Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

ජොනී, ජවිපේ ‘වී’ ලක්ෂ 2100 කට මිලදී ගනී


ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබූ ‘වී’ එෆ් එම් ගුවන් විදුලි නාලිකාව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් රුපියල් ලක්ෂ 2100 ක් ගෙවා මිලදී ගෙන තිබේ. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම වෙනුවෙන් එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතාට තිලිණයක් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා විසින් ‘වී එෆ් එම්’ ගුවන් විදුලියට අදාල ගුවන් විදුලි බලපත‍්‍රය ලබාදී තිබිණ.
අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ස්ථාපිත කරනු ලැබූ ‘ලංකා ටෙලිවිෂන් නෙට්වර්ක්’ පෞද්ගලික සමාගම විසින් ‘වී එෆ් එම්’ ගුවන් විදුලි නාලිකාව ආරම්භ කරනු ලැබීය. ආරම්භයේදී එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජවිපේ ක‍්‍රියාකාරිකයින් සිව් දෙනෙකු පත්කර තිබිණ. සුභසිංහ පතිරන ගේ යාපා දොන් සරත් ප‍්‍රියන්ත, කාරියවසම් කන්කානන්ගේ ජගත් චන්ද්‍රවංශ, දිසානායක මුදියන්සෙලාගේ දිසානායක, විතානගේ සේනාධීර ගුණතිලක එසේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කළ ජවිපේ ක‍්‍රියාකාරිකයින්ය. එම සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක ලෙස නම්කර තිබුණේ දිසානායක මහතාය.

පවත්වාගෙන යාමේදී ඇතිවූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එම සමාගමේ කොටස් ප‍්‍රමාණයක්, එවකට ජවිපේ හිතවතෙකුව සිටි ‘ජපන් සමන්’ නැමැත්තාට අයත් ‘සයුරී ඉන්ටර්නැෂනල්’ සමාගමට පවරා දී තිබිණ.

ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ‘වී එෆ් එම්’ නාලිකාවට ලැබී තිබූ ආණ්ඩුවේ දැන්වීම් සියල්ල ඇණ හිටි අතර එතෙක් දැන්වීම් ලබාදෙමින් සිටි පෞද්ගලික සමාගම්වලටද දැන්වීම් නොදෙන ලෙස ජනාධිපතිවරයාම බලපෑම් කර තිබිණ.

එසේම විමල් වීරවංශ මහතා ඇමති ධූරයක් ලබාගනිමින් ආණ්ඩුවට එක්වීමත් සමග ‘වී එෆ් එම්’ නාලිකා අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි දිසානායක මහතා හැරුණු කොට අනෙක් සියලූ දෙනාම ආණ්ඩුවට එක්විය. ඉන් අනතුරුව දිගින් ගිගටම පාඩු ලබමින් හෝ ‘වී එෆ් එම්’ නාලිකාව පවත්වාගෙන යනු ලැබුවේ දිසානායක මහතා විසිනි. එම තත්ත්වය යටතේ ‘වී එෆ් එම්’ නාලිකාව නඩත්තු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට මාසිකව ලක්ෂ 30 කට ආසන්න මුදලක් යටකිරීමට සිදුවී තිබිණ.

මෙම තත්ත්වය මත ‘වී එෆ් එම්’ නාලිකාව විකණීමට තීරණය කළ ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා සුදුසු ගණුදෙනු කරුවෙකු සොයාගැනීමට දීර්ඝ කාලයක් තිස්සේ දරන ලද උත්සාහයකින් පසු කොළඹ කොටස් වෙළද පොලේ මූල්‍ය ආයෝජකයෙකු වූ දුමින්ද මායාදුන්න නැමැත්තාට ‘වී එෆ් එම්’ නාලිකාව විකුණා දැමීමට එම පක්ෂය තීරණය කර තිිබිණ.

