ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරිකයකු හා එහි වාමවාදී පාර්ශ්වයේ ඉදිරිපෙළ ක‍්‍රියාකාරිකයකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතාගේ බිරිඳ වන වෛද්‍ය චම්පා සෝමරත්න මහත්මිය පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට ලක් වූයේ ඇය කටුනායක ගුවන්තොටුපළේදී රහස් පොලිස් නිලධාරීන් විසින් රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලැබීම නිසාය.
එම සිදුවීමෙන් පසුව මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ඇය සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කළේය. එම සම්මුඛ සාකච්ඡාව සඳහා මව්බිම පුවත්පතේ සම්පූර්ණ පිටු දෙකක් වෙන් කිරීමට එහි කර්තෘ මණ්ඩලය කටයුතු කරනු ලැබ තිබූ අතර සම්මුඛ සාකච්ඡාව පළ කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබූ බවද වාර්තා වේ. එහෙත් එහි හිමිකරුවන් වෙත එල්ල වූ දේශපාලන බලපෑම් හා ඔවුන් ඊට යටවීම හේතුවෙන් අවසන් මොහොතේ එම සම්මුඛ සාකච්ඡාව වාරණයට ලක් කෙරිණි. අදාළ සම්මුඛ සාකච්ඡාව අප වෙත ලැබී ඇති අතර කාලීන හා දේශපාලන වැදගත්කම සලකා එය සම්පූර්ණයෙන්ම පළ කිරීමට ‘ලංකා විව්ස්’ තීරණය කර ඇත. පහත පළ වන්නේ එම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.
කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන නිළධාරීන් ඔබත් දරුවන් දෙදෙනාවත් රඳවාගත්තෙ කුමන චෝදනාවක් යටතේද?
කිසිදු නිශ්චිත චෝදනාවක් යටතේ නෙවෙයි. ඔවුන් මා වෙත කිසිම ආකාරයකින් වාචික හෝ ලිඛිත චෝදනාවක් ඉදිරිපත් කළේ නැහැ. මම හෝ මගේ දරුවන් ලංකාවේ හෝ වෙනයම් රටක මොනයම් ආකාරයක හෝ නීතිවිරෝධී කටයුත්තක නියැලී නැහැ. හැබැයි මගේ දේශපාලන අතීතය පිළිබඳවයි, මගේ සැමියාගේ දේශපාලනය පිළිබඳවයි බොහෝ ප‍්‍රශ්න ඇසුවා. ඒ නිසා මගේ සහ දරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන පරිදි අපිව බරපතළ ශාරීරික හා මානසික අපහසුතාවට පත් කරමින් තමන්ව හඳුන්වා දුන් හා නොදුන් විශාල රහස් පොලිස් නිළධාරීන් ප‍්‍රමාණයක් විසින් අපව රඳවාගෙන දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රශ්න කිරීමේ හේතුව මුළුමනින්ම දේශපාලනික හේතූන් මත සිදුවූවක් ලෙසයි මම දකින්නේ. ඔවුන් ඉතා පැහැදිළිවම සඳහන් කළා මට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බව. ඒ නිසා මා සහ දරුවන් ගුවන් තොටුපල තුළ රඳවා ගැනීමේ කිසිදු නීතිමය හේතුවක් මේ වනතුරුත් මා දන්නේ නැහැ. නමුත් දෙනෝදාහක් ජනතාවගේ ඇස් ඉදිරියේ සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට වගකිවයුත්තන් බලවත් දේශපාලනඥයින්ගේ ආශිර්වාදය හා සමහර රාජ්‍ය නිළධාරීන්ගේ සහයෝගය මැද මෙම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටෙන්ම පූර්ණ රාජ්‍ය ආරක්‍ෂාව යටතේ බාධාවකින් තොරව ගමන් බිමන් යන බව කවුරුත් දන්නා කාරණයක්. ඉතින්, නීතිය ඉදිරියේ පවතින සමානාත්මතාවයේ තරම පිළිබඳව බුද්ධිමත් ලාංකීය ජනතාවට මනා වැටහීමක් තිබෙනවා. ඒ නිසා පටු දේශපාලන අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා නිශ්චිත නීතිමය පදනමක් අවශ්‍ය වන්නේ නැති තත්වයකයි ලංකාවේ පවතින්නේ.
මගේ නිවාඩු කාලයෙන් සති දෙකක් ඉක්මවන්නටත් මත්තෙන් මට රටින් බැහැරවීමට සිදුවූයේ මොවුන් විසින් මටත්, දරුවන්ටත් මගේ පවුලේ සමාජික සාමාජිකාවන් හා ඥාතීන්ටත් ඇතිකල බලවත් පීඩනය හමුවේයි. අපි යන යන තැන අපගේ පෞද්ගලිකත්වයට බරපතළ ලෙස බාධාවන අයුරින් ව්‍යාජ ප‍්‍රශ්න කිරීම් නිසා මම හොඳටම හෙම්බත්වෙලයි හිටියේ. මට මතක් වුනේ ‘‘හඬනු මැන නිදහස’’ කෘතියේ දකුණු අප‍්‍රිකානු වර්ණභේදවාදී පාලනයේ පොලිස් ලූහුබැදීම් හා බැඳුනු මර්දනකාරී වටපිටාවයි. මම මේ තත්වය පිළිබඳව සියලූම වගකිව යුත්තන්ට දැනුම් දීලයි තිබුණේ. ඒත් වෙනසක් වුනේ නැහැ. උදේ හවා ඇඟේ හැප්පෙන තරම් කිට්ටුවෙන් හිටියත් අවශ්‍යනම් මගෙන් යම්කිසි ප‍්‍රකාශයක් හෝ ලබැගැනීමට නීත්‍යානූකූල පියවරක් ගනු ලබන්නේත් නැතිව ගුවන් තොටේදී රඳවාගෙන පැය 18ක් තිස්සේ පීඩනයට ලක්කිරීම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වශයෙනුයි මම දකින්නේ.
ජ.වි.පෙ. වාම කණ්ඩායමේ නායක පේ‍්‍රම්කුමාර් ගුණරත්නම් ඔබේ සැමියාද?
