Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

දුමින්දට එරෙහි නඩුව බරක් වේ


ඉදිරියට ගෙනියන්න බැහැයි නීතිපති කියයි!

සිංගප්පූරු රෝහලක සිටින විත්තිකාර දුමින්ද සිල්වාගේ ප්‍රකාශයක් සටහන් කරගන්නා තුරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ ඉදිරි නීතිමය කටයුතු පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි නීතිපතිවරයා 
ඊයේ (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේය.

විත්තිකාර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වනවිට විදේශගතව ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අනුව දැනට ප්‍රකාශයක් සටහන් කරගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව සඳහන් කළ රජයේ නීතිඥවරයා එය සටහන් කරගත හැකි කාල සීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි බව කියා සිටියේය.

එමනිසා මෙම නඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම අසීරු වී ඇති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සටහන් කරගත් වහාම ඉදිරි නීතිමට කටයුතු අරඹන බව සඳහන් කළේය.

කෙසේ නමුත් පසුගියදා දුමින්දගේ ලේකම්වරයෙකු යැයි කියාගත් හේවාවිතාරණ නමැත්තෙක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පසුගිය 19 දා දුමින්දට කරන ලද සැත්කම සාර්ථක බවත් ඔහුට ඔහුගේ දේශපාලන කටයුතු යළි ආරම්භ කළ හැකි බැවින් ජූලි මස 15 දා ශ්‍රී ලංකාවට එන බවයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය කාල සීමාව තුළ අධිකරණයට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශ ගණනාවක් සිදුකර ඇති බව අද නඩුවේහිදී සැකකාර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයට වාර්තාවන් කිහිපයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධව ඉදිරි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැමිණිලි කිහිපයක් සහ පුවත්පත් ලිපි මෙන්ම රූපවාහිනී සංයුක්ත තැටි කිහිපයක් ද ඉදිරිපත් කළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අධිකරණය ඉදිරිපිට පොල් ගසා ප්‍රකාශ කිරීම තුළින් සිදුකරනු ලැබුවේ කිසියම් ආගමික විශ්වාසයක් ඇදහීම පමණක් බව ඊට විරෝධය පළකළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ශවයේ නීතිඥවරු කියා සිටියහ.

Share this article with your friends