Chitika Smowtion 468x60


Monday, January 9, 2012

තිතට මත මහ පාරේ

කොළඹ කොටුවේ පාරවල් වසා රාත‍්‍රී දෙකක් තිස්සේ (දෙසැම්බර් 16 හා 17) සිදුකළ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග හෙවත් බාල් නැටීම අවසන්ය. ධාවනයේ යෙදුන මෝටර් රථවල ආරක්ෂාව සඳහා ධාවන මාර්ගය දෙපස ගොඩගසා තිබූ වැලිකොට්ට හා ටයර් ශ‍්‍රී ලංකා යුද හමුදා සෙබළුන් විසින් රැුගෙන ආ පරිදිම ආපසු ගෙන යමින් තිබුණි. නරඹන්නන් සඳහා සැකසූ ආසනද ආලෝකය සඳහා සිටවූ විදුලි පහන්ද ගලවමින් තිබේ. එහෙත් කොළඹ කොටුවට අත්වූ සංවර්ධනයක් නම් දක්නට නැත.

කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග අනුව ඔවුන්ට මේ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග පැවැත්වූ මාර්ගයේ සමහර ස්ථාන නැවත සකස් කරන්නට සිදුවී තිබේ. ඒ මාර්ගයේ පළල ලබා ගැනීම සඳහා කඩා දැමූ පදික වේදිකා නැවත සකස් කරන්නට ඇතුලතට බෑවුම සිටින පරිදි දැමූ තාර කාපට් නැවත තිබූ පරිදි සකස් කිරීමට කාපට් කිරීමෙන් වැසීගිය ජලය, විදුලිය, මළනාලිකා හා දුරකථනවලට අදාළ මෑන්හෝල් නැවත පාදා ගැනීම වැනි කටයුතුය. අමතරව ලංකා බැංකු මාවතත් ගලදාරී වටරවුමක් අතර මාර්ගය තිබූ පරිදිම දෙදිශාවටම වෙන්කර ඒ මත විදුලි පහන් කණු හිටුවීමය. ඉතිං මේ සංවර්ධන කටයුතු සඳහාත් රුපියල් මිලියන ගණනක් වැයවීම අනිවාර්යය.
ධාවන මාර්ගය පුරා මීටර් කිහිපයක දුර පරතරයක් ඇතිව තාවකාලිකව සවිකර තිබූ විදුලි පහන් ආලෝකය වෙනුවෙන් තවත් විශාල වියදමක් දරන්නට සිදුවී ඇත. ඒ සඳහා සංවිධායකයන් (තාරුණ්‍යයට හෙටක් සංවිධානයට හා කාල්ටන් ස්පෝර්ට්ස්) මුදල් ගෙව්වේද නැද්ද යන්න තවම පැහැදිලි නැත. සමහරවිට එම විදුලිය ලබාදීම ආණ්ඩුවේ මැතිවරණ ප‍්‍රචාරය වෙනුවෙන් රජයේ ආයතන සිදුකරන දෙන්නම් කාසි මැතිවරණ ප‍්‍රචාරක කටයුතු මෙන්විය හැකිය.