මා සහ දරුවන් කටුනායක ගුවන් තොටුපලේදී රඳවා ගන්නා ලද පොලිස් දෙපාර්තමේන්තුවට අයත් නිළධාරිනුත්, මාධ්‍යවේදියෙකු ලෙස ඔබත් මගෙන් සමාන ප‍්‍රශ්නයක් ඇසීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. දැනටමත් මේ ප‍්‍රශ්න කිරීම් සියල්ලමත් මා පිළිතුරු ලෙස ලබාදුන්න යැයි සඳහන් තොරතුරුත් විශාල ප‍්‍රමාණයක් විවිධ පුවත්පත්වල විද්‍යුත් මාධ්‍යවල හා අන්තර්ජාලයේ පළවී තිබුණා. සමහර තොරතුරු මාධ්‍යයන්හී වාර්තා වී තිබී ඇත්තේ මා සහ දරුවන් ගුවන් තොටුපලේ රඳවාගෙන සිටියදීමයි. සමහර සත්‍ය තොරතුරුත් ප‍්‍රබන්ධමය තොරතුරුත් එක්තැන් කොට හදපු විවිධ විග‍්‍රහයක් සහ විශ්ලේෂනයක් මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා. පොලිස් දෙපාර්තමේන්තුවට අයත් රහස් පොලිස් නිළධාරීන්ගේ නීතිය හැසිරවීමේ ‘‘විනිවිදභාවය’’ පිළිබඳව කදිම උදාහරණයක් මේක. මොකද, මාධ්‍යවල වාර්තා වී තිබූ සමහර ප‍්‍රශ්න කිරීම් පිළිබඳ තොරතුරු ඔවුන් හැර වෙනත් අයෙක් දැන සිටීමේ හැකියාවක් නැති නිසා. නමුත් අර කතාවක් තියෙනවානේ සත්‍යකම පාවහන් ලා ඉදිරිපස දොරින් පිටවීමට තැත් කරද්දී අසත්‍ය පෑල දොරින් පලායනවා කියලා.
පොදුවේ ලාංකීය ජන සමාජය වර්තමානයේදී මුහුණ දී සිටින දේශපාලන නිදහස පිළිබඳ ගැටළුවයි. කුමක් වුවත් ගුණරත්නම් ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවයේ නායකයාද යන්න ගැන මම නොදන්නා නමුත් වගකිවයුතු මාධ්‍යයන් හරහා අපේ ජනතාවට දැනගැනීමට අවශ්‍ය වන්නේ මගේ පුද්ගලික තොරතුරු නොව මා සහ දරුවන් මුහුණ දුන් අත්දැකීම මගින් ප‍්‍රශ්න කෙරෙන ලංකාවේ නීතිය, මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැටළුවයි. නිදහසේ දේශපාලන අදහස් දැරීමට ඇති මූලික මානව අයිතිවාසිකම් පිළිබඳව ගැටළුවයි.
ඔබ 1994මහ මැතිවරණයේදී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණෙන් කුරුණෑගලට ඉදිරිපත් කළ කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළා නේද?
ඔව්. 1994දේශපාලන මොහොත හැකියාවට වඩා අවශ්‍යතාවය ප‍්‍රමුඛ ලෙස සැලකීමට සිදුවූ දේශපාලන මොහොතක්. අනෙක ධවල භිෂණයෙන් පසු වර්ධනය වූ බිය සැක හා අවිශ්වාසය මුළුමනින්ම පහව නොගිය මොහොතක්. ඉතින් දේශපාලන නිරවුල්භාවය සහිත ධෛර්යසම්පන්න සොයුරු සොයුරියන් හා එක්ව එම කටයුත්තට මුහුණ දීමට ඉතිහාසමය බලකිරීමක් තිබුණා. ඒ නිසාම වෛද්‍යවෘත්තීය හෝ පුද්ගලික ජීවිතයේ මඟහැරෙන අවස්ථා පිළිබඳව බරපතළ ලෙස සිතීමට තරම් තත්වයක් තිබුණේ නැහැ. අනෙක එක්ව ආ ගමනේ ඉක්මනින් වෙන්ව ගිය සොයුරු සොයුරියන්ගේ බලාපොරොත්තු ඉටු කරගැනීමේ අධිෂ්ඨානසහගත ආරම්භයක් අවශ්‍ය මොහොතක් ලෙසයි අප එම අවස්ථාව විග‍්‍රහ කර ගත්තේ. ඉතින් දෙගිඩියාවට කාලයක් තිබුණේ නැහැ. බල දේශපාලනයේ යෂ්ටි හුවමාරුව විසින් දේශපාලන ප‍්‍රවාහය තුළ සුළු විවරයක් හදාදීලා තිබුණා. ඒ මතට කඩාවැදීම හැර අන් විකල්පයක් නොමැති තරම්. ඉතින් කුඩා බිළිදියත් සමඟ ඒ කටයුත්තට යම්තමින් හෝ දායක වීමට ලැබීම පිළිබඳව අදටත් දේශපාලන වශයෙන් සතුටු විය හැකියි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඔබෙන් ප‍්‍රශ්න කළේ ගුණරත්නම් ගැන පමණක්ද?
නැහැ. තවත් බොහෝ ප‍්‍රශ්න ඇසුවා. ඒවා මුළුමනින්ම දේශපාලනයට අදාල ප‍්‍රශ්න. ඔවුන් ජන අරගල ව්‍යාපාරය ගැන ඇසුවා. ජ.වි.පෙ. ගැන සහ ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවය ගැන ප‍්‍රශ්න කළා. ජන අරගල ව්‍යාපාරය, උතුරු ප‍්‍රදේශයේ දේශපාලන කටයුතුවල නියැලීම පිළිබඳව ප‍්‍රශ්න කළා. ජන අරගල ව්‍යාපාරය ජ.වි.පෙ. හෝ සන්නද්ධ අරගලය පිළිබඳව විශ්වාස කරනවාදැයි ප‍්‍රශ්න කළා. ඔවුන්ට ලංකාවේ සමාජවාදය ගොඩනැගීමේ හැකියාවක් පවතීද යන්නත් ඔවුන්ගේ දේශපාලන වැඩකටයුතු සඳහා මුදල් සොයාගන්නා ආකාරය පිළිබඳවත් ප‍්‍රශ්න කළා. ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවය උතුරු ප‍්‍රදේශයේ ජනතාවත් සමඟ ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නියැලීම ඔවුන් ප‍්‍රශ්නයක් කරගෙන ඇති බව ඔවුන්ගේ ප‍්‍රශ්න කිරීම් තුළ මට පෙනීගිය එක් විශේෂ කරුණක්. ඔවුන් මගේ දේශපාලන අතීතයෙන් මගේ පුද්ගලික ජීවිතය පිළිබඳවත්, 1994මහ මැතිවරණයේදී මගේ දායකත්වය පිළිබඳවත් ප‍්‍රශ්න කළා. ලංකාවේ නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් බිඳවැටීම පිළිබඳව මාත් සමඟ සංවාද කළා. මෙහිදී ලංකාවේ නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් කඩවීමේ තත්වය පිළිබඳව ඔවුන් මා හා එකඟ වූවා.
