Chitika Smowtion 468x60


Wednesday, January 18, 2012

ජනාධිපතිගෙන් අසාද්සාලිට කැපිල්ලක්


කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය විපක්‍ෂ නායක අසාද්සාලි මහතා ඉවත්කොට මොහොමඞ් මහරුෆ් මහතා එම තනතුරට පත්කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබාදුන් නියෝගයක් මත මෙම තීරණය ගෙන ඇත. මිලින්ද මොරගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති කොළඹ නගරසභාවේ සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. මෙම රැුස්වීමෙන් අනතුරුව රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද පවත්වා ඇත.

රැස්වීම ආරම්භයේදී අදහස් දක්වා ඇති කොළඹ මහනගර සභාවේ විපක්‍ෂ සංවිධායක මන්සින් මහතා, මිලින්ද මොරගොඩ මහතා බොහෝ දිනවල විදේශගතව සිටින බැවින් නගරසභාවේ කටයුතු සම්බන්ධයෙන් හදිසි තීරණ ගැනීමට සිදුවන අවස්ථාවලදී බලවත් අපහසුතාවයකට පත්වන බවත්, එහෙයින් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම මෙහෙයවීම සඳහා ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගත් නියෝජ්‍ය විපක්‍ෂ නායකයෙකු පත්කළ යුතු බවට යෝජනා කර තිබේ. එහිදී ඔහු එම තනතුර සඳහා එක්සත් ජාතික පක්‍ෂ පාලනයේ හිටපු ඇමතිවරයෙකුවන මොහොමඞ් මහරුෆ් මහතාගේ නම යෝජනා කර ඇත.

දැනට එම වගකීම අසාද්සාලි මහතා විසින් ඉටුකරන බැවින් වෙනත් අයෙකු ඒ සඳහා පත්කරන්නේනම් ඒ සඳහා රහස් ඡුන්දයක් පැවැත්විය යුතු බවට මිරින්ද මොරගොඩ මහතා මෙහිදී යෝජනා කර තිබේ.

මිලින්ද මොරගොඩ මහතාගේ යෝජනාවට විරුද්ධත්වය පළකර ඇති නාගරික මන්ත‍්‍රී අජන්ත ලියනගේ මහතා, ඡන්දයක් පැවැත්වුවහොත් පැහැදිලි බෙදීමක් ඇති වන බවත්, මෑතකදී එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා තෝරාගැනීමට පැවති ඡන්දයෙන් පසු ඇතිවී තිබෙන තත්ත්වය ඊට හොදම උදාහරණය බවත්, පවසමින්, නියෝජ්‍ය විපක්‍ෂ නායකවරයා පොදු එකඟතාවයකින් පත්කරගත යුතු බවට යෝජනා කර ඇත.

මෙහිදී සමහර මන්ත‍්‍රීවරුන් අසාද්සාලි මන්ත‍්‍රීවරයාගේ පසුගිය දිනවල කි‍්‍රයාකළාපය විවේචනය කරමින්, ඔහු මේ වනවිට නගරාධිපතිවරයාගේ රූකඩයක් වී ඇතැයි පවසා ඇත.

ඒ අනුව කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය විපක්‍ෂ නායක ලෙස මොහොමඞ් මහරුෆ් මහතා පත්කරගෙන තිබේ.

තවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කන්ඩායම වෙනුවෙන් කොළඹ මහනගරසභාවේ ගිණුම් කමිටුව නියෝජනය කරන අසාද්සාලි මහතා එයින් ඉවත්කොට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බෝහෝ කාලයක් නගරසභාව නියෝජනය කළ ටෝනි රම්සි මහතා පත්කළ යුතු බවටද යෝජනා වී තිබේ.

මෙහිදී තමාට සිදුකළ අසාධාරණයට විරෝධය පළකර ඇති අසාද් සාලි මහතා තමා ලබන 19 වනදා පැවැත්වෙන නගරසභා රැස්වීමේදී සිය මන්ත‍්‍රී ධූරයෙන් ඉවත්වන බව සඳහන් කර ඇත.

කොළඹ නගරසභාව එක්සත් ජාතික පක්‍ෂය පාලනය යටතේ පැවති සමයේදී උපනගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් විශාල ජනප‍්‍රියතාවයක් ලබාසිටි අසාද්සාලි මහතාට කොළඹ නගරසභා පුරපති අපේක්ෂකත්වය ලබාදෙන බවට රනිල් වික‍්‍රමසිංහ මහතා මීට ඉහතදී පොරොන්දු වී තිබිණ. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අසාද්සාලි මහතාට සන්ධානයේ පුරපති ධුරය ලබාදෙන බවට පොරොන්දු වෙමින් ඔහු සන්ධානය වෙත එක්කරගනු ලැබීය.

කෙසේ වුවද තනතුරු සම්බන්ධයෙන් ඊයේ ඇතිවූ ගැටුමට අදාල ප‍්‍රධාන පාර්ශ්වකරුවන් වන මිලින්ද-මහරූෆ් සහ අසාද්සාලි යන තිදෙනාම ‘සිරස’ මාධ්‍ය ජාලයේ අධිපති කිලී මහරාජාගේ අනුගාමිකයින් වේ.






Source: http://173.193.236.37/sinhala/index.php?option=com_content&view=article&id=1001:2012-01-14-12-22-37&catid=1:general&Itemid=53

Share this article with your friends