Sunday, March 4, 2012
ආණ්ඩුව දවසේ දේශපාලනය ගෙනයන්න නාඩගම් නටනවා - ජනඅරගල කැඳවුකරු චමීර කොස්වත්ත
‘‘ජිනීවා මානව හිමිකම් කොමිසමේදී තවදුරටත් යෝජනාවක් ඉදිරිපත් කරන්න ඉඩක් නැහැ. මේ සමුළුවට ගිහිල්ලා මහින්ද සමරසිංහ මහත්තයා කියන්නෙත් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා කියලා. ඇමරිකාවේ නියෝජිතවරිය ඇවිත් කියන්නේත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. එහෙ ම නම් මෙතන ප්‍රශ්නයක් නැහැ. දෙගොල්ලොම කියන්නේ එකක්. එහෙම නම් මොකක්ද ආණ්ඩුව පසුගිය දින කිහිපය තිස්සේ නටපු නාඩගම. මේවා තමයි ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුව දවසේ දේශපාලනය පවත්වාගෙන යන්න කරන නාඩගම්.’’ යැයි ජනඅරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු චමීර කොස්වත්ත මහතා කියා සිටී.
ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම කරුණු හෙළිකළ ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘‘මේ නාටකයේ පිටපත ලියා තිබෙන්නේ ඔබාමාද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද කියන එක අපට අදාළ නැහැ. කොහොම වුණත් එක වෙලාවක ඔබාමාටත් තවත් විටෙක මහින්ද රාජපක්ෂ මහත්තයාටත් වීරයාගේ චරිතය රඟපාන්න පුළුවන් විදියටයි ලියලා තියෙන්නේ. කවුරු වීරයා වුණත් කවුරු දුෂ්ඨයා වුණත් මේ රංගනයෙන් ආර්ථික වාසි ඔබාමාටත්, දේශපාලන අර්බුදයෙන් පැන යන්න රාජපක්ෂ ආණ්ඩුවටත් පුළුවන්.
ජනාධිපතිවරයා ඝාතනය කරන්න උත්සාහයක් තිබෙනවා කියලා ආණ්ඩුවේ අය කියනවා. ලංකාවට ආර්ථික සම්බාධක පනවන්න හදනවා කියලා හෙළ උරුමයේ ඇමතිවරයා කියනවා. අගමැතිවරයා කියනවා, ගිනි තියා ගන්නවා කියලා. එහෙම කියලා, චක්‍ර ලේඛන මගින්, බලහත්කාරයෙන් රාජ්‍ය සේවකයින් පාරට බස්සලා අන්තිමට දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ජිනීවා කෝළඹ අස්සේ පාන් ගෙඩියක් රුපියල් පහකින් වැඩි වුණා. ජීවන වියදම දරා ගන්න බැරි ජනතාවට ඊට විරුද්ධව උද්ඝෝෂන කරද්දීයි ආණ්ඩුව මේ කොළම් නටන්නේ, ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන්න.
විපක්ෂයේ අයත් ලංකාව ගිවිසුම්වලට අත්සන් කරලා නැහැ වගේ කතා කියමින් ආණ්ඩුව මැවූ බිල්ලා සාධාරණීකරණය කරන්න සහාය දෙමින් ඉන්නවා.
රාජපක්ෂ ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධී කියලා කවුරු හරි හිතනවා නම් ඒක සිහි මුලා වීමක්. බටහිරත් එක්ක හරි, ආසියාවේ රටක් එක්ක හරි, වෙනත් ඕන කෙනෙක් එක්ක හරි ඕනම එකඟතාවයකට යන්න පුළුවන්. කිසිම දේශපේ‍්‍රමයක් නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ දේශපේ‍්‍රමය ගැන විශ්වාසය තියපු අය ගැන අපට කණගාටුයි.
අපේ රටේ ප්රජාතන්ත්රවාදය නැහැ. ඒක ඇත්ත. එහි ආසන්නතම උදාහරණය තමයි අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කළ ධීවරයා ඝාතනය කිරීම. නමුත් ඇතැමුන් හිතනවා ඇමරිකාව හරි එක්සත් ජාතීන්ගේ මොකක් හරි සංවිධානයක් හරි අපේ රටේ මානව හිමිකම් රකීවි කියලා. එහෙම ඔබාමාගේ මානව හිමිකම් පේ‍්‍රමය ගැන විශ්වාසය තියපු අයටත් වෙලා තිබෙන්නේ, මහින්දගේ දේශපේ‍්‍රමය ගැන විශ්වාසය තියපු අයට වෙච්ච දේමයි.
මෙතන ගැටුමක්, ගැටලූවක්, ප්‍රති විරෝධයක් නැහැ. තිබෙන්නේ සෙල්ලමක් විතරයි. ඇමරිකාවේ නියෝජිතවරිය කියන්නේත්, ආණ්ඩුවේ නියෝජිතයා කියන්නේත් එකම කතාවක්.
අපේ රටට අධිරාජ්‍යවාදීන්ගේ තර්ජනයක් තිබෙනවා. ඒ තර්ජනය තිබෙන්නේ ඔය කියන මාර්ගවලින් නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රුපියලේ අගය පාවෙන්න හැරලා තිබෙනවා. ඉරානය ගැන ස්ථාවරය වෙනස් කරන්න බල කරලා තිබෙන්නේ ඒ නිසා. අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවට යටවෙලා, අධිරාජ්‍යවාදීන්ගේ වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කරමින් රාජපක්ෂ ආණ්ඩුව නැති අධිරාජ්‍ය විරෝධයක් පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය පරිදි සූරා කන්න, කොල්ලකන්න අවශ්‍ය ඉඩ හදලා තිබෙන්නේ.
මේ කෝළම් බලන්න නතර වුණු ජනතාවට දැන් ඒ කෝළම් වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. පාන් මිල රුපියල් පහකින් වැඩි වෙද්දී, ඉන්ධන මිල, බඩු මිල, බස්ගාස්තු වැඩිවෙද්දී ඒවාට ගෙවන්න වෙනවා.
දැන් ජිනීවා නාඩගම අවසන්. ඒ නාඩගම අවසන් වුණාම රටේ ඇවිලෙමින් තිබුණු ප්‍රශ්න නැවත ඇවිලෙන්න පටන් ගන්නවා. එතකොට රාජපක්ෂ ආණ්ඩුවට තවත් නාටක ඕන වෙනවා. තවදුරටත් දුෂ්ඨයින් වීරයින් රඟපාන්න පුළුවන්. ඒ ගැනත් ජනතාවට අනතුරු අඟවන්න අපි කැමතියි.’’
Source - lankanewsweb.com
ආණ්ඩුව දවසේ දේශපාලනය ගෙනයන්න නාඩගම් නටනවා - ජනඅරගල කැඳවුකරු චමීර කොස්වත්ත
2012-03-04T02:39:00+05:30
Admiral