ඒවාට ඔබ විසින් ලබාදුන් පිළිතුරු සඳහන් කළ හැකිද?
ඇත්තෙන්ම පුළුවන්. මම මෙතැනදි ඔවුන්ට ලබාදුන් පිළිතුරුවල හරය පැහැදිලි කරන්නම්. මෙය අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට පමණක් නෙවෙයි ඔබ විසින් එවැනි ප‍්‍රශ්නයක් නැගුවත් මා ලබාදෙන පිළිතුර එයමයි. මා දන්නා සහ තේරුම් ගන්නා ආකාරයට ජන අරගල ව්‍යාපාරය වේවා, ජ.වි.පෙ. වාම ප‍්‍රවනතාවය වේවා ඔවුන් ජනතාව මත විශ්වාසය තබමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත විශ්වාසය තබමින් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක්. ඔවුන් ලාංකීය සියලූ ජන කොටස් වෙත සමාජ සාධාරණත්වය හා සෞභාග්‍යය උදාකරලීම සඳහා ලංකාවේ සමාජවාදය ගොඩනැගීම අරමුණු කරගත් දේශපාලන ව්‍යාපාරයක්. ඔවුන් සිංහල වේවා දමිළ හෝ මුස්ලිම් වේවා සියලූ ආකරයේ ජාතිවාදයන්ට එරෙහි සභාගවාදී දේශපාලනයන්ට එරෙහි විනයගරුක සංවිධාන ක‍්‍රමවේදයකට - එකඟ පිරිසක්. ජ.වි.පෙ. නායකයින් කොටසක් මූලික අරමුණුවලට පටහැනිව වෙනත් දිශාවකට රැගෙන යාමට එරෙහිව ඔවුන් නැගූ විවේචනයෙන් පදනමත් එයයි. ඔවුන් තම අරමුණු ඉටුකරගැනීමේ ලා සන්නද්ධ අරගලය මත විශ්වාසය තබන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මෙය ඔවුන්ගේ නායකයින් විසින් පුන පුනා ප‍්‍රකාශයට පත්කළ කරුණක්. නමුත් රජයේ සමහර මාධ්‍ය ආයතන හා වෙනත් අතලොස්සක් වූ පෞද්ගලික මාධ්‍ය කිහිපයක් මගින් ජනතාවට ඉතා වැරදි හා ද්වේෂ සහගත ප‍්‍රචාරයක් ගෙන යමින් සිටිනවා. මොවුන් සන්නද්ධ අරගලයකට සූදානම් වන බවත් ඉතාමත් අපකීර්තිමත් ජාතිවාදී සංවිධාන සමග සබඳතා පවත්වන බවත්. කීර්තිමත් මාධ්‍යවේදීන් විශාල ප‍්‍රමාණයක් නිර්මාණය කළ වගකිවයුතු මාධ්‍ය සම්ප‍්‍රදායකට හිමිකම් කියන ලංකාවේ අතලොස්සක් දෙනා විවිධ දේශපාලන නායකයින් හා න්‍යාය පත‍්‍රයන් පිනවීම සඳහා මෙසේ කටයුතු කිරීම පිළිබඳව බුද්ධිමත් ලාංකීය ජනතාව නිවැරදිව වටහා ගනු ඇති බව මගේ විශ්වාසයයි. මහා මිනිස් ඛේදවාචකයන් තුනකට මුහුණදී ඇති ලාංකීය ජනතාවට තවත් එවැන්නක් ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඇයි මේ අසත්‍ය ප‍්‍රවෘත්ති මවමින් ජනතාව නොමඟ යවන්නේ. මෙය කාගේ වුවමනාවක්ද? මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් මර්දනය කිරීම සඳහා පසුබිම සකස් කිරීමක් නොවේයැයි කියන්නේ කොහොමද?
මගේ සැමියා නිතරම ප‍්‍රකාශ කළ එක් කරුණක් මෙහිදී සඳහන් කරන්නම්. එනම් රාජ්‍ය මර්දනය හමුවේ අවශ්‍යනම් ගාන්ධිවාදී පෞර්ෂයෙන් එයට මුහුණ දීමේ ශක්තිය ප‍්‍රගුණ කළයුතු බවයි. වර්තමාන ලෝක යථාර්ථයට අනුව ජනතාව මත විශ්වාසය තබන එවන් පෞරුෂයකින් හැර පොදු ජන අපේක්‍ෂාවන් මල්ඵල ගැන්විය නොහැකියි.
මම පොඩි බාධාවක් කරන්නම්. එම නිළධාරීන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ කරමින් ප‍්‍රශ්න කලාද?
මගෙන් සෘජුව එවැනි ප‍්‍රශ්න කිරීමක් කළේ නැහැ. නමුත් ජ.වි.පෙ. තුළ සිටි වඩා උගත්, දක්‍ෂ හා බුද්ධිමත් කොටසින් බහුතරය ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවය හා එක්ව කටයුතු කරන බවත් ඔවුන් දකුණේ පමණක් නොව උතුරේද දේශපාලන කටයුතු සිදු කිරීම පිළිබඳව ඔවුන් විශේෂයෙන් සැලකිලිමත් වන බවත් පැවසුවා. මගේ අදහස වූයේ ජාතිවාදයෙන් ඔත්පල වූ අපගේ මාතෘභූමියට අවශ්‍ය එවැනි පිරිසක් නොවේද යන්නයි. එවැනි පිරිසකට පමණයි ජාතිවාදයේ බෙදුම් රේඛා වෙනුවට සමානාත්මතාවයේ ධජය යටතේ ‘‘නූතන ලාංකීය සිතීමක්’’ නිර්මාණය කරන්න පුළුවන්. මා ඔවුන්ගෙන් ප‍්‍රශ්න කළේ එවැනි පිරිසකට උදව් කිරීමේ වගකීම කෙසේ වෙතත් අඩුම තරමින් බාධා නොකර සිටීමේ ප‍්‍රතිපත්තියකටවත් නොයන ඔබ ඔවුන් පැහැර ගැනීමට හා අතුරුදන් කිරීමේ දේශපාලනය හඳුන්වන්නේ කුමන නමකින්ද යන්නයි. එය රාජ්‍ය ත‍්‍රස්තවාදය හැර අන් කුමක්ද?
