Chitika Smowtion 468x60


Friday, November 16, 2012

“එජාපයෙන් ඔයාට අනාගතයක් නැහැ”

නාමල් බුද්ධිකට කියයි!





අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝග යෝජනාවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පසුගිය සතියේ දේශපාලන කරලියේ ආන්දෝලනයට ලක්වූ කරුණු අතර, ප්‍රධාන තැනක් ගත්තේය. දහතුන්වන සංශෝධනය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන ජාතික නිදහස් පෙරමුණ පසුගිය සතියේ සිකුරාදා එනම් 10 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් සමග දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කතාබහක නිරතවිය.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහා ‍ලේකම් තිස්ස අත්තනායක ඇතුළු එ.ජා.ප. නියෝජිතයන් මෙම සාකච්ඡාවට සහභාගි විය. එය ආරම්භ කරමින් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විමල්ගෙන් විමසූවේ “ඇත්තටම විමල් 13 සම්බන්ධයෙන් ඔබ නියෝජනය කරන ආණ්ඩුවේ මතය කුමක්ද?” යනුවෙනි.
ආණ්ඩුව ඉන්දියාවේදීත් ජාත්‍යන්තර සමුළුවලදීත් 13+ සම්බන්ධයෙන් ‍පොරොන්දු ලබාදී තිබියදී මෙවැනි මතයක් ඉදිරිපත් වීම පරස්පර තත්ත්වයක් බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ඒක ආණ්ඩුවේ මතය නමුත් අපි ජාතික නිදහස් පෙරමුණු හැටියට 13 සම්බන්ධයෙන් වෙනස් මතයක ඉන්නේ. 13 කියන්නේ කඩිමුඩියේ හදපු එකක්. ඒ නිසා මේකට සංශෝධනයක් අවශ්‍යයි.” විමල් වීරවංශ ඇමැතිවරයා කියා සිටියේය. දහතුන විතරක් ‍නෙවෙයි මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම සංශෝධනයක් අවශ්‍යයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාත් එයට ඇතුළත් කළ හැකියි.” රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. එම අදහස් පිළිගැණුනු අතර, මේ පිළිබඳව ඉදිරියටත් සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි.

අගවිනිසුරුවරියට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ විශේෂ කාරක සභාවේ එ.ජා.ප. නියෝජිතයන් වූ ජෝන් අමරතුංග සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් සඳහා නීති උපදෙස් ලබාදීමේ සාකච්ඡාවක් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංවිධානය කර තිබිණි. ජනාධිපති නීතිඥවරුන් වන රෝලන්ඩ් පෙරේරා, ශ්‍රීනාත් පෙරේරා ප්‍රදීප් සෝසා යන නීතිඥවරුන් ඔවුන් සඳහා නීති උපදෙස් ලබා දුන්නේය.

මේ අතර එ.ජා.ප.යේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් බදාදා කොළඹට කැඳවා තිබුණේ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. “පක්ෂයේ තියෙන ප්‍රශ්න ගැන ඔයගොල්ල පළාත් සභාවේ හරි නගර සභාවේ හරි කතා කළ යුතු නැහැ.
ඔයගොල්ලන්ව ඒවාට මිනිස්සු යවලා තියෙන්නේ ඒ අයගේ ප්‍රශ්න කතා කරන්නයි. කාටහරි මොනයම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් හරි පක්ෂයේ මහා ‍ලේකම්තුමාගෙන් හරි අහලා දැනගන්න පුළුවන්. “එ.ජා.ප. නායකයා ඔවුන් සියලු දෙනාට අවවාද කරමින් කියා සිටියේය.
පසුගිය 13 වෙනි දින පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී ප්‍රධාන වශයෙන් පස්වරුවේ පැවැත්වෙන ඉල්මහ විරු සමරුව පිළිබඳවත් අගවිනිසුරුවරියට එල්ලවී ඇති දෝෂාභියෝග චෝදනාව පිළිබඳවත්
යූ.එන්.පී.ය සමග වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන බවට පළවන වාර්තා පිළිබඳවත් අයවැය සම්බන්ධයෙනුත් විශේෂයෙන් කතාබහට ලක්විය.