ඒ අනුව 2010 ඔක්තෝම්බර් මාසයේදී දුමින්ද මයාදුන්න මහතා විසින් ලක්ෂ 1000 ක මුදලක් ගෙවීමේ පොරොන්දුව මත එම නාලිකාවේ කොටස් මිලදී ගනු ලැබීය. එහෙත් ඔහු ඊට අදාල ගෙවීම් සිදුකොට ඇත්තේ මාස කිහිපයක් පුරා කොටස් වශයෙනි. ඒ අතර තුරදී ඔහු ‘ලංකා ටෙලිවිෂන් නෙට්වර්ක්’ පෞද්ගලික සමාගමේ විමල් වීරවංශ අමාත්‍යවරයාට හිතවත් අනෙකුත් කොටස්කරුවන්ද සාකච්චා කොට ඔවුන් හා එකඟතාවයක් ඇතිකරගෙන තිබිණ.

දුමින්ද මයාදුන්න මහතා විසින් මෙම ගුවන් විදුලි නාලිකාව මිලදී ගැනීමෙන් පසු එහි ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙසත් කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙසත් පත්කරනු ලැබුවේ ස්වර්ණවාහිනියේ වානිජ අංශයේ ප‍්‍රධානියෙකුව සිටි රුවන් සුගතදාස මහතාවය. රුවන් සුගතදාස මහතා විසින් ජනති විමුක්ති පෙරමුණ විසින් එතෙක් ‘වී එෆ් එම්’ නාලිකාව ඔස්සේ විකාශය කරනු ලැබූ සියලූ දේශපාලන වැඩසටහන් හා ප‍්‍රවෘත්ති මුලූමනින්ම වෙනස් කොට එම නාලිකාව ජනප‍්‍රිය රැල්ලේ ගුවන් විදුලි නාලිකාවක් බවට පත්කරමින් ජනප‍්‍රියතාවයෙන් ඉහළට ගෙන ඒමට බලවත් උත්සාහයක් ගෙන තිබිණ. නව පරිපාලනය යටතේ ‘වී එෆ් එම්’ ගුවන් විදුලි නාලිකාව ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍යයක් බවට පරිවර්ථනය කළේය.

කෙසේ වුවද දුමින්ද මායාදුන්න මහතා පෞද්ගලික හේතූන් මත ලංකාවේ සියලූ ව්‍යාපාරික කටයුතු අතහැර තම පවුලේ සියලූදෙනා සමග ලන්ඩනයේ පදිංචියට යෑමට තීරණය කොට එම ගුවන් විදුලි නාලිකාව විකුණා දැමීමට කටයුතු යොදා තිබූ අතර ඒ අනුව දේශපාලනඥයින් මෙන්ම ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුම එම නාලිකාව මිලදී ගැනීමට මාස කිහිපයක් පුරා සාකච්ඡා පවත්වමින් සිටියද මයාදුන්න මහතා විසින් ඉදිරිපත් කර තිබූ මිල ගණන්වලට එකඟත්වය පළකර තිබුණේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා පමණි.

‘සිරස’ මාධ්‍ය ජාලයේ අජිත් ගම්ලත් හා පි‍්‍රයන්ත විජේසිංහ යන අය මෙම ගණුදෙනුවට අදාල මූලික සම්බන්ධීකරන කටයුතු සිදුකර තිබූ අතර මිලදී ගැනීමට අදාල මූල්‍ය කටයුතු සිදු කොට ඇත්තේ ‘මනි ලොන්ඩරින් ඩිඩා’ නොහොත් ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ මහලේකම් රිෂ්වි ඉල්ලියාස් මහතාය. ජොන්ස්ටන් ඇමතිවරයාගේ උපදෙස් මත ඉල්ලියාස් මහතා විසින් මීට අදාල මූලික කටයුතු සම්බන්ධීකරනය කළ අජිත් ගම්ලත්ට හා ප‍්‍රියාන්ත විජේසිංහ යන මහත්වරුන්ට ලක්ෂ 50 බැගින් ලබාදී තිබේ.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු මෙන්ම ප‍්‍රධාන ව්‍යාපාරික හවුල්කරුවා වන රිෂ්වි ඉල්ලියාස් මහතා ශ‍්‍රී ලංකාවේ මුදල් නීත්‍යානුකූල නොවන පරිදි විදේශ රටවලට පිටකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයෙකි. පසුගිය පෙබරවාරී මස අගදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා සමග නිලසංචාරයකට තායිලන්තය බලා යන අතරවාරයේ මුදල් පිරවූ හෑන්ඞ් ලැගේජ් දෙකක් රැගෙන ගිය ඉල්ලියාස් මහතා එම මුදල් සිංගප්පූරු බැංකුවන තැන්පත් කිරිම සඳහා ඇමතිවරයා සමග සිංගප්පූරුවේ පැය 6 ක කාලයක් ගතකර තිබේ. (මේ පිළිබදව සවිස්තර වාර්තාවක් අප මීට ඉහතදී පළකළෙමු)