ටයර් හා වැලිකොට්ට රැගෙනවිත් සකස් කිරීමේ සිට ගෙනයෑම දක්වාවූ හමුදාවේ මැදිහත්වීම ගත්තත් එය එසේමය. ඒ සඳහා වැය කළ මිනිස් ශ‍්‍රමයේ හා උපකරණ ඇතුළු වාහනවල වියදම් දරණ්නේ මේ රටේ පොදු මහජනයාගේ බදු මුදල්වලින්ය. ශ‍්‍රී ලංකා යුද හමුදාව හෝ අනෙක් හමුදා සංවිධානයට උරදෙන මෝටර් රථ ධාවන තරග තිබෙන්නේය. එ අනුව ඊට හමුදා සාමාජිකයන් දායකත්වය ලබාදීම ගැටළු සහගත නැත. මන්ද එහි ප‍්‍රතිලාභ හෝ කීර්තිය අදාළ හමුදාද සතුවන බැවින්ය. කොළඹ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරගය එසේ නොවන්නේය. ශ‍්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චිට අනුව මේ මෝටර් රථ ධාවන තරගය සඳහා යුද හමුදා මූලස්ථානයේ කිසිදු සම්බන්ධතාවක් නැත. හමුදා ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කරන්නේ මෝටර් රථ ධාවන තරගයේ කටයුතුවලට හමුදා සාමාජිකයන් සහභාගීකරවීම සම්බන්ධයෙන් ඇසිය යුත්තේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් බවය. එසේත් නොමැතිනම් යුද හමුදාවේ කොළඹ මෙහෙයුම් මූලස්ථානයෙන් බවය, හමුදා ප‍්‍රකාශකවරයාගේ පැහැදිළි කිරීම් අනුව කොළඹ මෙහෙයුම් මූලස්ථානය යනු යුද හමුදා මූලස්ථානයට සෘජු සම්බන්ධයක් නැති මහකොළඹ සංවර්ධනයට අදාළව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ඒකකයක්ය. මේ පැහැදිලි කරගැනීම සඳහා එහි ප‍්‍රධානී බි‍්‍රගේඩියර් ශාන්ත දිසානායකව දුරකථනයෙන් සම්බන්ධකරගැනීමට නම් හැකිවූයේ නැත.

නමුත් මේ මගින් පෙනෙන්නේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග පිළිබඳව හොඳින් දැනුවත්ව සිටියා පමණක් නොව ඒ සඳහා හමුදා සාමාජිකත්වය හා සම්පත් වැයකරමින් රාජ්‍ය මුදල්වලින් විශාල දායකත්වයක්ද ලබාදී ඇති බවය.

එමෙන්ම ඒ සමගම පැන නගින ප‍්‍රශ්නය වන්නේ නගරයේ වෙනත් උත්සව කටයුතු සඳහා බලපාන නගර අලංකරණයට අදාළ නීති රීති කිසිවක් මේ මෝටර් රථ ධාවන තරගයට අදාළ නොවූයේ ඇයිද යන්නය. මීට පෙර අප ලියූ පරිදි හේතුව පැහැදිලිය. රජපවුලේ සාමාජිකයන්ට නීතිය බලපාන්නේ නැත. එහෙත් අප තේරුම් ගත යුත්තේ වෙනත් කිසිවකුට කොළඹ කොටුවේ වැඩිදියුණුකළ මාර්ග හෝ පදික වේදිකා කඩා බිඳ දමන්නට ඉඩ නොදෙන බවය. මාර්ගය මැද වළවල් හාරා කණු සිටවා මිනිසුන් ඇතුළුකිරීමට ප‍්‍රවේශපත් කවුළු ඉදිකරන්නට නොදෙන බවය. නමුත් 2011 මැයි 11 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි 2011 සැප්තැම්බර් මස 13 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් මහ කොළඹ නාගරික ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ නගර සංවර්ධන කටයුතු පවරාගත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය හෙවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සියල්ලටම ඉඩ දුන්නේය.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධනයේ නීතිය එසේ කඩා බිඳ දමද්දී රටේ පොදු නීතියද කඩා බිඳ දමමින් එම දින දෙකේදී කොළඹ කොටුව ප‍්‍රදේශයේ දොරේ ගැලූවේය. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මතට තිත සංකල්පය තිතට මත්වී කොළඹ කොටුවේ පාරවල් පුරා අරක්කු හා සිගරට් වෙළෙඳාමේ යෙදීමෙන්ය.