පස්වරුවේ පැවැත්වෙන ඉල්මහවිරු සමරුවේ සංවිධාන වැඩකටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අවසන් වී ඇති බව විජිත හේරත් මහතා සභාවට දැනුම් දුන්නේය. අනතුරුව කතාබහ හැරුණේ අයවැය දෙසටය. මේ අයවැය හරියට හිස් පීප්පයක් වගෙයි. තට්ටු කරාම හොඳ සද්දේ ලොකුවටත් පේනවා. ඒත් ඇරලා බැලුවාම මදේ නැහැ. මේ අයවැය ගැන වෙන දෙයක් කියන්න නැහැ.” ටිල්වින් සිල්වා අයවැය ගැන අර්ථකතනයක් දුන්නේය. එක පැත්තකින් මේ අයවැයේ කියන්නේ සූදුකාරයන්ට, මංකොල්ලකාරයන්ට, ජාවාරම්කාරයන්ට තමන්ට හම්බකරගත්ත කළු සල්ලි ටික ලංකාවට ගේන්න නීති හදපු එකක්. විනිමය පාලන දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව විදේශවල මුදල් හම්බකරපු අයට ලංකාවට මුදල් ගෙනඒමටත්, විදේශ බැංකුවල මුදල් ගිණුම් පවත්වාගන්නටත්, එම මුදල් ආයෝජනය කරන්නත් ඉඩ හදලා දීලා. ඒ මදිවට එහෙම ආයෝජනය කරන පුද්ගලයන්ට අවුරුදු 03ක බදු සහනයකුත් ලබාදීලා. මේකේ තියෙන එකම අරමුණ තමයි පහුගිය කා‍ලේ ස්විස් බැංකුවල හොරෙන් මුදල් දාපු අයට නීත්‍යනුකූලභාවයක් හදලා දෙන එක.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයා දෙකයි පනහට දාපු අයවැයක්. වැඩිවෙච්ච ජීවන වියදම බැලුවාම රුපියල් 13,442.50ක් ආණ්ඩුවෙන් අනිවාර්යෙන් ලැබෙන්නේ ඕනෑ. ඒ මුදල ආණ්ඩුව අනිවාර්යෙන්ම දිය යුතුය. ඒත් දුන්නේ ඒකෙන් දහයෙන් පංගුවකටත් වඩා අඩු එකක්. මේ ආණ්ඩුයවට රාජ්‍ය අංශයේ සේවකයා, පෞද්ගලික අංශයේ සේවකයා, වතු සේවකයා ගැන කිසිම අදාළත්වයක් නැහැ. තමන් ගැනයි තමන්ගේ පවුල ගැනයි හිතන මුදල් ඇමැති කෙනෙක් අපට ඉන්නේ. තමන්ට දවසට රුපියල් කෝටි දෙකක් වෙන්කරගන්න රාජපක්ෂ” රාජ්‍ය සේවකයට දෙන්නෙ දවසට රුපියල් 25යි. මාළුපාන් ගෙඩියක්වත් කන්න පුළුවන්ද ඒකෙන්.” ලාල්කාන්ත විමසුවේය.

“තව හොඳ ආශ්චර්යක් තියෙනවා. ඒ යෝජනාව අනිවාර්යයෙන්ම රාජපක්ෂගෙන් වෙන්න ඕනෑ. මොකද එයාට තියෙන්නේ ඒ වගේ යෝජනා විතරයි. මෙච්චර කාලයක් තිබුණේ දේ‍පොළ රක්ෂණ, ජීවිත රක්ෂණ විතරයි. දැන් යූරියා ‍පොහොර රක්ෂණයත් හඳුන්වලා දීලා 2013 අයවැයෙන්. ගොවියාට දෙන ‍පොහොර සහනාධාරයට අනුව රක්ෂණයකුත් හඳුන්වලා දීලා. යූරියා ‍පොහොර මල්ලක් ගන්නකොට රුපියල් 150ක අනිවාර්ය රක්ෂණයකුත් ලබා ගන්න ඕනෑ. ඒ කියන්නේ ‍පොහොර මල්ල දැන් රුපියල් 500න් කරලා. ‍පොහොර මලු 10ක් ගත්තාම රුපියල් 1500ක රක්ෂණ වාරිකයක් ගෙවන්න ඕනෑ. ගොවියාට එහෙමයි. හැබැයි රජ පවු‍ලේ කුමාරවරුන්ට රේසින් කාර් ගන්න ඒවායේ බදු ඉවත් කරනවා. මේ රටේ සාමාන්‍ය ජනතාව රේසින් කාර් පදින්නේ නැහැ. රජ පවුල වෙනුවෙන් නීති වෙනස් කරනවා. සාමාන්‍ය මිනිහාට තියෙන වාහනේ වාර්ෂික බලපත්‍ර ගාස්තු වැඩිකරනවා. ආණ්ඩුව එහෙමයි ජනතාවට සලකන්නේ. ඒ නිසා මේ අයවැයට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඕනෑ. අනුර දිසානායක කියා සිටියේය.

