Chitika Smowtion 468x60


Wednesday, January 18, 2012

ජනාධිපතිගේ ඥාති පුත‍්‍රයා රාතී‍්‍ර සමාජ ශාලාවකට පොලූ තියලා


කොළඹ තිඹිරිගස්යාය කරෝකී ශාලාවකට පැමිණ එහි තරුණියන් සමග විනෝද වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥාති පුත‍්‍රයෙකු වන චමින්ද රාජපක්‍ෂ නමැත්තා ඊට අදාළ ගෙවීම් පැහැර හැර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමසූ එහි සේවකයින්ට පහර දී ඇති බවත් වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ සහෝදරයෙකු වන චන්ද්‍රා රාජපක්‍ෂ මහතාගේ පුත් චමින්ද රාජපක්‍ෂ නමැති මෙම තරුණයා, ඔහුගේ හිතමිතුරන් කිහිපදෙනෙකු සමග පසුගිය දෙසැම්බර් 31 වනදා අලූයම 2.30 ට පමණ තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පිහිටි එම රාතී‍්‍ර සමාජ ශාලාවට පැමිණ ඇත්තේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුද සමගය.

එම පිරිස සමාජ ශාලාවෙන් ලබාගත් සේවාවන් සඳහා ගෙවිය යුතුව තිබූ රුපියල් 51,000 ක මුදල නොගෙවා පිටව යාමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේදී සමාජ ශාලාවේ කලමණාකාරිත්වය තමන්ට අයවිය යුතු මුදල ගෙවා පිටව යන ලෙස ඉල්ලා ඇති අතර, ඒ සමගම රාජපක්‍ෂ පුත‍්‍රයා ඇතුළු පිරිස සමාජ ශාලාව තුළ කෝලාහල කරමින් එහි දේපළවලට දැඩි ලෙස අලාභහානි සිදු කර ඇත.
කලබල කරන පිරිස සමාජ ශාලාවෙන් පිටතට ගෙන යාමට එම සමාජ ශාලාවේ ආරක්‍ෂක නිලධාරියෙකු උත්සාහ කර තිබේ. එහිදී රාජපක්‍ෂ පුත‍්‍රයා සමග සිටි ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරියෙකු විසින් එම ආරක්‍ෂක නිලධාරියාගේ හිසටත්, මුහුණටත් පිස්තෝලයකින් කිහිපවරක්ම දැඩි ලෙස පහරදී ඇත.
පහර කෑමට ලක් වූ රාතී‍්‍ර සමාජ ශාලාවේ ආරක්‍ෂක නිලධාරියා, කොළඹ ජාතික රෝහලෙන් ප‍්‍රතිකාර ලබා තිබේ. ඔහුගේ උගුර, කන, නාසය ආශි‍්‍රත අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වී ඇති අතර, කට ඇරීමට පවා අපහසු බව වෛද්‍ය වාර්තාවල සඳහන් වේ.
ගරාජ් අංක සහිත ඩිෆෙන්ඩර් රථයකින් සහ කැබ් රථයකින් පැමිණි මෙම පිරිස සමාජ ශාලාවට කැඳවාගෙනවිත් ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ රියදුරෙකු විසිනි.
මෙම පහරදීම සිදුවන ආකාරය සමාජ ශාලාවේ කැමරාවල සටහන්ව ඇති අතර, එය ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද බම්බලපිටිය පොලිසිය වෙතද ලබාදී ඇත.
සමාජ ශාලාවට චමින්ද රාජපක්‍ෂ නමැත්තාගෙන් අයවිය යුතු රුපියල් 51,000 ක මුදල මේ දක්වා ගෙවා නොමැති අතර, සිද්ධිය පිළිබඳව සමාජ ශාලාවේ කලමනාකාරිත්වය විසින් බම්බලපිටිය පොලිසිය පැමිණිල්ලක්ද කර තිබේ. එහි පැමිණිලි අංකය GCEB 387/365 වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, වහාම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස සමාජ ශාලාවේ හිමිකරුට බලපෑම් එල්ල වී තිබේ.



Share this article with your friends