තිලෝගුරු සම්බුදු පියාණන්, කිසාගෝතමියට වදාලේ නොමළ ගෙයකින් අබ අහුරක් රැගෙන එන ලෙසයි. ඒ වගේ උතුරේ දේශපාලනය කරන මොනයම්ම හෝ දේශපාලන ව්‍යාපාරයකට එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ නොවුනු පවුලක් හෝ ගමක් මුණ ගැසීමට ඇති ඉඩකඩ ඉතා අවමයි. අප කැමති වුණත් නැතත් අද දවසේ උතුරේ යථාර්ථය එයයි. එතකොට මේ අතුරුදහන් කිරීම් හරහා ලබාදෙන්නට උත්සාහ කරන පණිවුඩය කුමක්ද? එක් පවුලකට කල්ලියකට හැරෙන්න වෙනත් අයට දේශපාලනය කිරීමේ අයිතිය අහෝසි කිරීම නොවේද? වගකිවයුතු බුද්ධිමත් ලාංකීය ජනතාව මෙය නිවැරදිව වටහාගනු ඇතැයි මා තරයේ විශ්වාස කරනවා.
ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවයට තම දේශපාලන වැඩකටයුතු සඳහා මුදල් සොයාගන්නා ආකාරයත් මගේ දැනුමේ හැටියට ඔවුන්ට පැහැදිලි කළා. එය සංශෝධනවාදී ජ.වි.පෙ. අරමුදල් සොයාගැනීමේ ක‍්‍රමවේදයට වඩා ලොකු වෙනසක් නැහැ. මන්ත‍්‍රී වැටුප් පරිත්‍යාගය, මාසික ජනතා අධාර, දිස්ත‍්‍රික්කවල කුලී ශ‍්‍රමයෙන් උපයා ගන්නා මුදල්, හැකි අයුරින් නඩත්තු කරන සුළු ආර්ථික ක‍්‍රියාකාරකම් හා විශේෂයෙන්ම හිතවතුන්ගෙන් ලබාගන්නා ණය අධාර මගිනුයි. ඉතින් මේ පිළිබඳව මනා වැටහීමක් මගෙන් ප‍්‍රශ්න කළ නිළධාරින්ට තිබෙනවා. ඒ නිසයි අඩුම තරමින් ඔවුන් මේ වනතෙක් ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවයේ මුදල් පරිහරණය පිළිබඳව කිසිඳු පිළිගත හැකි පරික්‍ෂණයක්වත් සිදුකොට නැත්තේ. නමුත් ඒ පිළිබඳව අවලාද ප‍්‍රචාරයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ. අනිත් අතට ඔවුන් සංශෝධනවාදී ජ.වි.පෙ.ත් මේ පිළිබඳව ප‍්‍රශ්න කරන්නේ හෝ ඊට එරෙහිව අවලාද ප‍්‍රචාරයන් සිදු කරන්නේ නැහැ. ඔවුනුත් පසුගිය දිනවල ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවය හා තරඟයට විවිධ ක‍්‍රියාකාරකම් විශාල ප‍්‍රමාණයක් සිදු කිරීමට උත්සාහ කළා. ඉතින් ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවයට එරෙහිව ගෙනයන අවලාද ව්‍යාපාරයේ දේශපාලන අරමුණ මම ඔවුන්ට පැහැදිලි කළා.
මම ඔවුන්ට එක් නිශ්චිත අදහසක් ප‍්‍රකාශ කළා. ඒ ජන අරගල ව්‍යාපාරය හෝ ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවයට නිදහසේ තම දේශපාලන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට බාධා නොකර සිටින ලෙසයි. ලංකාවේ සමාජවාදය ගොඩනැගීම මනෝරාජික හීනයක් නොවන බවත් යථාර්ථවාදී සිහිනයක් බවත් එය යථාර්ථවාදී වන්නේ පීඩාවෙන් හා අසාධාරණයෙන් අසහනයට පත්ව සිටින සාතිශ්‍ය බහුතරයක් ජනතාව සමාජ සාධාරණත්වයේ ක්‍ෂේම භූමියක එය තැබීමේ පිපාසාවෙන් පෙළන නිසා බවත් ඔවුනට පැහැදිලි කළා.
අප හැම දෙනාම ලස්සන කොළඹ නගරයට කැමතියි. දූවිලි නොමැති මං මාවත්වලට කැමතියි. මාර්ග බාධක නැති ගමනා ගමනයට සංදර්ශනවලට ආසයි. ඒත් මේ ලස්සන යට දිවෙන සුදු වෑන් සංස්කෘතියට, අතුරුදහන් කිරීම්වලට, පුද්ගල ඝාතනවලට, ඝාතන සංස්කෘතියට, නීතිය දේශපාලනීකරණය වීමට, දේශපාලනය කිරීමේ අයිතියට එරෙහිව මහජන මුදලින් නඩත්තුවන මාධ්‍යයන්ගේ ගුවන් කාලයෙන් සැලකිය යුතු කාලයක් මිඩංගු කරමින් ගෙනයන අවලාද ව්‍යාපාරයන්ට හා මර්දනයට අප එකඟ විය යුතුද?