අද පත්තරවල යූ.එන්.පී. ජේ.වී.පී. හවුලක් ගැන කතාබහක් තියෙනවා. සමහර පත්තරවල ලීඩ් නිවුස් එක මොකක්ද? මේ අපි දන්නැති හවුල “ බිමල් රත්නායක කතාබහ තවත් මාතෘකාවකට යොමු කළේය. නැහැ. නැහැ ඒ කතාව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන කියපු එකක්. එක එක පත්තර නිවුස් එක අරගෙන තියෙන වෙන වෙන පැත්තෙන්” විජිත හේරත් කියා සිටියේය.

“ඔව් ඇත්ත කතාව මේකයි. අපි එන්.ටී.යූ.සී. එක විදිහට අයවැයෙන් වැටුප් වැඩිකරන්න කියලා වෘත්තීය සටනක් ආරම්භ කළා. නමුත් ආණ්ඩුව වෙනදා වගේම සංඛ්‍යා ‍ලේඛන ටිකක් පෙන්වලා වැඩකරන ජනතාවට රවට්ටන්න තමයි හැදුවේ. ඒ මදිවට අයවැය කතා. වැලිකඩ කතා ඉස්සරහට ගෙනල්ලා අයවැයට විරුද්ධව එන්න පුළුවන්. විරෝධය යට ගහන්නයි ආණ්ඩුව හදන්නේ. මේ අයවැයට අපේ වෘත්තීය සමිති විතරක් ‍නෙවෙයි යූ.එන්.පී. ශ්‍රී ලංකා වෘත්තීය සමිතිත් විරුද්ධයි. ඒ නිසයි අපි යෝජනා කළේ. මේ වැටුප් අරගලය ඒකාබද්ධ සටනක් කරන්න ඕනෑ කියන එක. ඒකට යූ.එන්.පී. විතරක් ‍නෙවෙයි ශ්‍රී ලංකා වෘත්තීය සමිතිවලට අපි කතා කරනවා. මේ ජීවන වියදම වැඩිවෙච්ච ප්‍රශ්නේ තියෙන්නේ ජේ.වී.පී. එකේ වෘත්තීය සමිතිවලට විතරක් ‍නෙවෙයි. අපේ අදහස ඒකයි. ඒක තමයි පත්තරවල ඒ ඒ අයට ඕන විදිහට දාලා තියෙන්නේ.” ලාල් කාන්ත පෙන්වා දුන්නේය.