ආණ්ඩුවට බදු ගෙවා නීත්‍යනුකූලව පවත්වාගෙන යනු ලබන අරක්කු හා සිගරට් වෙළෙඳාමට අප විරුද්ධ නැත. අරක්කු හා සිගරට් බොන්නට කැමති සමාජයේ සෑම තරාතිරමක පුද්ගලයකුට ඒ සඳහා ඔවුන්ගේ ආදායම් හැකියාව අනුව සමාන අවකාශ තිබිය යුතුය යන්න අපගේ අදහසය.

ආණ්ඩුව පනවා ඇති අරක්කු හා සිගරට් රෙගුලාසි අනුව යම් පුද්ගලයකු කොළඹ කොටුවේ පාරවල්වල සිගරට් උරමින් ගියහොත් සිදුවිය හැක්කේ කුමක්ද? පොලීසිය විසින් කුදලාගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විශාල දඩ මුදලකට යටත් වීමටය. එය ගෙවීමට වත්කමක් නැත්නම් හිරේ තැපීමටය. මෙසේ ප‍්‍රසිද්ධ ස්ථානවල සිගරට් බීම නිසාම දඩමුදල්වලට යටත්වූ හෝ සිරදඬුවම් විඳි පුද්ගලයන් පිළිබඳ තොරතුරු පසුගිය කාලයේ අපි අසා ඇත්තෙමු. මේ නිසාම බොහෝ කුඩා සිල්ලර කඩවල දැන් සිගරට් විකුණන්නේ නැත. සිගරට් විකුණනවා නම් සිගරට් පත්තු කිරීමට ගින්දර ලබාදෙන්නේ නැත. සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් බැලූ විට සිගරට් යනු එය උරන්නාට පමණක් නොව අවට සිටින අයගේ සෞඛ්‍යයටද තර්ජනයක් බව සැබෑය. නමුත් ප‍්‍රසිද්ධියේ සිගරට් උරන්නට බැරි නීතිය දෙසැම්බර් 16 හා 17 රාත‍්‍රී දෙකේ මෝටර් රථ තරගය නැරඹීම සඳහා කොළඹ කොටුවට මුදල් ගෙවා හෝ ආරාධනා පත‍්‍ර මගින් ඇතුළුවූවන්ට අදාළ වූයේ නැත.

එම දින දෙකේදී අරක්කු සම්බන්ධයෙන්වූ තත්ත්වයද එසේමය. කොළඹ කොටුවේ පාරවල්වල තැන තැන ඉදිවූ අට්ටාලවල සිගරට් මෙන්ම අරක්කුද විකුණන්නට තිබුණේය. අරක්කු බොන පිරිස් ඒවා මිලදී ගෙන කටගැස්මකුත් හපමින් පාරවල් පුරා ඇවිදිමින් හෝ පාරවල් දෙපස ඉදිකර තිබූ ආසනවල සිටිමින් ප‍්‍රසිද්ධියේ තිතට මත් රස වින්දේය . වෙනත් දිනක කොළඹ කොටුවේ හෝ රටේ වෙනත් ප‍්‍රදේශයක මේ ආකාරයට ප‍්‍රසිද්ධියේ මහපාරවල්වල යමකු අරක්කු බිව්වොත් සිදුවිය හැක්කේ කුමක්ද? පෙරකී පරිදිම පොලීසියෙන් කුදලාගෙන ගොස් අධිකරණයට ඉදිරිපත් කිරීමය. දඩයකට යටත්වීමටය. දඩය ගෙවීමට බැරිනම් හිරේ ලැගීමටය. එසේ දඩනොගෙවූ අයද, හිරේ ලැගි අයද අපට පසුගිය කාලයේදී හමුවිය.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් බෝතලගම මහතාගේ පැහැදිලි කිරීමට අනුව ප‍්‍රසිද්ධ සැණකෙළි හෝ උත්සව සඳහා බියර් විකිණීිමට පවා තාවකාලික බලපත‍්‍රයක් ලැබෙන්නේ කොන්දේසි ගණනාවක් සම්පූර්ණ වූ පසුය. එම ස්ථානයේ සාමය කඩනොවන බවට පොලිස් නිර්දේශය අවශ්‍යය. ප‍්‍රාදේශීය ලේකම්තුමාගේ කැමැත්ත තිබිය යුතුය. උත්සවය හෝ සැණකෙළිය පවත්වන ස්ථානයේ හෝ ආයතනයේ අයිතිකරුගේ කැමැත්ත තිබිය යුතුය. අනුග‍්‍රහය දක්වන්නන් හෝ සංවිධායකයන් බියර වෙළෙඳාමෙන් ලබාගන්නා ලාභයෙන් කොටසක් සමාජසේවා ආයතනයකට බැරකරන බවට එකී ආයතනයකින් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