මා ඔවුන්ට එක් නිශ්චිත අදහසක් පැවසුවා. එනම් ගුණරත්නම් හෝ ජන අරගල ව්‍යාපාරය හෝ ජ.වි.පෙ. වාම ප‍්‍රවණතාවය හෝ එල්.ටී.ටී.ඊ. යේ දේශපාලනයට මුළුමනින්ම විරුද්ධව දේශපාලන ස්ථාවරයක් දරණ බවයි. ඔවුන්ගේ එක් ප‍්‍රධාන දේශපාලන අනන්‍යතාවයක් ලෙස මා හඳුනගෙන ඇත්තේ බෙදුම්වාදී දේශපාලනයට එරෙහි ස්ථාවරයයි. බෙදුම්වාදය පෝෂණය කරන සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා සියලූම ආකාරයේ ජාතිවාදයන්ට ඔවුන්ගේ විරෝධය ඉතා නිශ්චිතයි. ‘‘නව ලාංකීය සිතීම’’ ඔවුන්ගේ උද්ඝෝෂණ පාඨයයි. එනිසා මොනම ආකාරයක හෝ ගෝත‍්‍රවාදයකට ඔවුන්ගේ අතරමැදි සමාදානයක් නැහැ. ඒ වගේම ජාතික හා ජාත්‍යන්තර සියලූම බලහත්කාරී දේශපාලන අධිකාරීත්වයට ඇති විරෝධයන් එලෙසමයි. මම මාධ්‍යවල දැක්කා මැද පෙරදිග ආකාරයේ ජනතා අරගලයකට මොවුන් මුල පුරා ඇති බවට පළවූ අසත්‍ය වාර්තා. මැද පෙරදිග අරගලවල අවසානය ඔවුන් දකින්නේ ඛේදාන්තයක් ලෙසයි. ඒ හැම අරගලයක්ම ලොව සුපිරි බලවතුන් තමන්ට අවශ්‍ය පරිදි කළමණාකරණය කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ සහයෙන් තොරව එවැනි අරගල ක‍්‍රියාත්මක කළ හැකි දේශපාලන නායකත්වයක් මේ රටවල තිබුණේ නැහැ. ඉතින් තම දේශපාලන න්‍යාය පත‍්‍රයන් ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටින විවිධ ආකාර වෙස්ගත් පුද්ගලයින් මේ පිළිබඳව මාධ්‍ය පිටු පිරවීම සම්බන්ධයෙන් මට ඇත්තේ බරපතළ කණගාටුවක්.
ගුණරත්නම් සැඟවුනු දේශපාලනයක නිරත වන බව ඔවුන් ඇසුවාද?
ඔවුන් ඇසුවේ, ගුණරත්නම් විවෘත දේශපාලනයට නොඑන්නේ ඇයිද යන පැනයයි. මගේ මුල්ම පැහැදිලි කිරීම වූයේ විවෘත දේශපාලනය යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ කුමක්ද යන්න පිළිබඳවයි. මගේ දැනුමට අනුව ඔහු දශක තුනක් තිස්සේ විවෘතව ජනතාව සමඟ දේශපාලන කටයුතුවල යෙදෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කිරීම හෝ ප‍්‍රසිද්ධ වේදිකාවේ සිට ජනතාව ඇමතීම යන කාරණාවලට අදාලව ඔහුගේ මැදිහත්වීමක් සිදු නොවුනු තරම්. නමුත් එය තීරණය කරනු ලබන්නේ පක්‍ෂයේ සංවිධාන ව්‍යුහයකින් මිස තනි පුද්ගල අභිලාෂයන්ට අනුව නෙවෙයි. අතීත ජනතාව සමග ජනතාවාදී දේශපාලනයක් සිදු කරන්නේ කොහොමද යන්න තීරණය කිරීමේ අයිතිය පැවරෙන්නේ අදාල පුද්ගලයනට මිස අන් යමෙකුට නොවේ. මහමග ජනී ජනයා විශ්මයෙන් දෑස් දල්වා බලා සිටියදී අවි හරඹ පාන දේශපාලන ක‍්‍රියාවලිය ප‍්‍රශ්න නොකරන පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ අදාල වගකිවයුතු දෙපාර්තමේන්තුවක්, නිදහසේ පුද්ගලයෙකුට දේශපාලනයේ යෙදීමට ඇති අයිතිය ප‍්‍රශ්න කිරීමත් දේශපාලනයේ යෙදිය යුතු ආකෘතීන් නිර්දේශ කිරීමත් හාස්‍ය ජනකයි. මම ඔවුන්ගෙන් ඇසුවා කැටපෝලයක්වත් අතින් නොගෙන උතුරේ දේශපාලනයේ යෙදුනු ලලිත් - කුගන් වැන්නන් පැහැර ගැනීමට ලක්වූයේ ඔවුන් විවෘත දේශපාලනයේ නියැලූනු නිසාද යන වග. ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම සිරගත කිරීමට භාජනය වී සිටින්නේ නිදහස් හා සාධාරණ පරික්‍ෂණවල ප‍්‍රතිඵලයක් ලෙසද? එසේ නොවන බව දේශපාලන වශයෙන් සවිඥානක සියලූ ජනතාව දන්නවා. වරෙක මේ රටේ බලවත්ම පුද්ගලයා වශයෙන් සැලකීමට ලක්ව සිටි සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම සිරගත කිරීමේ බල දේශපාලනය තුළ සාමාන්‍ය ජනතාවගේ තත්වය කොයි අකාර ගනීද?
ගුණරත්නම් 88-89වකවානුවේ සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයෙකු වශයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඔබෙන් ප‍්‍රශ්න කලාද?
