Chitika Smowtion 468x60


Tuesday, May 15, 2012

ගෝඨා, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ඉල්ලයි


සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉවත් කොට උතුරේ දෙමළ තරුණයින් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට පත් කිරීමට අවස්ථාව දෙන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආණ්ඩුව නියෝජනය කරන දෙමළ නායකයින් කිසිවකු පිළිබඳ උතුරේ දෙමළ ජනතාවට විශ්වාසයක් නොමැති බැවින්, උතුරේ ජනතාවට සමීප වියහැකි නව දේශපාලන නායකත්වයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇති ආරක්ෂක ලේකම්වරයා, ඒ සඳහා සුදුසු තරුණ තරුණියන් කිහිපදෙනකු තමන් විසින් හඳුනාගෙන සිටින බවද දැනුම් දී තිබේ.
උතුරට නව දේශපාලන නායකත්වයක් හඳුන්වා දීමකින් තොරව යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය ඉදිරිය ගෙන යෑ නොහැකි බව ජනාධිපතිවරයා වෙත පැහැදිලි කර ඇති ආරක්ෂක ලේකම්වරයා, ඉදිරියේ පැවැත්වෙන තීරණාත්මක මැතිවරණයකදී ඩග්ලස් දේවානන්දගෙන් හෝ කරුණාඅම්මාන්ගෙන් හෝ පිල්ලයාගෙන් එතරම් වාසියක් අත් නොවන බවට පවසා තිබේ.
ආරක්ෂක ලේකම්වරයාගේ කරුණු පැහැදිලි කිරීමේ දී ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතත්, දැනට ජාතික ලැයිස්තුවේ සිටින දෙතුන් දෙනෙකු ඉවත් කර ගැනීමට පසුගිය කාලයේ තමන්ට උවමනා වී තිබූ නමුත් කිසිවෙකු එයට එකඟකර ගැනීමට නොහැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ඒමට අදහස් කරන්නේ දැයි දැන ගැනීම සඳහා පසුගියදා ජනාධිපතිවරයා විසින් ඔහුව කැඳවනු ලැබූ අවස්ථාවේදී උතුරේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඉහත කාරණා සාකච්ඡා වී තිබේ. තමන් දේශපාලනයට ඒම කිසිදු බලාපොරොත්තුවක් නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ඒමේ බලාපොරොත්තුවෙන් සිටිනවා දැයි සැකහැර දැනගන්නා ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ සති අන්ත ජාතික පුවත්පතක කතුවරයකි.

Source - lankanewsweb.com

Share this article with your friends