Chitika Smowtion 468x60


Tuesday, May 15, 2012

ගුරුවරියන්ට ලිංගික අතවර කරමින් මහානාමයේ 'මහා නාමයේ' අසූචි තැවරූ විදුහල්පති සහ හොරු රැලේ කතාව


ගුරුවරියන්ට ලිංගික අතවර කරමින් මහානාමයේ 'මහා නාමයේ' අසූචි තැවරූ විදුහල්පති සහ හොරු රැලේ කතාව.

කොළඹ කොල්ලූපිටිය මහානාම විද්‍යාලයේ විදුහල්පති වල්පොල හෙට්ටිආරච්චිගේ ප්‍රේමලාල් කුමාරසිරි වසර 9ක කාලයක් තුළ මහානාමයේ විදුහල්පති ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළ වංචා දූෂණ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පසුගිය මැයි මාසයේ විමර්ශනයක් සිදු කළ අතර විදුහල්පතිවරයා විශ්‍රාම ගන්නා දිනය තෙක්ම අධ්‍යාපන අමාත්‍යාංශය එහි නිර්දේශ ක්‍රියාත්මක කළේ නැත.

ඔහු විශ්‍රාම යාමට තිබුණේ ඉකුත් මාර්තු මාසයේය. අධ්‍යාපන අමාත්‍යාංශය අප්‍රේල් 26 දින විදුහල්පතිවරයා පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගන්වන බව දන්වමින් ඔහුට ලිපිය නිකුත් කළේය. අවුරුද්දක් පුරා අමාත්‍යාංශ විමර්ශනය යට ගසමින් විදුහල්පතිගේ වැඩ තහනම් නොකර රිසි ලෙස ගෙදර යාමට අවස්ථාව සලසා දුන්නේ බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිගේ සෘජු බලපෑම නිසාය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ තමන්ට අවශ්‍ය ළමයින් රිසි ලෙස මහානාමයට දැමීම ප්‍රසිද්ධ රහසකි. ශිරන්තිගේ කාල්ටන් පෙර පාසලේ ළමයින් ඇතුළු කරන පාසල් අතරින් මහානාමය එකකි. ශිරන්ති රාජපක්ෂ නිතර නිතර පාසලට පැමිණෙන්නේ ඒ හේතුවටය. වංචා හා දූෂණ ගැන අමාත්‍යාංශ විමර්ශනයකින් සහ ජනාධිපති විමර්ශනයකින් වැරදි කරු වූ විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිගේ ආරාධනය පිළිගෙන මෙම වසරේද ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූයේ මේ දූෂණයට උඩගෙඩි සපයන ජනාධිපති ආර්යාවය.

මෙම දූෂිත විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරියේ දරුවන් දෙදෙනෙකු ඇමෙරිකාවේ පදිංචිව සිටින අතර එක් අයෙක් සිටින්නේ ලංකාවේ ය. ඔහු ස්වර්ණවාහිනියෙන් විකාශය වූ 'ටැලන්ට් ශ්‍රී ලංකා' රියලිටි වැඩසටහනේ තරඟ කරුවෙක් ලෙස සිටියේය. නාමල් රාජපක්ෂ යනු ඔහුගේ ගජ මිතුරෙකි. විදුහල්පතිගේ හොර වැඩ යට ගැසීමට නාමල්ගෙන්ද අධ්‍යාපන අමාත්‍යංශයට දැඩි බලපෑමක් පැමිණියේය. විදුහල්පතිවරයාද ශිරන්ති හා නාමල් සමග සිටින ඡායාරූප පෙන්නමින් හැමතැනම ඇවිද්දේ තමන්ගේ බල පුළුවන්කාරම් පෙන්නන්නටය.

මෙම දූෂිත මහානාම විදුහල්පති ප්‍රේමලාල් ගේ අල්ලස් සිද්දීන් ගැන මුලින්ම පරීක්ෂණයක් ආරම්භ කළේ 2006 දීය. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මගින් බී/සී 4421/2005/බී7 යටතේ ආරම්භ කළ පරීක්ෂණයට දැන් වසර 6කි. ආරම්භ කළ පරීක්ෂණය ලත් තැනම ලොප්වූයේ රාජපක්ෂ ආණ්ඩුවේ බලපෑම නිසාය.

විද්‍යාලයේ විදුහල්පතිගේ හා තවත් ගුරුවරුන්ගේ විවිධ වද හිංසාවලට ගුරුවරියන් මුහුණදුන් අවස්ථා බොහෝය. ඒවා ඉවසාගත නොහැකිව පාසල හැර ගිය ගුරුවරියන් බොහෝ ය. එහි කූඨප්‍රාප්තිය නම් විදුහල්පති ප්‍රේමලාල්ගේ අගසව්වා විසින් පාසැල් කාලයේදීම එහි සංගීත ගුරුවරියට ලිංගික අතවර කිරීමේ සිද්ධියයි.