නැහැ. නමුත් ඒ වකවානුවේදී ඔහුව හඳුනනවාද යන්නත්, මුලින්ම හඳුනාගන්නා කාල වකවානුව පිළිබඳව ප‍්‍රශ්න කළා. 88-89කාලයේ රටේ පැවති දේශපාලන වාතාවරණය පිළිබඳව ඒ ගැන මතකයේ ඇති කා තුළත් අවබෝධයක් ඇති බවයි මගේ වැටහීම. ඒ කාලයේ පැවතුනේ අතිශය ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී, නීතිවිරෝධී පාලනයක්. කුමන අරමුණකින් හෝ වර්තමාන ජනාධිපතිවරයා පවා ඒ යුගයේ එම තත්වයට එරෙහිව දේශපාලන ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ බව කියැවෙනවා. වර්තමාන ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් පවා මෙම ජනතාවිරෝධී පාලනයට එරෙහිව යම් යම් මැදිහත්වීම් සිදුකළ බව මා දන්නා කරුණක්. එයින් වසර 25කට පමණ පස්සේ නිතිවිරෝධී ආණ්ඩුවට එරෙහි දේශපාලන ක‍්‍රියාකාරකම් ඒ ඉතිහාසයෙන් වෙන්කොට ගලවලා අරගෙන අනිත් පැත්තෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් වසර 2 1/2කට ආසන්න කාලයකුත් ගෙවිලා තියෙද්දි එහි අවතාරත් සමග ගැට ගහලා යම් පුද්ගලයෙකුට එරෙහිව සිදුකරන අවලාද ව්‍යාපාරය සබුද්ධික ජනතාව විසින් තේරුම් ගත යුත්තේ කෙලෙසද? බුද්ධිමත් ලාංකීය ජනතාව මෙම සදාචාරවිරෝධී දේශපාලනයේ හරය තේරුම් නොගනීවිද? මෙය තමුන්ගේ නොහැකියාව පෙන්නුම් කරන දේශපාලන බංකොලොත්භාවයේ ප‍්‍රකාශනයක් නොවේද?
අනිත් අතට සංශෝධනවාදී ජ.වි.පෙ. නායකත්වය මේ දේශපාලනමය පවාදීමට මූලිකත්වය ගැනීම පිළිබඳව තවදුරටත් මෙහි නායකයින් පිළිබඳව යම් හෝ විශ්වාසයක් තබා සිටින සැබෑ ක‍්‍රියාකාරීන් තේරුම් ගත යුත්තේ කෙසේද? මතවාදීමය වශයෙන් මුහුණදී ගත නොහැකි වූ තැන තම සටන් සගයන් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රාජ්‍ය යාන්ත‍්‍රණයට හෙළිදරව් කිරීමෙන් මතවාදීමය සටන ජයගනිමියි සිතා මේ පාවාදුන්නේ රෝහණ විජේවීර ඇතුළු කිර්තිමත් පක්‍ෂ වීරවරියන්ගේ හා වීරවරුන්ගේ ඉතිහාසය නොවේද? 88-89සියලූ වගකීම් ගුණරත්නම්ට පවරන ඔවුන්ට ඉල් මහ සමරු පවත්වා වේදිකාවේ සිට අත වැනීමට ඇති සදාචාරමය අයිතිය හෘද සාක්ෂියක් ඇති ලාංකීය ජනතාව ප‍්‍රශ්න නොකරනු ඇත්ද?
අනෙක් අතට මෙමගින් වැසී යන්නේ වසර 17ක දුර්දාන්ත ජනතා විරෝධී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා නීතිවිරෝධී පාලනයක් සැබෑ භිෂණයේ යථාර්ථය නොවේද? දස දහස් ගණනක් තරුණයන් ඝාතනය කිරීමේ වගකීමෙන් එම පාලනය නිදහස් කිරීම නොවේද? එදා සෝමවංශ අමරසිංහට ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීමට තිබූ අයිතිය අදටත් මා ආරක්‍ෂා කරන්නේ, ඒ වකවානුවේ පැවති දේශපාලන යථාර්ථයට යටත්වයි. එය නීති විරෝධී නොවන්නේ එය දේශපාලන සදාචාරයට නිවැරදි නිසාය. නමුත් ඔහුගෙන් නොකෙරෙන ප‍්‍රශ්න කිරීමක් ගුණරත්නම්ගෙන් කෙරෙන්නේ කිනම් දේශපාලන අරමුණු පෙරදැරි කරගෙනද යන බව තේරුම් ගැනීමට අපහසු නොවේ.
ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ මහතා ප‍්‍රකාශ කරනවා පේ‍්‍රම්කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් අපේ පක්‍ෂයේ හිටියේ නෑ කියලා. එය ඇත්තක්ද?
ඒ මහතා ලබාදුන් පිළිතුරක් පිළිබඳව මා අදහස් දැක්වීම සදාචාර සම්පන්න නැහැ. ඒ නිසා ඒ ගැන ඔහුගෙන්ම නිරවුල් කරගත යුතු වෙනවා. ඔබ ඔය ප‍්‍රශ්නය මට යොමු කළහොත් මගේ පිළිතුර වන්නේ මෙයයි. විශේෂයෙන්ම 1994ජ.වි.පෙ. යළි ජාතික දේශපාලන ප‍්‍රවාහයට ගෙන ඒම සඳහා කටයුතු කිරීමේදී ගුණරත්නම්ද ඇතුළු සීමිත සොයුරු සොයුරියන් පිරිසක් තමයි මූලිකත්වය ගෙන කටයුතු කළේ. අමරසිංහ මහත්මයා හැරුණු විට සංශෝධනවාදී පිලේ අද සිටින කිසිදු නායකයෙක් එදා එම ක‍්‍රියාවලියට නායකත්වය ලබාදීමේ සූදානමක හෝ හැකියාවක් සහිතව සිටියේ නැහැ. අමරසිංහ මහත්මයා ඒ වනවිට විදේශගතව සිටි නිසාම ඔහුටද මෙහිදී සක‍්‍රීය දායකත්වයක් සපයන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ දිනවලදීම තමයි පක්‍ෂයේ නිල අයිතිය පැහැර ගැනීමේ කුමන්ත‍්‍රණය පරාජය කරන්නට පුළුවන් වුණේ. ඉතින් 94ට පෙරත් පසුවත් ජ.වි.පෙ. දේශපාලන ක‍්‍රියාවලිය තුළ ක‍්‍රියාත්මක පූර්ණකාලිනයන් හා ක‍්‍රියාධරයන් ගුණරත්නම්ව නොහඳුනන්නේනම් එය ආශ්චර්යක්ම විය යුතුයි.
1988-89 රාජ්‍ය මර්දනයේ ස්වභාවය හා ඔබේ අත්දැකීම් ගැන කතා කළොත්?