“අය වැය ගේන්න කලින් ඉඳලම දෝෂාභියෝගයක් ගැන කියලා අයවැය කතා යට ගැහුවා. දැන් වැලිකඩ හිරගෙදර කතාවක් නිසා අයවැය යටගහන්න හදනවා. අපිට සැකයක් තියෙනවා දැන් හිතාමතාම මේ වැලිකඩ කලබලයක් ඇතිකරාද කියන එක. මොකද මීට කලිනුත් මේ වගේම අත්දැකීමක් ලබාගෙන තියෙනවා ආණ්ඩුව.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා. “හිරගෙදර ඇතුළේ තත්ත්වය සමනය වුණාට පස්සෙත් කට්ටියට වෙඩි තියලා තියෙනවා කියලා සමහර මාධ්‍යවල වාර්තා වුණා. ඒ වගේම තෝර තෝරා කට්ටියට වෙඩි තියපු කතාවකුත් යනවා. මේ සිද්ධිය දැන් අබිරහසක් වෙලා තියෙන්නේ. එනිසාම හොයලා බලන්න කරුණක් තියෙනවා. මොකද සමහර දේශපාලනඥයින්ට විරුද්ධව සාක්ෂි දෙන්න පුළුවන් අයත් මේ බන්ධනාගාරයේ ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අය හොයලා මැරුවද කියන එකත් ප්‍රශ්නයක්” විජිත හේරත් සැකයක් මතු කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බවය. ඔහුගේ එම තීරණයට ආසන්නම හේතුව වී තිබුණේ අය වැය විවාදයට ඔහුට කලින් වෙන්කර තිබූ කාලය අවසන් මොහොතේ ඔහුට අහිමි කිරීමය. මේ සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද විමසීම්වලදී ඔහුට දැන ගන්නට ලැබුණේ තමන් නියෝජනය කරන සන්ධානයේ නායකයන්ගේ බලවත් විරෝධය හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි වී තිබෙන බවය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන ලද පාලිත රංගෙ බණ්ඩාර සහ අශෝක අබේසිංහ යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමේ තීරණයක් ගැනීමට යන බවටද පසුගිය සතියේ ආරංචි පැතිර ගියේ අය වැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගිය අවස්ථාවේ ඔහු මුණගැසී සුහද කතාබහක නිරත වීමත් සමගය. මෙම ආරංචිය සම්බන්ධයෙන් පාලිත රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් විවිධ අය විමසූ මොහොතේ ඔහු කියා ඇත්තේ මොනම හේතුවක් මතවත් තමන් එ.ජා.ප.යෙන් ඉවත් නොවන බවය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, ජගත් පුෂ්පකුමාර ඇමැතිවරුන් හා ලොහාන් රත්වත්තේ රොෂාන් රණසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කතාබහ කරමින් සිටියේ අය වැයේදී විපක්ෂයේ චෝදනා සියල්ලටම පිළිතුරුදීමට තමන් සතුව කරුණු ඇති බවය. අමාත්‍ය රාජිත සේනාරත්න සහ අමාත්‍ය ගුණරත්න වීරකෝන් සමග එතැනට පැමිණියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. ‘මොකද නාමල් මල්ලි අද ටිකක් ප්‍රමාද’ ඇසුවේ අමාත්‍ය ඩිලාන් පෙරේරාය. ‘හැම වැඩක්ම අතරට යෝගා කරන්නත් වෙලාවක් දාගත්තා. ඒක මනසට හරි හොඳ ප්‍රතිකාරයක්’ නාමල් රාජපක්ෂ කීවේ එහි වැදගත්කම කියමිනි.
“ඔයාගේ ‍පොඩි මල්ලියි සැටලයිට් එකක් අභ්‍යවකාශයට දාන්න සම්බන්ධ වෙලාලු නේද?’ අමාත්‍ය අනුර යාපා විමසීය.