මාධ්‍ය මගින් ද හෙළි කළ එම ජරා සිදුවීමේදී ටී තුසිත් මාලේගොඩ නම් විදුහල්පති ප්‍රේමලාල්ගේ අගසව්වා පාසල් කාලයේදී පාසලේ සංගීත ගුරුවරියකට අතවරයක් කෙළේය. ඒ ගැන අමාත්‍යාංශයට කිහිපවිටක්ම පැමිණිලි කළ ද ඒ සියල්ල යට ගියේය. කොල්ලූපිටිය පොලීසියට කළ පැමිණිල්ල අනුවද සාධාරන පරීක්ෂණයක් කෙරුණේ නැත. විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි, 6-7 අංශබාර බණ්ඩාර ලලිත්, ටී තුසිත් මාලේගොඩගේ සොයුරා වූ නීතීඥ නදීල් දුෂ්‍යාන්ත මාලේගොඩ යන පිරිස එම සංගීත ගුරුවරිය විදුහල්පති කාමරයට කැඳවා පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස බලපෑම් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශන වාර්තාවේ පවා දැක්වේ.

මෙහි ඇති කණගාටු දායක සිදුවීමක් නම් මෙම ගුරුවරියට ලිංගික අතවර කළ ටී තුසිත් මාලේගොඩගේ සොයුරා වූ නීතීඥ නදීල් දුෂ්‍යාන්ත මාලේගොඩ මෙසේ බලපෑම් කිරීමට තරම් පහත් තත්ත්වයක වැටී සිටිද්දී ඔහු මහජන නියෝජිතයෙකු ලෙස කොළඹ නගර සභාවට ඡන්දයෙන් තේරී පත්වීමයි.

මේ පීඩනයන් හමුවේ අමාත්‍යාංශයෙන් සරණක් නොවූ තැන තමන්ගේ දුක් ගැනවිල්ල සිරස විමර්ශන වලින් ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ අනාවරණය කළ පසු වහා ක්‍රියාත්මක වූ අමාත්‍යාංශය මාධ්‍යයට තොරතුරු දීමෙන් ආයතන සංග්‍රහය උල්ලංඝනය කළා යැයි පවසමින් එම ගුරුවරියගේ වැඩ තහනම් කළේය. ගුරුවරියට ලිංගික අතවර කළ මාලේගොඩට ද~ුවම් නොකළ අමාත්‍යාංශය ගුරුවරිය එය මාධ්‍යයට කීවා කියා ඇයගේ වැඩ තහනම් කෙළේය.

ගුරුවරියට අතවර කර මාස 10ක් යන තෙක් තුසිත් මාලේගොඩට කිසිවක් නොකළ අමාත්‍යාංශය සිරස විමර්ශන අනාවරණයෙන් දින කිහිපයකට පසු නැගී ආ විරෝධය හමුවේ යන්තම් ඔහුගේ ද වැඩ තහනම් කළේය. බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයා ඔහුගේ වැඩ තහනම් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේ ඔහුගේ වැඩ තහනම් නොකර සංගීත ගුරුවරියගේ වැඩ තහනම් කිරීම විශාල ගැටළුවක් වන බව කියමිනි.

මෙම සිදුවීමෙන් කිපුනේ විදුහල්පති ප්‍රේමලාල් ය. ඔහු ක්‍රියාත්මක විය. සිරස ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂවරයකු වන යසරත් කමල්සිරි මහානාමයේ ආදිශිෂ්‍යයෙකි. විදුහල්පති ආදි සිසුවා මෙහෙයැවීය. සිරස විමර්ශනයේ හෙළි කිරීම ගැන කුපිත වූ යසරත් කමල්සිරි වහාම ක්‍රියාත්මක වන පරිදි සිරස විමර්ශන කරන මාධ්‍යවේදියාගේ වැඩ තහනම් කළේය.

විදුහල්පති පාසලේ හා අමාත්‍යාංශයේ හැමතැනම කිය කියා ඇවිද්දේ, "මට කෙළවන්න ගිය සිරසෙ එකාටත් කෙළ වුණා. මාගේ මිනිස්සු හැම තැනම ඉන්නවා. මට මොනවා හරි කළොත් ඕක තමයි වෙන්නේ. අධ්‍යාපන අමැති උණත් මාත් එක්ක හොඳයි‘" කියාය. යසරත් කමල්සිරිගේ මේ නැහැදිච්ච මාධ්‍ය භාවිතය නිසා ඇතැම් මාධ්‍ය වල මෙම මහානාම විද්‍යාලයේ සිදුවීම් වාර්තා කළේ ද නැත.

