Chitika Smowtion 468x60


Friday, May 18, 2012

කොන්දේසි සහිත සමාවකට ජෙනරාල් එකඟ නෑ


කොන්දේසි සහිත සමාවක් ලැබුණහොත් සරත් ෆොන්සේකා මහතා නිසැකවම එය ප‍්‍රතික්‍ෂෙප කරනු ලබන බව ඒ මහතාගේ පවුලේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. ෆොන්සේකා මහතාට ජනාධිපතිවරයා විසින් සමාවදීමට යන්නේ කොන්දේසි සහිතව බවට මේ වන විට දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ ආරංචි පැතිරෙමින් තිබෙන අතර, ඒවායින් කියවෙන්නේ දේශපාලනය නොකිරීම, රටින් බැහැරව සිටීම වැනි කොන්දේසි ඊට ඇතුළත් බවයි.
කෙසේ වුවද, ජෙනරාල්වරයාට කොන්දේසි විරහිත සමාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණද මේ වන විට ජනාධිපතිවරයාට බලපෑම් කර සිටී.
අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ නව ප‍්‍රවණතාවයත්, ජාත්‍යන්තරයෙන් එල්ල වන විරෝධයත් හේතුවෙන් ජෙනරාල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පසුගිය 16 වනදා රාති‍්‍රයේ අනෝමා ෆොන්සේකා මහත්මිය සමගද සාකච්ඡා පැවැත්වීය.
එම සාකච්ඡාව පිළිබඳව ‘රාවය’ පුවත්පත කළ විමසීමකදී අනෝමා ෆොන්සේකා මහත්මිය ප‍්‍රකාශ කොට ඇත්තේ, ජනාධිපතිවරයා කොන්දේසි පිළිබඳව කිසිවක් සාකච්ඡා නොකළ බවයි. ජනාධිපතිවරයා ෆොන්සේකා මහතා නිදහස් කරන බවට දැඩිව ප‍්‍රකාශ කළද, ඒ සඳහා දිනයක් ප‍්‍රකාශ නොකළ බවද ඇය පවසයි.
සාකච්ඡාවක් සඳහා අරලියගහ මැදුරට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ආරාධනාවක් ලැබුණද, තම පවුලේ උදවිය එය ප‍්‍රතික්‍ෂේප කළ නිසා ඒ සඳහා ටිරාන් අලස් මහතාගේ නිවස තෝරා ගත් බවද ඇය කියා සිටී. ෆොන්සේකා මහතා වෙනුවෙන් ඉදිරියේදී ආරක්‍ෂාව සලසා දෙන මෙන් තමා ඉල්ලූ බවද ආරක්‍ෂාව සඳහා පිරිස් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවද ඇය වැඩිදුරටත් කියා සිටී.
මැයි 19 වනදා ගාලූ මුවදොර පිටියේ පැවැත්වෙක ‘විජයග‍්‍රහණ සැමරුමේදී’ ෆොන්සේකා මහතා නිදහස් කිරීමේ පණිවිඩය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය මැයි 16 වනදා රාති‍්‍රයේ ජනාධිපතිවරයා හා අනෝමා ෆොන්සේකා මහත්මිය අතර පැවැති සාකච්ඡාවේදී ඒ පිළිබඳව ඉඟි පළ වී ඇතැයිද වාර්තා වේ.

Source - lankanewsweb.com

Share this article with your friends