Chitika Smowtion 468x60


Monday, January 9, 2012

මහවැලි ගොවීන් 3000කට ජනපති අතින් ඉඩම් ඔප්පු


mahaveli urumaya HE spchලෝක ආහාර අර්බුද හමුවේ අපි කුසගින්නේ නොසිටියේ මෙරටේ ගොවි ජනතාව නිසයි
- ජනපති දෙහිඅත්තකණ්ඩියේ දී පවසයි

ලෝකය ම ආර්ථික අර්බුද, තෙල් අර්බුද ඇතුළු ආහාර හිඟතාවන්ට මුහුණ දෙන විට මෙරට ජනතාව කුසගින්නේ නොතබා කටයුතු කිරීමට අපට හැකි වූයේ මහවැලි ගොවි ජනතාව ගොවිතැන් කටයුතු කළ නිසා යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැවසීය.

පෙරේදා (07) ‍දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේ දී පැවති මහවැලි සී කලාපයේ ගොවීන් 3000කට ගොවි ඉඩම් ඔප්පු බෙදාදීමේ ‘මහවැලි උරුමය’ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා එසේ පැවසීය.

මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ වගාවට ඉඩම් නොමැති ව ළතැවෙන ගොවි පවුල්වලට ඉඩම් ලබාදීමේ වැඩසටහන යථාර්ථයක් බවට පත් කරමින් මෙම ගොවිබිම් ඔප්පු පිරිනැමිණි.

ත්‍රස්තවාදයෙන් මේ රට මුදාගෙන ගොවීන්ට නිසි පරිදි ගොවිතැන් කටයුතු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරදුන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ත්‍රස්ත උවදුරින් අප රට මුදාගත්තත් මත් උවදුරින් රට සම්පූර්ණයෙන් මුදා ගැනීමට නොහැකි වී තිබීම කණගාටුවට කරුණක් බව එහි දී පැවසීය. තමන්ට ලැබෙන ආදායම ‘මතට’ වියදම් නොකර එය කළමනාකරණය කර තමන්ගේ පවුලේ දියුණුවට, ප්‍රදේශයේ දියුණුවට, රටේ දියුණුවට යෙදිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

අවුරුදු 30ක කුරිරු යුද්ධයකට මුහුණ දුන් ජනතාවට අප නිදහස ලබා දී තිබේ. එම නිදහසින් අප උපරිම ඵලප්‍රයෝජන ලබාගත යුතුය. විශේෂයෙන් අපේ දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු නඟාසිටුවීම සඳහා ආදායම් තත්ත්වය නිසි කළමනාකරණයට ලක්කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

මෙහිදී ජනාධිපතිතුමා අතින් මහවැලි සී කලාපයේ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද රණ විරුවන් හා ගොවි ජනතාව ඇතුළු පිරිසක් සංකේතාත්මක ව ඉඩම් ඔප්පු ලබාගන්නා ලදී.

මහවැලි ඉඩම් මැනීමේ කටයුතු මේ වනවිට කඩිනමින් සිදුකරගෙන යන බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම උත්සවය අමතා පැවසීය. ඉදිරි වසර දෙක තුළ දී එම ඉඩම්වල අයිතිය එම ගොවීන් වෙත ලබා දී අවසන් කෙරේ. ජනගහණය වැඩි වුවත් ඉඩම් ප්‍රමාණය වැඩි නොවන නිසා ඉඩම්වලින් උපරිම ඵලදායිතාවක් ලබාගැනීමට කැපවන ලෙස අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
මේ උත්සවයට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඩබ්. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අද්මිරාල් සරත් වීරසේකර මහත්වරුන් ද රජයේ නිලධාරීන් සහ ඉඩම්ලාභී ගොවි ජනතාව ද එක් ව සිටියහ.

Hc
mahaveli urumaya 1mahaveli urumaya
mahaveli urumaya 3
mahaveli urumaya 4
mahaveli urumaya 2
mahaveli urumaya 5
mahaveli urumaya 6

Source : news.lk

Share this article with your friends