Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

විදුලි සේවක සටන පාවාදීමේ සූදානමක්



45% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා විදුලි බලමණ්ඩල සේවකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය අරගලය ආණ්ඩුව යෝජනා කර ඇති 25%ක වැටුප් වැඩිවීමෙන් කෙළවර කිරීමට වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.
වෘත්තීය සමිති නායකයින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයින් පවසා ඇත්තේ සේවකයින්ට අවම වශයෙන් 30%ක හෝ වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි. එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟවී නොමැති අතර ඔහු 25%ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟවී තිබේ. කෙසේ වෙතත් අවසානයේදී වෘත්තීය සමිති නායකයින් ඊට සිය විරෝධය පළකර විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයකද නිරත විය.
නමුත් එම විරෝධතාවයේදී සේවකයින් ඇමතූ ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව යෝජනාකර ඇති 25% වැටුප් වැඩිවීම ලබාගත යුතු බවයි.


එහෙත් රංජන් ජයලාල් මහතාගේ එම යෝජනාවට අනෙකුත් වෘත්තීය සමිති නායකයින් විරෝධය පළකර ඇති අතර 45% වැටුප් සටන දිගටම කරගෙන යායුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමටද ඔවුන් කටයුතු කළේය.
මේ අතර, ලංකා විදුලි බල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමයද රංජන් ජයලාල් මහතාගේ තීරණයට එකඟතාවය පළකර ඔවුන් වැටුප් අරගලයෙන් ඉවත්වන බව ඊයේ නිවේදනය කළේය.
විදුලි ඉංජිනේරු සංගමයේ මෙම තීරණය පිටුපස රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ මැදිහත්වීමක්ද තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. අදාල අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත විදුලි ඉංජිනේරු සංගමය 25% ක වැටුප් වැඩිවීමට එකඟ වී ඇති අතර පසු අවස්ථාවකදී විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප පමණක් 45%ක ප්‍රතිශතයකටත් වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ නංවන බවට ඔවුන් එහිදී ගිවිස ගෙන ඇත.
මේ අනුව රංජන් ජයලාල් මහතා සහ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය සමස්ත විදුලි සේවක වැටුප් සටන පාවා දෙමින් සිටින බව විදුලි බල මණ්ඩල සේවකයෝ චෝදනා කරති. 


Source: lankaviews.com

Share this article with your friends