Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

ආණ්ඩුව ජාතික ධජයෙන් නිරුවත වසාගෙන - මංගල


රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව, වංචා දූෂණ, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා වසන් කරගැනීම සඳහා යලිත්වරක් ජාතිවාදය උසිගන්වමින් සිටින බවත්, එහෙයින් ආණ්ඩුවේ නිරුවත වසාගැනීමට ජාතික ධජය භාවිතා කිරීමට ඉඩ ලබානොදන ලෙස මාතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, එම පක්ෂයේ ජාතික සංවිධායක මංගල සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
සමරවීර මහතා එම ඉල්ලීම කරනු ලැබුවේ ශ‍්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පසුගියදා (29) පැවති මාධ්‍යය හමුවක් අමතමිනි.

ආණ්ඩුව පසුගිය කාලය පුරා ජනතාව මුලාකරමින් දිගින් දිගටම සිදුකලේ සිය නිරුවත වසාගැනීමට ජාතික ධජය යොදාගැනීම බව මන්ත‍්‍රීවරයා එහිදී අවධාරනය කළේය. 


එපමණක් නොව අද ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් මානව හිමිකම් පිළිබඳ බලපෑම් එල්ලවන විට අධිරාජ්‍යවාදී බලපෑම් එල්ලවෙනවා යැයි කියමින්  කෑගසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතීතයේදී ලංකාවට ජාත්‍යන්තර අතපෙවීම් සිදුකිරීමට පූර්වාදර්ශ සැපයූ බවද සමරවීර මහතා පැවසීය.

1990 වසරේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගරයට ගොස් ශ‍්‍රී ලංකා හමුදාව හා ආණ්ඩුව මිනී මරනවා කියා කෑගැසුවේ එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂ මහතා බව සිහිපත් කළ සමරවීර මන්ත‍්‍රීවරයා, එවකට ලංකාවට ආධාර ලබාදෙන රටවලට ආධාර ලබානොදෙන ලෙසට බලකලේද මහින්ද රාජපක්ෂ මහතා බව සඳහන් කළේය.

තවද ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා නගරයට පමණක් නොව නරකාදියට යෑමට වුවත් සූදානම් බවට මහින්ද රාජපක්ෂ මහතා එවකට පැවසූ බවත්, පාර්ලිමේන්තුවේ හැන්සාඞ් වාර්තා නිරීක්ෂණය කිරීමෙන් ඒ පිළිබඳව සනාථ කරගත හැකි බවත් මන්ත‍්‍රීවරයා පවසා සිටියේය.

එමෙන්ම අද මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වන විට ජාත්‍යන්තරය විසින් ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න මතුකරන විට අතීතයේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කෑගැසූ අයම බොරුවට කෑගසමින් සිටින බවද මංගල සමරවීර මහතා කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ගෙනඒමට නියමිත යෝජනාව තුළ කිසිඳු වැරැද්දක් නොමැති බවද සමරවීර මන්ත‍්‍රීවරයා මෙහිදී අවධාරනය කර සිටියේය. එම යෝජනාව මගින් ඉදිරිපත්කොට ඇත්තේ, මේ රටේ නීතිය මානව හිමිකම් සුරැකීම හා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ කාරණා පමණක් බව ඔහු සඳහන් කළේය.

එපමණක් නොව ශ‍්‍රී ලංකාවට එරෙහි කිසිඳු කරුණක් එම යෝජනාව තුළ සඳහන්ව නොමැති බවත්, එම යෝජනා මගින් සිදුකොට ඇත්තේ රට විවේචනය කිරීම නොව ආණ්ඩුවේ ක‍්‍රියාකලාපයන් විවේචනය කිරීම පමණක් බවත් සමරවීර මහතා පැහැදිලි කළේය.

ආණ්ඩුව විසින් රටේ ජනතාවට පමණක් නොව ජාත්‍යන්තරයට බොරු පොරොන්දු ලබාදීම නිසාවෙන් එම යෝජනා ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට කාලයක් ලබාදී ඇති බව කියා සිටි සමරවීර මහතා, එබැවින් මෙම යෝජනා පිළිබඳව නිසිලෙස නොදැන පාරට බැස කෑ කෝ නොගසන ලෙස ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා  සිටින බවද ඔහු පැවසීය.

රටේ ආර්ථිකයට හානි සිදුකොට මනුෂ්‍ය ඝාතන සිදුකරමින් යන ආණ්ඩුවේ නිරුවත ජාතික ධජයෙන් වසාගැනීමට උදව් නොකරන ලෙස මංගල සමරවීර මහතා තවදුරටත් ඉල්ලා සිටියේය.



Source - lankanewsweb.com

Share this article with your friends