Chitika Smowtion 468x60


Monday, January 9, 2012

ජනාධිපතිගෙන් ජී.එල් ට කුණු බැනුම්


ප‍්‍රංශයේ ‘ලා පෝස්ට්’ තැපැල් සේවය එල්.ටී.ටී.ඊ හිතවාදී මුද්දර නිකුත් කර තිබීම සම්බන්ධයෙන් කෝපයට පත් ජනාධිපතිවරයා, ඒ පිළිබදව අවශ්‍ය පියවර නොගත් බවට චෝදනා කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සුද්ද සිංහලෙන් බැනවැදී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය. ප‍්‍රංශයේ ශ‍්‍රි ලංකා තානාපති කාර්යාලට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනුයුක්ත කර තිබියදී මෙවැන්නක් සිදුවන බවට මුලදීම වාර්තා නොවිම බරපතල කාරණයක් බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රෝහිත බෝගොල්ලාගම විදේශ ඇමතිවරයාව සිටියදී සිදුකල මෙහෙවර අගයා ඇති ජනාධිපතිවරයා, ඔහු සිටියදී තමාට යුරෝපයේ සංචාරය කිරීමට කිසිදු බාධාවක් නොතිබූ බවත්, මේ වනවිට තමාට අඩුමතරමින් ජනාධිපති ආර්්‍යාව සමග වතිකානුවට හෝ යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ජී.එල්. ඇමතිවරයාට චෝදනා කර තිබේ.

බෝගොල්ලාගම සිටි වකවානුවේදී ප‍්‍රංශය තුල ක‍්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරිකයින් 14දෙනෙකු බන්ධනාගාරගත කිරීමට එවකට තානාපතිව සිටි චිත‍්‍රාංගනී වාකිෂ්ඨට හැකි වූ බව පවසා ඇති ජනාධිපතිවරයා, දැන් ඉන්න තානාපතිවරු යුරෝපයට වී කරන්නේ මධුසමය ගතකිරීම බව දැඩිව පවසා තිබේ.

කොල්ලෝ කුරුට්ටෝ සමග ලෝකයවටා සවාරිගියාට තමාට ගැටලූවක් නැතැයි පීරිස් මහතාට පවසා ඇති ජනාධිපතිවරයා, මේ වනවිට විදේශ අමාත්‍යාංශයේ සතපහක වැඩක් සිදු නොවන බවටද චෝදනා කොට වහාම ප‍්‍රංශ තානාපති කාර්්‍යාලයට ගොස් එල්.ටී.ටී.ඊ මුද්දර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයේ විරෝධය පළකරන්නැයි නියෝග කර තිබේ.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප‍්‍රංශ තානාපති කාර්්‍යාලට ගොස් එල්.ටී.ටී.ඊ මුද්දර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයේ කනස්සල්ල පළකොට ඇත්තේ ඉන් අනතුරුවය.

කෙසේ වුවද මේ වනවිට ප‍්‍රංශයේ දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස් එරට තැපැල් සේවය හරහා මුද්දර 11ක් ප‍්‍රකාශයට පත්කොට ඇති අතර කැනඩාවද එක් මුද්දරයක් ප‍්‍රකාශයට පත්කොට ඇත.

Source : lankanewsweb.com

Share this article with your friends