නීතීඥ නදීල් දුෂ්‍යන්ත මාලේගොඩ රාවය සම කර්තෘ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජනගේ මිතුරකු වන නිසා රාවයේද මේ සිදුවීම් පළ කළේ නැත. නිදහස් මාධ්‍යයේ රඟ එලෙසය.

තම වැඩතහනම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් සංගීත ගුරුවරිය නීතීඥ ෙජ්. සී. වැලිඅමුණ මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ අතර එය විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍යාංශයට අතුරු නියෝගක් නිකුත් කළේය. ඒ මේ පෙත්සම විභාග කර අවසන් වන තෙක් ගුරුවරියගේ වැඩ තහනම ඉවත් කර ඇය නැවත සේවයේ පිහිටුවන ලෙසයි.

සාපරාධී ක්‍රියා ඇතුළු විශමාචාර රාශියක් සිදු කර වසර ගණනක් තිස්සේ කිසිදු ගැටළුවකින් තොරව රිසි රිසි පරිදි කටයුතු කිරීමට හැකි නම් රටේ නීතියක් නැති සැටි මේ සිදුවීම් පෙළින් අවබෝධ කර ගත හැකිය. මෙය කෙතරම් වැරදි පූර්වාදර්ශයක්ද?

පොඩි පාසලක විදුහල්පතිවරයකු හුනු කෑල්ලක් හොරකම් කළත් ගෙදර යවන රටේ ආණ්ඩුවට හිතවත් කම් පාන අයට ක්‍රියාත්ම වන නීතිය කුමක්ද?

අධ්‍යාපන ඇමැතිවරයා පුද්ගලිකව මෙම අයථා ක්‍රියා ජාලය දැනගෙන නිශ්ෂබ්දව සිටියේ ඇයි?

පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ තොරතුරු පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ පසුවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිහ`ඩව සිටියේ ඇයි?

මහානාම විදුහලේ විදුහල්පති වල්පොල හෙට්ටිආරච්චිගේ ප්‍රේමලාල් කුමාරසිරි යටතේ සිදුවූ අයථා ක්‍රියා අති මහත් ය. ඉන් කිහිපයක් පමණක් පහතින් දක්වමු.

• අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස භාවිතා කරමින් ද ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාල් නෝනිස්ගේ අත්සන හා නිල මුද්‍රාව හොරට භාවිතා කරමින් හොර ලිය කියවිලි සකසා එක වසරට ළමුන් ඇතුලත් කිරීම. මේ ලියකියවිලි සකසා ඇත්තේ විදුහල්පතිගේ දැනුවත්කම උඩ ටී ටී මාලේගොඩ ගුරුවරයා හා ඔහුගේ සහෝදරයකු වන කොළඹ නාගරික මන්ත්‍රී නීතීඥ නදීල් දුෂ්‍යන්ත මාලේගොඩ විසින් බව පරීක්ෂණවලින් අනාවරණය විය.

• පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරිමේදී අවසාන ලකුනු ලැයිස්තුවේ හා පොරොත්තු ලේඛණයේ සඳහන් නොවන සිසුන් පාසලට ඇතුලත් කර ඇති බව අනාවරණය විය.

• ටී ටී මාලෙගොඩ හා ඔහුගේ සොයුරු කොළඹ නාගරික මන්ත්‍රී නීතීඥ නදීල් දුෂ්‍යාන්ත මාලේගොඩ ගේ නිවසේ ලිපිනය වන නො. 35, රන්සිවි පටුමග, කොළඹ 04 ලිපිනය භාවිත කරමින් සිසුන් පාසලට ඇතුළු කිරීම. මේ ඇතුලත් කිරීම් සඳහා එක් අයෙකුගෙන් ලක්ෂ 2-4 අතර මුදල් අය කරගෙන ඇත.

• පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළු කිරීමේ කමිටුවලට එකම පුද්ගලයින් යොදා නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛ නිකුත් කර තිබියදී විදුහල්පති විසින් සල්ලි වලට ළමුන් ඇතුලත් කිරීම සඳහා එක දිගට වසර ගණනාවක් ටී ටී මාලේගොඩ ගුරුවරයා එම කමිටුවේ තැබීම.

• මහානාම විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ සියලු කටයුතු සිදුකරනුයේ විදුහල්පති ප්‍රේමලාල්, ටී ටී මාලෙගොඩ, බණ්ඩාර ලලිත් සහ ප්‍රදීපිකා රත්නායක යන අය සමග බවත් ඒ හරහා ඔවුන් විශාල මුදලක් ලබාගෙන තිබේ. මේ කටයුතු සඳහා මාලේගොඩ ගුරුවරයාට විදුහල්පති විසින් කාලසටහනක් නොදී ඇති අතර එලෙස කර ඇත්තේ අවශ්‍ය ආකාරයෙන් විදුහලේ පාලනය ගෙන යාමට ඔහුගේ සහාය ලබා ගැනීමටය.