කෙටියෙන් සඳහන් කළොත් පේරාදෙණිය වෛද්‍යපීඨයේ උපාධි අපේක්‍ෂිකාවක් වශයෙන් අධ්‍යාපනයේ යෙදී සිටියදීමයි මා ක‍්‍රියාකාරී දේශපාලනයට යොමු වුනේ. මූලික වශයෙන්ම මානව හිමිකම් පිළිබඳ ශිෂ්‍ය සංවිධානය තුළ තමයි මගේ දේශපාලන ක‍්‍රියාකාරිත්වය පැවතුනේ. මානව හිමිකම් පිළිබඳ කටයුතු තුළ නිසාම විශ්ව විද්‍යාල හා පාසැල් ශිෂ්‍යයන්ට එරෙහිව රාජ්‍යය විසින් මුදා හැරුණු මර්දනයේ බිහිසුණු බව ප‍්‍රායෝගිකව අත්වින්ද අයෙක් වශයෙන් යළි එවන් තත්වයක් ලාංකීය සමාජය වෙත උරුම කර නොදීමට හැකි සෑම උත්සාහයක්ම දැරීමට අදිටන් කරගෙන ඉන්නවා. එදා පැවති දේශපාලන වටපිටාව සාමාන්‍ය තත්වයක් වශයෙන් සැලකිය නොහැකියි. එක් පැත්තකින් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය මගින් නිර්මිත ජනාධිපතිවරයෙක් ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයකින් පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ව්‍යවස්ථාදායකයේ හයෙන් පහේ බලය තවත් වසර හයකට ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී හා නීතිවිරෝධී අයුරින් දික්කරගෙන ගෙනගිය ඒකාධිපති පාලනයක්. තවත් පැත්තකින් විදේශ හමුදා මැදිහත්වීමක්. උතුරේ යුද්ධය හා බෝම්බ පිපිරීම් මගින් නිර්මාණය වී තිබූ අරාජික තත්වයත් මැද තමයි මෙම තත්වයට එරෙහි ජනතා විරෝධය මතුවන්නේ. ඒ වනවිට ජ.වි.පෙ. නීතිවිරෝධී ලෙස තහනම් කොටයි තිබුණේ. එදත් නීත්‍යනූකූල හමුදාවලට අමතරව සම්මත නීති රීතිවලට පටහැනිව කටයුතු කරන විශේෂ ඒකක දේශපාලනඥයින්ගේ නායකත්වයෙන් ජනතාව මර්දනය කිරීමට යොදවා තිබුණා. කෙටියෙන් කීවොත් මිනිස් ජීවිතවලට තිබුණේ ඉතාම පොඩි ලංසුවක්.
ඒ නිසාම මා ඉතාමත් ආදරය කළ සොයුරු සොයුරියන් විශාල ප‍්‍රමාණයක් තම ජීවිතය යහපත් ලාංකීය සමාජයක් වෙනුවෙන් අරගලයේදී කැප කරද්දී මට තවදුරටත් ජීවත්වීමේ අහම්බ අවස්ථාවක් නිර්මාණය වූවායැයි කීවොත් නිවැරදියි. බොහෝ සාධනීය මෙන්ම සැලකිය යුතු නිශේධනීය ලක්‍ෂණ අත්පත් කොටගත් ජනතා නැගිටීම් ජනතා ජයග‍්‍රහණයකින් කෙලවර වූයේ නැහැ. ලාංකීය සමාජයට තම හොඳම දූපුතුන් විශාල ප‍්‍රමාණයක් අකාලයේ අහිමි කෙරුණා. ඒත් මේ අතිශය නීරස පාඩම ලාංකීය සමාජයේ ඉදිරි අනාගතය වෙනුවෙන් සාධනීය ලෙස යොදා ගැනිමට ඒ පිළිබඳව පුළුල් සංවාදයක් සමාජ ගත කිරීමට පක්‍ෂ මෙන්ම, වෙනත් ප‍්‍රගතිශීලී සමාජ ක‍්‍රියාකාරිත්වයක් හෝ මූලිකත්වය නොගැනීම බරපතළ දේශපාලන අඩුවක් වශයෙනුයි මම දකින්නේ.
වර්තමාන ජ.වි.පෙ. ගැන ඔබ අද මොකද හිතන්නේ?
මම හිතන්නේ ඔබ අහන්නේ සංශෝධනවාදී නායකත්වය නියෝජනය කරන පාර්ශවය පිළිබඳවයි. මොවුන් පිළිබඳව සුවිශේෂී කියැවීමක් මට නැහැ. නමුත් ජ.වි.පෙ. හිතවතුන් හා සුභ පතන්නන් සැලකිය යුතු ප‍්‍රමාණයක් තවමත් මොවුන් යළි නිවැරදි දේශපාලන ගමනක් සඳහා ප‍්‍රවේශ වේ යැයි බලාපොරොත්තු තබා සිටින බවක් පෙනෙනවා. නමුත් මෙතරම් ගැඹුරු දේශපාලන අවස්ථාවාදයක් වෙත ගිලී ගිය වමේ දේශපාලන ව්‍යාපාරයක් ඒ පිළිබඳව අවම හෝ ස්වයං විවේචනාත්මක ඇගයීමකටවත් සූදානම් නොවී යළි නිවැරදි මාවතකට අවතීර්ණ වේ යැයි සිතීමට අපහසුයි. ඇරත් ඔවුන්ගේ වර්තමාන සහායක දේශපාලන බලඇණි දෙස විමසුම් සහගත වීමේදීත් එසේ වීමට ඉඩප‍්‍රස්ථා නොමැති බවයි පෙනෙන්නේ. අනෙක් අතට ජාතිවාදය දේශපාලන උපක‍්‍රමයක් වශයෙනුත් අභ්‍යන්තර මතවාදී අරගලයේ අවියක් වශයෙනුත් භාවිතා කිරීමට තරම් දේශපාලන වශයෙනුත් භාවිතා කිරීමට තරම් දේශපාලන වශයෙන් දුර්වල වූ ව්‍යාපාරයක දේශපාලන හෘද ෂාක්ෂිය බරපතළ ලෙස ප‍්‍රශ්න කෙරෙනවා. අභ්‍යන්තර මතවාදී හා දේශපාලන අරගලයේ නියැලෙන තම සටන් සගයන් ධනේෂ්වර රාජ්‍ය යාන්ත‍්‍රණයට පාවාදීමෙන් නොනැවතී ඔවුන්ගේ ප‍්‍රචාරක පුවරු පොස්ටර් පත‍්‍රිකා විනාශ කරලීම සඳහා, පක්ෂය නිවැරදි වේ යැයි තව දුරටත් බලාපොරොත්තු දල්වාගෙන සිටින, තවමත් ඉතිරිව සිටින සහෝදර සහෝදරියන්ව යොමු කරන, ඔවුන්ගේ වටිනා ශ‍්‍රමය ඒ සඳහා නිර්ලෝභිව මුදා හරින දේශපාලන සංස්කෘතියකට හිමිකම් කියන නායකත්වයකට නිවැරදි විය හැකිද. මෙතරම් පසුගාමිත්වයක ගිලී ඇති නායකත්වයකට නිවැරදි විය හැකිද? වසරක් ගත වීමට මත්තෙන් පක්ෂ සමාජික ලේඛන දෙකක් සකස් කිරීමටත්, අධිකරණ නිවාඩු කාලයේදී ඈත එපිට දෙඹරවැවට පසුබැස පක්ෂ සමුළු කැඳවීමටත් සිදුව තිබෙන ජ.වි.පෙ. සංශෝධනවාදී පිලේ තත්වය දැන් ඕනෑවටත් වඩා රටට හෙළිදරව් වී ඇති බවයි මගේ හැඟීම.