“ඔය ගැන දැන් අපේ පැත්තේ අයත් අහනවා. රාජපක්ෂලා පෙරළිකාරී
වැඩ කරන අයනේ” ඇමැති ඩිලාන් කීය.
“නාමල්ටත් ඉන්නේ නියම මල්ලිලා දෙන්නෙක්. එක්කෙනෙක් මහ මුහුදෙද, අනෙක් කෙනා අභ්‍යවකාශයේ’ කීවේ ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාය.
“මල්ලිලා දෙන්නට දේශපාලන අදහස් නෑ. දෙන්නාගේම අරමුණු වෙනුවෙන් මම තමයි තාත්තයි අම්මයි ළඟ පෙනී හිටියේ” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැහැදිලි කර කියා සිටියේය.
“කාර් රේස් ගැන විපක්ෂයේ සමහරුන් චෝදනා කළා. දැන් ඔය සැටලයිට් එකේ එල්ලෙන්න එයිද දන්නේ නෑ” රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා කීවේය.
“ඒ හාදයන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. අපේ රටේ නායකයාගේ පුතෙක් අජටාකාශ විද්‍යාව ගැන ඉංජිනේරුවෙක් වෙලා ශිල්ප දක්වන කොට බො‍ලේ රටට නොවැ කීර්තිය. ඒ දරුවට අපි ආශිර්වාද කරන්න එපායැ” ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා කීවේය.
“එදා යෝෂිත නාවික හමුදාවට බැඳුණේ කිසිම දේශපාලනඥයකුගේ පුතෙක් හමුදාවට බැඳෙන්න තියා හිතෙන්නෙවත් නැති කාලෙක. රටේ නායකයාගේ පුතෙක් ඒ ගත්ත තීරණයත් එක්ක ආරක්ෂක අංශවලට පමණක් නොවෙයි ‍පොදු ජනතාවටත් පුදුම උදේ‍යා්ගයක් ඇතිවුණා. ත්‍රස්තවාදය පරාද කරන්න ඕවත් ඇත්තටම හේතු වුණා” ජනපති පාර්ලිමේන්තු කටයුතු ‍ලේකම් කුමාරසිරි හෙට්ටිගේ කීවේය.
“ත්‍රස්තවාදීන්ගේ මරණ තර්ජනවලට තාත්තා ‍පොඩ්ඩක්වත් බය වුණේ නෑ. තාත්තා කිව්වේ මොන තර්ජන ආවත් රට නිදහස් කරගන්න යන ගමන නවත්වන්නේ නෑ කියලා. අපි පවු‍ලේ හැම දෙනාම ඒ අධිෂ්ඨානය වෙනුවෙන් එකට හිටියා” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය.
අඟහරුවාදා එ.ජා.ප.යේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කුමාරසිරි හෙට්ටිගේව හමුවූයේ ටික දිනකට පසුවය. ඒ අසලට නාමල් රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ, උදිත ලොකුබණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක් පැමිණියේ මාධ්‍යවේදීන් කීප දෙනකුද සමගය.
“කොහොමද බුද්ධික දැන් පක්ෂයෙන් ලැබෙන ප්‍රතිචාර” ඇසුවේ ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාය.
“මොනවත් විශේෂයක් නෑ. අපේ ගමන අපි යනවා” බුද්ධික පතිරණගේ පිළිතුරු විය.

“මොන ගමනක්ද? ගමන මුලින්ම කාගෙන වගෙයි මට පේන්නේ. නායකත්වයට එරෙහිව යාම හරි භයානක වැඩක්. අනාගතය ලත් තැන ලොප් වෙන්න එය හේතුවක් වෙනවා” හෙට්ටිගේ සිය ගම් පළාතේ හිතවත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට කීවේය.
“මචං උඹට වෙන එක උඹම දන්නේ නෑ’ ලොහාන් රත්වත්තේ කීය.
“මගෙන් ඔයාලට ඕන වචන ගන්න බැරිවෙයි” බුද්ධික පතිරණ කීවේය.
“එ.ජා.ප.යෙන් ඔයාට අනාගතයක් නෑ” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියද්දී හෙට්ටිගේ කීවේ “බුද්ධික මන්ත්‍රීතුමා එ.ජා.ප.යෙන් යන්නේ නෑ කියලා එදා ‍ලේවලින් අත්සන් කිරීම ශ්‍රී ල.නි.ප.යට එන්නත් බාධාවක් නේ. ඒ වැඩේ එතරම් හොඳ දෙයක් ‍නෙවෙයි” කියාය.
“බුද්ධික මන්ත්‍රීතුමා ඒ ‍ලේවලින් අත්සන් කළේ ශ්‍රී ල.නි.ප.යට යන්නේ නෑ කියලා නේ. ඉතින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එන්න පුළුවන්නේ’ සභානායක ‍ලේකම් සුමිත් විජේසිංහ කීවේ අලුත් අදහසක් හැටියටය.
“ඔය මොනවා කීවත් මම කතා නැත.” බුද්ධික කීවේය.
“කතා නොකළට කමක් නැත. දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා - වසන් කරන විට මුහුණේ ලියැවෙනවා” හෙට්ටිගේ කපුගේ ගේ ගීයක කොටසක් කියමින් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ දෑතම අල්ලා ගෙනය.

- සම්පත් දේශප්‍රිය



Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4149:2012-11-15-17-45-26&catid=62:2012-08-14-03-41-39&Itemid=84

Share this article with your friends