බියර් සඳහා එසේ තිබියදී බියර්වලට අමතරව අරක්කු සඳහාද අදාළ දින දෙකේදි සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ. කොළඹ සහකාර සුරාබදු කොමසාරිස් ජේ.පුෂ්පකුමාර මහතා ප‍්‍රකාශ කරන්නේ සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියෙන් කරන ලද ඉල්ලීමක් අනුව අදාළ බලපත‍්‍ර නිකුත් කළ බවය. සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනයට කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරග ඉවහල්වන බව ඔවුන් දැන්වූ බවය.

එසේ වුවද ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය රාත‍්‍රී මෝටර් රථ ධාවන තරගයේ කිසිදු තැනක සිටියේ නැත. එහි සභාපති ආචාර්ය නාලක ගොඩහේවාගෙන් කළ විමසීමකදී ද ඔහු ප‍්‍රකාශ කළේ මොටර් රථ ධාවන තරගයේ සංවිධායකත්වයට ඔවුන් හවුල් නොවූ බවය. එහිම වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් විපුල වනිගසේකර මහතා කියන්නේ මෙවැනි තරගවල දීර්ඝකාලීන බලාපොරොත්තුව සලකා බලා සංචාරකයන්ද පැමිණෙන බව ලැබුණ ඉල්ලීම් අනුව සංචාරකයන්ට Food & Beverages ලබාගැනීමේ වෙළෙඳසැල් තිබිය යුතු නිසා මත්පැන් බලපත‍්‍ර නිකුත් කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බවය.

මුලින් සඳහන් කළ පරිදි අප අරක්කු සිගරට්වලට විරුද්ධ නැත. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මතට තිත සංකල්පය හිස් මුදුනින් තබාගෙන ගිය සන්ධාන ආණ්ඩුවේ කොටස්කාරයන් වන ජාතික හෙළ උරුමය මේ ආකාරයට මහපාරේ ප‍්‍රසිද්ධියේ අරක්කු සිගරට් විකිණිම ගැන කියන්නේ කුමක්දැයි සුචරිතවාදීන් නොවන බොහෝ දෙනා දැනගන්නට කැමති වනු ඇත. මතට තිත සංකල්පය තිබෙද්දී පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ ප‍්‍රචාරණය සඳහා කොළඹ හිල්ටන් හෝටලයට කැඳවූ මාධ්‍යවේදීන්ට මත්පැනින් සංග‍්‍රහකළ බව තිතට මත වශයෙන් අප හෙළිදරව් කළ විට එවක හෙළඋරුමයේ නායකයාවූ පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඒ අරභයා මතුවූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කීවේ ජනාධිපතිවරයා සිය ආරාධිතයන්ට මත්පැන් ටිකකින් සංග‍්‍රහ කිරීම ප‍්‍රශ්නයක් නොවන බවය. ඒ ආකාරයටම ජනාධිපති පුතුන් සංචාරක ප‍්‍රවර්ධනය යැයි කියමින් මහපාරේ අරක්කු සිගරට් විකිණීම ද සමහරවිට ප‍්‍රශ්නයක් නොවනු ඇත.


ලසන්ත රුහුණගේ [Sunday, December 25, 2011]


Source : ravaya.lk

Share this article with your friends