Chitika Smowtion 468x60


Tuesday, February 7, 2012

ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් මෙවර තර්ජනයක් නැහැ - ජී.එල්.


ලබන 27වනදා ජිනීවාහී පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එතරම් බලපෑම් එල්ල නොවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි. ජිනීවා සමුළුව සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා ඇමතිවරු කිහිප දෙනකු ඔහු හමුවූ අවස්ථාවේදී එසේ ප්‍රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජී.එල්. පීරිස් මහතා, ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවෙහි සැරබාල කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකියාව තිඛෙනබවද සඳහන් කර තිබේ.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් මාස කිහිපයක් ලබාදීමට ඇමරිකානු නියෝජිතයින් එකඟත්වය පල කර ඇති හෙයින් 27වනදා ඇරඹෙන මානව හිමිකම් කවුන්සිලයේ දී ගැටලූවක් මතු නොවන බවත් එහෙත් එම නිර්දේශ කියාත්මක කිරීම සිතාමතා පමාකරන බවට ඔවුන්ට හැඟී ගියහොත් ඉදිරියේදී ගැටලූකාරී තත්ත්වයක් මතු විය හැකි බවත් ඇමතිවරයා පැහැදිලිකර දී ඇත.
ජනාධිපතිවරයා ඉන්දියාවට පොරොන්දු වූ පරිදිම, ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු උසස් නිලධාරීන්ටද පොරොන්දු දී මේ ප්‍රශ්නය විසඳාගනු ඇතැයි විදේශ අමාත්‍යවරයා විශ්වාසය පල කර තිබේ.
කෙසේ වුවද උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ඉදිරි වැඩපිළිවෙල විමසා බැලීම සඳහා මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා සහ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් ආරක්ෂාව පිළිබඳ ඇමරිකානු නියෝජ්‍ය ලේකම් මේරි ඔටෙරෝ මහත්මිය ලබන 12වනදා මෙරට පැමිණීමට නියමිතය.
එසේම ගෝලිය අපරාධ නීතිය පිළිබඳ ඇමරිකානු තානාපති ලෙස කටයුතු කරන ස්ටීවන් රැප් මහතාද අද දිවයිනට පැමිණීමට නියමිතය.
තවද ඉදිරි දෙසතිය තුළ ඇමරිකාවට පැමිණෙන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාට දැනුම් දී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends