Chitika Smowtion 468x60


Wednesday, July 18, 2012

පී.එච්. අයි. මහත්වරුන් ඩෙංගු ගැන දන්නේ නෑ


සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරී සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා මහතා සමග අප වෙබ් අඩවිය කළ විශේෂ සාකච්ඡාවක්.


කවුද මේ ඩෙංගු මදුරුවා කියන්නේ ?


ඩෙංගු මදුරුවා කියන්නේ, ඊඩිස් ඊජිෂ්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ඩස් මදුරුවන් දෙන්නට. පැහැදිලි ජලයේ බිත්තර දමනවා. වතුර හිදිලා ගියත් අව්ව නොමැති නම් මේ බිත්තර වසරකට ආසන්න කාලයක් පමණ තියෙනවා.


ඩෙංගු මදුරුවාට ජීවන චක්‍රය ඉදිරියට ගෙන යන්නේ නැතුව නතර කර ගෙන ඉන්නත් පුළුවන්.


ඩෙංගු මදුරුවා බෝ කරන අයට නඩු දමනවා නේද?



ඔව්. ඒක මාරාන්තික ඩෙංගු වළක්වන්න සද්භාවයෙන් කරන එකක්. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඔය නාඩු දාන්න එන කිසිම කෙනෙක් ඩෙංගු මදුරුවා අඳුනන්නේ නැහැ. පී.එච්.අයි. මහත්වරුන්ටත්, පොලීසියටත් ඩෙංගු මදුරු කීටයා හඳුනා ගන්න උගන්වලා නැහැ. වතුර භාජන දිහා බලලා කාටවත් මදුරුවා කියලා කියන්න බැහැ.අන්වීක්ෂ්‍යයෙන් බලන්නේ නැතුව කීටයන් හඳුනා ගන්න බැහැ.අනෙක ලංකාවේ මදුරු වර්ග 145 කට වඩා සිටිනවා.කිසිදු කීට විද්‍යා වාර්තාවක් නැතුව එක්වරම ඩෙංගු මදුරු කීටයින් කියලා නඩු දාන එක අසාධාරණයි.


මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන යන අයට ස්ථානීය දඩ ගැසීමක් කරනවා නේද?


ඔව්. ඒක විවාදාත්මකයි. මදුරුවෝ කියන්නේ සොබාදහමේ කෘමි විශේෂයක්. මේ කෘමීන්ට බෝවෙන්න වතුර අවශ්‍යයි. වතුර කියන්නේ ස්වභාව දහමේ තිබෙන ඉතා සුවිශේෂි සම්පතක්. ගෙදර ළි‍ෙඳ් මදුරු‍වෝ බිත්තර දානවා. වැසිකිළියේ බිත්තර දානවා. කුඹුරේ බිත්තර දානවා. පී.එච්.අයි. නඩු දානවා. මේකේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. රථ වාහන පොලීසිය ඒ වෙලාවේ දඩ ගහන්නේ ඇසෙන් දකින වැරැද්දට. නැත්නම් ලියකියවිලිවල ඇති අඩුපාඩුවලට. නමුත් පී.එච්. අයි.මහත්වරුන් මදුරුවන් බෝ කරනවා යැයි පවසමින් ස්ථානීය දඩ නියම කි‍රීමේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ.


එතකොට මදුරුවන් ගැන හොඳට දන්න ඔබලාට දඩ ගහන්න බලයක් නැද්ද ?


අපෝ නැහැ. ඒ බලය අපට දෙන්නේ නැහැ.


නඩු දාලා ඩෙංගු මර්දනය කරන්න බැරිද ?


නඩුවලින් ඩෙංගු මදුරුවා බිත්තර දාන එක නතර කරන්න බැහැ. ඩෙංගු මදුරුවා එක්ක සෙල්ලම් කිරීම භායානකයි.


මොකක්ද ඔය සෙල්ලම ?


