහිටි මහල් පහකින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලක් තුළ පවත්වාගෙන ආ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන කාර්යාලය එම ස්ථානයෙන් වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යෑමට එම පක්ෂයේ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
ඒ සඳහා  දැනට පක්ෂ මූලස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලට යාබදව පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ලක්ෂ හතරක මාසික කුලියට ලබාගෙන ඇත. ඒ සඳහා වසර තුනක කුලී එකවර ගෙවීමටද එකඟවී තිබේ. මෙම ගොඩනැගිල්ල තුළ මීට ඉහත දී රතු කුරුස සංවිධානයේ කාර්යාලය ස්ථාපිත කර තිබිණ. මෙම ගොඩනැගිල්ල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සමීපතම ඥාතියකුට අයත්වේ. 

ඒ අනුව නව කාර්යාලය පෙබරවාරි 9වන දා යෙදෙන සුභ නැකතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇති අතර පක්ෂ මූලස්ථානයේ බඩු නව කාර්යාලයට ගෙන ඒම හෙටට යොදාගෙන තිබේ. මෙම මෙහෙයුම හොර රහසේ සිදු කිරීමට පොහොය දිනය යොදාගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් බණ්ඩාරනායකවරුන්ට හිතවත් පිරිස් විරෝධතාවයක් සංවිධානය කිරීම වැලැක්වීමටත් බඩු ප‍්‍රවාහන කටයුතු මාධ්‍යවලින් වසන් කිරීම සඳහාත් බව පක්ෂ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල අසලට සීමිත ආරක්ෂක නිලධාරීන් පිරිසක් සමඟ පැමිණ පක්ෂ මූලස්ථානය දෙස වාහනයේ සිට විනාඩි කිහිපයක් බලාගෙන සිට යළි පිටත්ව ගිය බව එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

බත්තරමුල්ල ඉඩමේ ඉදිකිරීමට යෝජිත නව පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා ඩාලි පාරේ කාර්යාලය විකුණා දැමිය යුතු බවට ජනාධිපතිවරයා මීට ඉහතදී යෝජනා කර තිබුණද, එහි සැබෑ අරමුණ බණ්ඩාරනායකවරුන්ට ශ‍්‍රීලනිපය තුළ ඇති නාමික හිමිකාරිත‍්‍රය අහෝසිකර දැමීම බව  එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් පසුගිය නොවැම්බර් 19වනදා බත්තරමුල්ලේ ඉඩමෙහි නව පක්ෂ මූලස්ථානය ඉදිකිරීම සඳහා පස්වන වරටත් මුල්ගල් තැබුවද ඉන් පසු මේ දක්වා එම ඉඩමට ශ‍්‍රීලනිපයේ වගකිවයුතු කිසිවකු ගොස් නොමැත.

අප වෙත වාර්තාවෙන පරිදි, ශ‍්‍රීලනිප නව මූලස්ථානය ස්ථාපිතකරන ගොඩනැගිල්ලෙහි මීට පෙර පැවැති මූලස්ථාන ගොඩනැගිල්ලේ තිබූ අවම හෝ ඉඩකඩ පහසුකම් නොමැත. එසේම වැසිකිලි පහසුකම් ද සීමා සහිතවන අතර වාහන දෙක තුනකට වඩා නවතා තැබීමට පහසුකම්ද නොමැත. තවද ඉහළ මහලවලට නැගීමට විදුලි සෝපානයක් පවා නොමැති බැවින් තමන් මෙම කාර්යාලයට නොයෙන බව ශ‍්‍රීලනිපයේ වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨයින් දැනටමත් ප‍්‍රකාශ කර තිබේ.

ඉඩ පහසුකම් නොමැතිකම නිසා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යෑමට එහි ප‍්‍රධානී ලෙස්ලි දේවේන්ද්‍ර මහතා තීරණය කර ඇත.  එසේම ශ‍්‍රීලනිප අනුබද්ධ සංවිධානද වෙනත් වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමට තීරණය වී ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති කාර්යාල මෙන්ම, භික්ෂූ, තරුණ, කාන්තා, ගොවි, ධීවර, ශිෂ්‍ය ආදී වූ අනුබද්ධ සංවිධානද මෙතෙක් පවත්වාගෙන ගියේ අංක 301 දරන ස්ථානයේ පිහිටි පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල තුළය.

පක්ෂ මූලස්ථානයේ බඩු බාහිරාදිය හෙට දිනය තුළ ඉවත් කිරීමෙන් පසු එම ස්ථානය වසා දමන ලෙස නියෝග කර ඇති අතර පක්ෂයේ සියලූ කාර්ය මණ්ඩල ඉවත් කළ පසු මූලස්ථාන කාර්යාලය පිටුපස තිබෙන ‘දිනකර’ කාර්යාල ගොඩනැගිල්ල හා මුද්‍රණාලය කඩා ඉවත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

තවද පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලෙහි බිම් මහලේ හි පවත්වාගෙන යනු ලබන මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛා කාර්යාලයද පස්වන මහලේ පවත්වාගෙන යන රණවිරු අධිකාරී කාර්යාලයද මාර්තු මාසය තුළ ඉවත් කර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබේ. එම කාර්යාලද ඉවත් කර ගැනීමෙන් පසු අපේ‍්‍රල් මාසය මුලදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය මුළුමනින්ම බිමට සමතලා කොට එම ඉඩම අයෝජකයෙකු වෙත විකිණීමට දැනටමත් කටයුතු යොදා තිබේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ජන්ම දිනය නිමිත්තෙන් සෑම වසරකම අපේ‍්‍රල් 17වනදා පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලෙහි සර්වපරිත‍්‍රයාන ධර්මදේශනාවක් පැවැත්වීමේ සම්ප‍්‍රදායක් පැවති නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී ශ‍්‍රීලනිප නායකත්වයට පත්වීමෙන් පසු එම සම්ප‍්‍රදාය බිද දමනු ලැබීය. කෙසේ වුවද 2012 වසරේ අපේ‍්‍රල් 17වනදා බණ්ඩාරනායක මහත්මිය සිහිපත් කරමින් පිරිත් සඡ්ජායනයක් පැවැත්වීමට පක්ෂයේ මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදා තිබූ ඇත. එහෙත් එදිනවන විට බණ්ඩාරනායක මහත්මියගේ මග පෙන්වීම මත ඉදි කළ පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල බිමට සමතලා වී එම ඉඩම ව්‍යාපාරිකයකු වෙත හිමිවී තිබීම දෛවයේ සරදමක් බව අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


Source - lankanewsweb.com

Share this article with your friends