ඔබ ජන අරගල ව්‍යාපාරයට ඉදිරියේදී සහය දෙනවාද?
මම දේශපාලන ක‍්‍රියාකාරීත්වයට අවතීර්ණ වූ මුල් මොහොතේ පටන්ම නිවැරදි වාම දේශපාලන ප‍්‍රවාහය සමඟ ඓන්ද්‍රියව බැදී සිටින අයෙක්. විටෙක පූර්ණකාලීනවත් තවත් වරෙක සාමාන්‍ය ක‍්‍රියාකාරිකයකු වශයෙනුත් මේ හා බැදී තිබූ අනන්‍යතාවය බිදුනේ නැහැ. ඉතින් ජ.වි.පෙ. තුළ මතු වූ මතවාදී හා දේශපාලන අර්බුදයේදී එහි ක‍්‍රියාකාරී බහුතරය වූ වාම ප‍්‍රවණතාවයට සහය ලබාදීම පිළිබඳව ගැටළුවක් පැන නගින්නේ නැහැ. ඉතින් එයින් පිරිසක් මූලිකත්වය ගෙන නිර්මාණය කොට ඇති ජන අරගල ව්‍යාපාරය පුළුල් බහුජන ව්‍යපාරයක් වශයෙනුයි මම දකින්නේ ඒ හා බැඳුණු ක‍්‍රියාමාර්ග වෙත මගේ සහය ලැබීම ඉතාම පැහැදිලියි.
කුමාර ගුණරත්නම්ගේ වැඩිමහල් සොයුරු රංජිදන් ගුණරත්නම් මුණ ගැහිල තියෙනවද ඔහු පිළිබඳව ඔබ සතුව ඇති අත්දැකීම් කෙටියෙන් සඳහන් කළොත්?
ඔව් මුණගැසී තිබෙනවා. ඔහු පක්‍ෂ දේශපාලනය විසින් නිර්මාණය කළ සුවිශේෂ නායකයෙක්. නායකත්වය, සහෝදරත්වය, මානව දයාව පිළිබඳව පරමාදර්ශයන් සොයා යාමේදී මට මුලින්ම හමු වන්නේ ඔහුයි. මානව දයාව දේශපාලනයේදී මහා පෞරුෂයක් බව ප‍්‍රායෝගිකව අත්වින්දේ ඔහුගෙන් යැයි පැවසීම නිවැරදියි. ඔහු ඇසුරු කළ, ඔහුගේ දේශපාලනයට එකඟ හා එකඟ නොවන බොහෝ දෙනා ඔහු පිළිබඳව පවසනු ඇත්තේ බොහෝ දුරට එකම හැඟිමක් බව මට විශ්වාසයි. නමුත් මෑතක පටන් රජයේ මාධ්‍ය මගින් ඔහුව ‘‘එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියකු’’ වශයෙන් හඳුන්වාදීමට තරම් දේශපාලන බංකොලොත් භාවයට පත්ව තිබීම පිිළිබඳව මා පුදුම වන්නේ නැහැ. නමුත් ඔහුගේ නම නිතර නිතර පුනරුච්ඡාරණය කරමින් සාමාජිකත්වය ඇමතීමට පුරුදුව සිටින ජ.වි.පෙ. සංශෝධනවාදී නායකත්වය රාජ්‍ය මාධ්‍ය මගින් ඔහුට එරෙහිව ගෙන යන අවලාද ව්‍යාපාරයට පිළිතුරු නොදීම නම් හරිම ජුගුප්සාජනකයි.
ඔබ වෛද්‍යවරියක් ලෙස විදෙස් ගතවීමට ප‍්‍රථම ලංකාවේ මොනවගේ ප‍්‍රදේශවලද සේවය කළේ?
කරාපිටිය ශික්ෂණ රෝහළ, බගවන්තලාව දිස්ත‍්‍රික් වෛද්‍යනිලධාරිනි, කෑගල්ල මූලික රෝහළ, වැලිසර ලය රෝහල හා කොළඹ ජාතික රෝහල.
ඔබ ඔස්ටේ‍්‍රලියාවේ වෛද්‍යවරියක් ලෙසද සේවය කරන්නේ?
ඔව්.
අවසන් වශයෙන් ඔබ මුහුණ දුන් අත්දැකීම පිළිබඳව කීමට ඇත්තේ කුමක්ද?
ජර්මන් කලාකරු මාටින් නිමොලර්ගේ වදන් කිහිපයක් පමණක් මෙසේ පවසන්නම්.
පළමුව ඔවුන් කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ.
මම කොමියුනිස්ට්වාදියෙක් නොවූ නිසා ඊට එරෙහිව කතා නොකලෙමි.
පසුව, ඔවුන් වෘත්තීය සමිති සාමාජිකයන් සොයා පැමිණියහ.
මම වෘත්තීය සමිති සමාජිකයෙක් නොවූ නිසා ඊට එරෙහි නොවූයෙමි.
පසුව, ඔවුන් යුදෙව්වන් සොයා පැමිණියහ.
මම යුදෙව්වෙක් නොවූ නිසා ඊට එරෙහිව කතා නොකලෙමි.
පසුව, ඔවුන් මා සොයා පැමිණියහ.
නමුත් මා වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් ඉතිරිව නොසිටියේය.