සෙල්ලම් එකක් නොවෙයි කිහිපයක් ති‍යෙනවා. ඩෙංගු සති සෙල්ලම, බී.ටී.අයි. සෙල්ලම, දුම් ගහන සෙල්ලම, නඩුදාන සෙල්ලම , වැහි පිහිළි/ ළිං සෙල්ලම, ස්ටිකර් සෙල්ලම. මේ එක සෙල්ලමකින්වත් ඩෙංගු මදුරුවා මට්ටු කරන්න බැහැ. ඊට හේතුව මේ එක සෙල්ලමක්වත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය නොකිරීමයි. මෙහෙම ගියොත් ආණ්ඩුව කියාවි ගෙදර තියෙන ජල මුද්‍රිත වැසිකිළිත් කඩා දමන්න කියලා.


ඒ ඇයි ?


ඩෙංගු මදුරුවා ඕනෑම පරිසර තත්ත්වයකට අනුවර්තනය වෙන්න පුළුවන්. හොඳම උදාහරණය වැහිපිහිල්ල . මොන විද්‍යාඥයින් ද මේවා සෙව්වේ. කෝ මේවාට විකල්ප, ඩෙංගු මදුරුවන් ගැන අනියම් හෝ අහඹු සිදුවීම් අපට බොහෝ හමු වෙනවා. මේ සියල්ල අපි බලධාරීන්ට සහ කීට විද්‍යාඥයින්ට වාර්තා කරනවා. මේ එකක් ගැනවත් කිසිම පරීක්ෂණයක් ආරම්භ කළේ නැහැ.


සමහර කීට විද්‍යාත්මක දත්ත ප්‍රසිද්ධියේ කියන්න බයයි. ඊයේ පෙරේදා ඩෙංගු මදුරුවන්ගෙන් අපට හමුවෙච්චි අහඹු සිදුවීම් බොහෝම භායානකයි.


එතකොට ඩෙංගු සති පැවැත්වීම වැඩක් නැහැ කියලාද ඔබ කියන්නේ ?


90 දශකයේ ඉඳලාම මේ සෙල්ලම කළා .ඒත් අඩුවක් තිබුණා ද? චක්‍ර ලේඛවලින් කිසිම වගකීමක් හෝ බලයක් මදුරුවන් එක්ක ජීවත් වෙන කීට විද්‍යා සහාකාරවරුන්ට හෝ ප්‍රාදේශීය මැලේරියා සහ බරවා මර්දන නිලධාරින්ට දීලා නැහැ.


ඔබ කියන විදියට ඩෙංගු මර්දනය කරන්න බැරිද ?


අපොයි පුළුවන්.


ඒ ගැන ඔබලා රජයට යෝජනා ඉදිරිපත් කරන්නේ නැද්ද ?


අපි වෘත්තීය සමිති විදියට 2009 දී කිසිම වෘත්තිය සමිතියක් නොකළ දෙයක් කළා. ඩෙංගු මර්දනයට විද්‍යාත්මක වැඩ පිළිවෙළක් රජයට ‍හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දුන්නා. ඒ යෝජනා එදා ක්‍රියාත්මක කළා නම් අද ඩෙංගු අවදානමක් නැහැ.


මොකක්ද ඒ යෝජනාව


විද්‍යාත්මක ක්‍රමයක් වසර 03ක් ක්‍රියාත්මක කළ යුතුයි. විෂය දැනුම තියෙන අයට වගකීම් හා බලතල ලබාදිය යුතුයි.


වැඩ පිළිවෙල මොකක්ද ?


වසංගත තත්ත්වය වැළැක්වීම, රෝගීන් සංඛ්‍යාව අවම කර ගැනීම, වාහක මදුරුවන් බෝවිම වැළැක්වීම,


ඔබ මේ පිළිබඳව ජනතාවට දෙන පණිවිඩය මොක්කද ?


ඩෙංගු මර්ධනයට අපේ ආකල්ප හා චර්යාවේ වෙනසක් ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ තුළින් ඩෙංගු රෝගය මර්දනය කරගත හැකියි.


සාකච්ඡා කර වාර්තා කළේ -   එස්.සමරනායක

Share this article with your friends