• 6-7 අංශ භාර බණ්ඩාර ලලිත් ද විදුහල්පති විසින් කාලසටහනක් නොදී අයුතු ලෙස සිසුන් ඇතුලත් කිරීමට නිදහස් කර ඇත.

• ලක්ෂ ගණනින් මුදල් ගෙන පාසලට සිසුන් ඇතුලත් කරගෙන ඇතුළත් වීමේ ලේඛන ගත නොකර ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙයි. පාසලට විමර්ශන කණ්ඩායම් පැමිණෙන විට 6 සහ 7 ශ්‍රේණිවල එලෙස හොරට ගත් සිසුන් පාසලේ විද්‍යාගාරයේ හා පරිඝණක කාමරයේ රහසේ සඟවා සිටියදී හසු විය. ඇතැම් පන්තිවල මෙම හොරට ගත් ළමුන්ගේ නම් සහිතව නාමලේඛණයක් හා නම් රහිත තවත් නාමලේඛනයක් වශයෙන් පන්ති නම් ලකුනු කිරීමේ ලේඛන දෙකක් භාවිත කර ඇත. 6-7 ශ්‍රේණි භාරව කටයුතු කරන්නේ බණ්ඩාර ලලිත් ගුරුවරයායි.

• නාමලේඛණ වල නම නොදා මාස පහක් අධ්‍යාපනය දුන් කැලණිය ප්‍රදේශයේ සිසුවකු ජනාධිපති විමර්ශනය ආරම්භයත් සමග බොරැල්ල සුසමයවර්ධන විදුහලට මාරු කළේය. මෙය ලංකාදීපයේ මුල් පිටුවේම පළ විය.

• ටී ටී මාලේගොඩ හා බණ්ඩාර ලලිත් යන ගුරුවරුන් ලිංගික අල්ලස් ලබා ගෙන ඇත. දරුවන්ගේ මව්වරුන් බොහොමයක් සමග අනියම් ඇසුරු පවත්වා ඇත.

• විදුහල්පති, ටී ටී මාලේගොඩ, බණ්ඩාර ලලිත් යන ගුරුවරුන් උපගුරුවරියන්ට ලිංගික බලපෑම් කර ඇත.

• විදුහල්පතිගේ අනුදැනුම මත ආදි ශිෂ්‍ය සංගමයේ චින්තක පුල්ලෙපෙරුම, සුජීව ජයරත්න, ආදී කිහිප දෙනෙකු සමග එක්ව ටී ටී මාලේගොඩ තවත් කිහිප දෙනෙකුද හවුල් කරවාගෙන 'මහානාම ක්‍රීඩකයින්ගේ දෙමාපියන්ගේ සංගමය' නමින් සංගමයක් පිහිටුවාගෙන විගණනයට හසු නොවන ආකාරයෙන් ගිණුමක් විවෘත කර ඒ මගින් ලක්ෂ ගණනක මුදල් වංචා කර ඇත.

• ආදි ශිෂ්‍ය සුජීව ජයරත්න බොරැලැස්ගමුවේ සම්පත් බැංකුවේ කළමනාකරුවකු වෙයි. සම්පත් බැංකුවේ ගිනුම් අංක 002960003317 යටතේ මේ හොර ගිණුම විවෘත කර ඇත.

• විදුහල්පති ටී ටී මාලේගොඩ ආදී ගුරුවරුන්ගේ සත්‍ය තත්ත්වය වසන් කර ව්‍යාජ තොරතුරු යවා අධ්‍යාපන අමාත්‍යාංශය නොමග යවා ඇති බව හෙලිවී ඇත.

• විදුහල්පතිවරයාට එරෙහි අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශනයෙන් නිර්දේශ කර ඇත්තේ සාපරාධී ක්‍රියා සිදුවී ඇති නිසා මේ ගැන වැඩිදුර විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසයි.

විදුහල්පතිට නිකුත් කළ චෝදනා පත්‍රයේ මෙවැනි චෝදනා 28 ක් සඳහන් කර තිබේ.

ෆුට් බයිසිකලයක් හෝ නොමැතිව මහානාමයට පැමිණි මේ තක්කඩි විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි මහානාමයේ තිබූ zමහා නාමයේZ අසූචි තවරා පාසලෙන් යන්නේ කාර් දෙකක හා වෑන් රියක හිමිකාරයෙක් සහ බැංකු ගිණුම් වල මුදල් පුරවා ගත් මහා ධනවතෙකු ලෙසට ය.
.
-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

Share this article with your friends