කෙසේ වුවද සිංගප්පූරුවේදී හා ලංකාවේ පැවති සාකච්ඡුාවට කිහිපයකින් පසුව ‘ලංකා ටෙලිවිෂන් නෙට්වර්ක්’ ආයතනය, ‘නයින් නෙට්වර්ක්ස්’ පෞද්ගලික සමාගම හරහා ලක්ෂ 2100 ක මුදලක් දී ලබාගැනීමට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා කටයුතු කර තිබේ. PV 84123 අංක යටතේ සමාගම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති ‘නයින් නෙට්වර්ක්ස්’ ආයතනයේ කාර්යාලය ලෙස සඳහන් කර ඇත්තේ ඉල්ලියාස් මහතාට අයත් කොළඹ 01 බි‍්‍රස්ටල් වීදියේ, බි‍්‍රස්ටල් පැරඩයිස් ගොඩනැගිල්ලේ අංක 8/V/7 දරන ස්ථානයයි. එය ඉල්ලියාස් මහතාගේ මුදල් හුවමාරු කාර්යාලය පවත්වාගෙන යන ස්ථානය වේ.

වී එෆ් එම් නාලිකාව පවත්වාගෙන ගිය ‘ලංකා ටෙලිවිෂන් නේට්වර්ක්’ ආයතනය මිලදී ගනු ලැබූ ‘නයින් නෙට්වර්ක්ස්’ සමාගමේ සභාපතිවරයා වන්නේ රිෂ්වි ඉල්ලියාස් මහතාය. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ ලාබාල පුතුන් දෙදෙනාද මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වේ.

මිලදී ගැනීමෙන් පසු පසුගිය මාර්තු 01 වන බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී 7 ට ‘වී එෆ් එම්’ නාලිකාවේ කාර්ය මණ්ඩලය කැඳවා ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා, තමා ‘වී එෆ් එම්’ ගුවන් විදුලිය මිලදී ගත් බවත් කිසිවෙකු රැකියා අහිමිවේයැයි බියක් ඇතිකර නොගන්නා ලෙසත් සියලූ දෙනාට දිරිගන්වනා සුලූ වැටුප් හා දීමනා ලබාදෙන බවටත් මෙම නාලිකාවට ජනාධිපතිවරයාගේ උපරිම සහාය ලැබෙන බවත්, නාමල් රාජපක්ෂ මහතාද මෙම සමාගමේ කොටස්කරුවෙකු බවත් පවසා තිබේ.

‘වී එෆ් එම්’ ආයතනය පවත්වාගෙන යෑම සඳහා ප‍්‍රවීන මාධ්‍යවේදියෙකු වන ක්ලෝඞ් ගුරුබෑවිල මහතා ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කරන බවද ඇමතිවරයා මෙහිදී පවසා තිබේ.

ඒ අනුව ක්ලෝඞ් ගුරුබෑවිල මහතා ඊයේ (14) දින වැඩ භාරගැනීම සඳහා ‘වී එෆ් එම්’ ආයතනයට පැමිණ තිබූ නමුත් ඔහුට ඊට අදාල පත්වීමේ ලිපිය සකසා නොතිබූ බැවින් යළි හැරී ගොස් තිබේ. කෙසේ වුවද අපේ‍්‍රල් මස මුලදී තමා වැඩ භාරගන්නා බව ගුරුබෑවිල මහතා ඇමතිවරයාට පවසා ඇත. අප වෙත වාර්තාවන පරිදි ගුරුබෑවිල මහතා මෙම තනතුර භාරගැනීමට එකඟ වී ඇත්තේ වැටුප හා වෙනත් දීමනා සහිතව මාසිකව ලක්ෂ 10 ක මුදලක් ලබාදෙන බවට ඇමතිවරයා දුන් පොරොන්දුව මතය.

වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තුවන්න....


Source - lankanewsweb.com

Share this article with your friends