Chitika Smowtion 468x60


Monday, January 9, 2012

ගෝලයින් පැහැරගෙන යද්දී මර්වින් සැඟවේ


ඩොනල්ඞ් රංජිත් පෙරේරා නොහොත් පානදුරේ ඩොනල්ඞ් හා මාලිගාවත්තේ ඩොනල්ඞ් යන නම් වලින් පෙනී සිටින මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරන ලේකම්වරයා ඊයේ (07) පෙරවරුවේ නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතත්, ඔහු සම්බන්ධයෙන් සොයාබැලීමට ඇමතිවරයා මේ දක්වා කටයුතු කර නැතැයි ඔහුගේ ගෝලබාලයින් චෝදනා කරති. මෙම පැහැරගෙන යෑම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යවලට ලබානොදෙන ලෙස නාදුනන කිහිප දෙනෙකු ඊයේ ඩොන්ල්ඞ්ගේ බිරිඳවන කුමාරි මහත්මියට තර්ජනය කර තිබේ.

එසේ වුවද ඩොනල්ඞ් පෙරේරා ඊයේ පස්වරුවේ ඔහුගේ බිරිඳට කතා කොට කලබල නොමැතිව ඉන්නැයි දැනුම්දී ඇති බව මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්්‍ය මණ්ලඩයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ අතිශයින් සමීප හිතවතුන්වන රාගම ලොකුසීයා පැහැරගෙන ගිය අවස්ථාවේදී අමල් රොද්‍රිගූ පැහැරගෙන යනු ලැබූ අවස්ථාවේදීත් ඇමතිවරයා අනුගමනය කළ නිහඩ පිලිවෙත ඔහුගේ ගෝලබාලයින්ගේ කෝපයට හේතුවී තිබේ.

මෙම තත්ත්වය යටතේ ඇමතිවරයාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකුවන ‘කොට රංජා’ නැමැත්තා, ඔහුගේ පෞද්ගලික හිතවතෙකුවන විමලසිරි නැමැත්තා සමග ගොස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා හමුවී තමාගේ ජීවිතය ආරක්‍ෂා කරදීමට මැදිගත්වන්නැයි ආයාචනා කර තිබේ.

ඒ අනුව අර්ජුන රණතුංග මන්ත‍්‍රීවරයා ආරක්‍ෂක ලේකම්වරයාට දුරකථනයෙන් කතාකොට තිබේ. එහිදී ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත්තේ මර්වින්ගේ බලතල අතට ගෙන රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනින් කප්පම් ගත් පිරිස්වලට තමාගෙන් කිසිම බුරුලක් නොමැති බවයි. කප්පම් මාෆියාවට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුම තමාට අවශ්‍යවී ඇතැයි සඳහන් කර ඇති ආරක්‍ෂක ලේකම්වරයා, ‘කොට රංජා’ ද ඉන් එක් අයෙකු බව සඳහන් කර තිබේ.

පාතාල සාමාජිකයින්ගේ හා කප්පම්කරුවන්ගේ ප‍්‍රශ්නවලට මැදිහත් නොවන්නැයිද ආරක්‍ෂක ලේකම්වරයා අර්ජුන රණතුංග මන්ත‍්‍රීවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අනතුරුව අර්ජුන රණතුංග මන්ත‍්‍රීවරයා, රංජාට ප‍්‍රකාශ කොට ඇත්තේ හැකි ඉක්මනින් කොළඹින් පිටතට ගොස් වසන්වී සිටිනා ලෙසයි.

අප වෙත වාර්තාවී ඇති තොරතුරුවලට අනුව මර්වින් සිල්වා ඇමතිවරයා සමග නීති විරෝධී ජාවාරම්වල යෙදුණ ගෝලබාලයින් බොහෝ දෙනෙකු මේ වනවිට සැඟවී සිටින අතර ඉන් කිහිප දෙනෙකු ඉන්දියාව, සිංගප්පූරුවට හා බැංකොක්වලට පලාගොස් තිබේ.

පාතාලය හා කප්පම්කරුවන්ට එරෙහිව ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිදුකෙරෙන මෙහෙයුම්වලට බාධා නොකොට ටික දිනක් නිහඩව සිටින්නැයි ජනාධිපතිවරයා, මර්වින් සිල්වා අමාත්‍යවරයාටද දැනුම්දී තිබේ.






Source: lankanewsweb.com

Share this article with your friends