Chitika Smowtion 468x60


Monday, January 9, 2012

ජෙනරාල් නිදහස් කිරීමට ඇමෙරිකාව සමග ‘ඞීල්’ එකක්


තමාට එරෙහිව ඇමෙරිකානු අධිකරනයේ විභාග වීමට නියමිත නඩුව ඉවත් කොට තමාට නිදහසේ එරට සංචාරය කිරීමට අවකාශ සලසා දෙන්නේනම්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබදව සලකා බැලිය හැකි බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකානු නියෝජිතයෙකුට දැනුම්දී තිබේ.
ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස එම ඇමරිකානු නියෝජිතයා ජනාධිපතිවරයා හමුවී කළ ඉල්ලීම හමුවේ ජනාධිපතිවරයා එම කාරණය සඳහන් කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකානු අධිකරණයකින් නඩුපවරා ඇත්තේ ඇමරිකානු රජයේ අවශ්‍යතාවය මත නොවන බවට එම නියෝජිතයා එහිදී පැහැදිලි කර දී ඇත.

කෙසේ වුවද ෆොන්සේකා මහතා නිදහස් කොට, උගත්පාඩම් කොමිසමේ නිර්දේශයන් කිහිපයක් ක‍්‍රියාත්මක කළ හොත් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තුල පවතින විරෝධය කිසියම් මට්ටමකින් සමනය කරගත හැකි බව ඇමරිකානු නියෝජිතයා ජනාධිපතිවරයාට උපදෙස් දී ඇත.

එම ඇමරිකානු නියෝජිතයා ජනාධිපතිවරයා හමුවීමට රැගෙන ගොස් ඇත්තේ විදේශ කටයුතු ක්‍ෂෙත‍්‍රයේ හිටපු ප‍්‍රධානියෙකු හා ෆොන්සේකා මහතාගේ සමීපතමයෙකු විසිනි.

ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු විසින් ඉල්ලිමක් නොකළ බැවින් ඔහුව නිදහස් කිරීමට මේ වනතෙක් තීරණයක් ගෙන නැතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා, එහෙත් ඇමරිකාව නිල නොවන මට්ටමින් හෝ එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන්නේනම් ඒ සම්බන්ධයෙන් තමාට සලකා බැලිය හැකි බව වැඩිදුරටත් පවසා ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 09 , 01:02



Source : lankanewsweb.com

Share this article with your friends