Chitika Smowtion 468x60


Monday, January 9, 2012

විභාගයක් ගැන විශ්වාසයක් නැති රටක්


මෙවර උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වූයේ විභාග දෙපාර්තමේන්තුවේ නිරුවත ලොවටම පෙන්වමිනි. විභාග ඉතිහාසය තුළ විභාග දෙපාර්තමේන්තුව ලක්වූ දරුණුතම නින්දාවට ඇද දමමින් මෙතෙක් අතිශය විශ්වසනීය වූ නිකැළැල් විභාග ක‍්‍රියාපරිපාටියම බින්දුවට ඇද දැමීමට සමත් වූ සිදුවීම විභාග කොමසාරිස්වරයාගේ නොකටයුතුකම් ලැයිස්තුව ද තවදුරටත් තරකළේය. විභාග කොමසාරිස්වරයා සේවයෙන් ඉවත් වීමට ඔන්න මෙන්න කියා තිබියදී උසස් පෙළ ප‍්‍රතිඵල අවුල් සහගත ලෙස පිට කිරීමට වගකිවයුත්තාද කොමසාරිස්වරයාම බව දසතින් චෝදනා එල්ල විය. විභාග කොමසාරිස්වරයා කොරහත් බිඳගෙනම යන්නට යන බව ඇතැම්හු කීහ.

සිසුන් දෙලක්ෂ අනූ හතර දහස් අටසිය හැට එකක් පෙනී සිටි 2011 උසස් පෙළ විභාගය අගෝස්තු 8 වනදා සිට සැප්තැම්බර් 3වනදා දක්වා පැවැත්වුණු අතර සිසුහු විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගයට පෙනීසිටියහ. ඉන් එක්ලක්ෂ හතලිස් හත් දහස් හත්සිය හැට එකක් නව නිර්දේශය යටතේද එක්ලක්ෂ හතලිස් හත්දහස් හත්සියයක් පැරණි නිර්දේශය යටතේද විභාගයට මුහුණ දුන්හ. විභාගය හාහුවක් නොමැතිව පැවැත්වුණද විභාගය අවසන් වූ දා සිටම විභාගයේ අවුල් විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දෙන්නට විය. සිංහල ප‍්‍රශ්න පත‍්‍රය සකස්කළ ආචාර්ය මණ්ඩලයේ ආධුනික ස්වරූපය ගැනත් ආර්ථික විද්‍යාව ඇතුළු තවත් ප‍්‍රශ්න පත‍්‍ර රැසකට විෂය නිර්දේශයේ නොවූ මහින්ද චින්තන ප‍්‍රතිපත්තියත් අන්තර්ගත වූ බවට චෝදනා නැගෙන්නට විය. පුංචි පුංචි කළු පැල්ලම් මෙවර උසස් පෙළ විභාගයට මුල සිටම එක් වූවද ටික කලෙකින් සියල්ල අමතක වී ගියේය.

ප‍්‍රතිඵල නිකුත් කිරීම කලට වේලාවට සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව අසමත් වීමත් සමග කුමක් හෝ අර්බුධයක් හටගෙන ඇති බව පෙනෙන්නට විය. සිදුවූයේ කුමක් දැයි කීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු නොකළ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත‍්‍රීන් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් උසස්පෙළ ප‍්‍රතිඵල නිකුත්වීමේ ප‍්‍රමාදයට හේතුව විමසීමේදී හෙළිවූයේ විෂය නිර්දේශ දෙකක් යටතේ සිසුන් උසස්පෙළට පෙනී සිටීම නිසා z අගය සකස් කිරීමේදී යම් ප‍්‍රමාදයක් ඇතිවී ඇති බවයි.

විෂය නිර්දේශ 2ක් යටතේ සිසුන් උසස් පෙළට පෙනී සිටි ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. 2002 වසරේදීත් මෙවැනිම ආකාරයේ සිදුවීමක් සිදුවූ අතර එහිදී විෂයන් 4ක් යටතේ විභාගයට පෙනී සිටි හා නව නිර්දේශය යටතේ විෂයන් 3ක් යටතේ පෙනී සිටි සිසුන් දෙකොටසක් වූ අතර ඔවුන්ගේ විෂයන්ට වෙන වෙනම z අගය නිර්මාණය කොට පරණ නිර්දේශය යටතේ නම් z අගයන් 4 එකට එකතු කර 4න් බෙදා සහන තුනක් නම් z අගයන් තුන එක්කොට තුනට බෙදා ශිෂ්‍යයාට හිමි z අගය ලබා ගත්බවත් ඉන් පසු නිර්දේශ දෙක යටතේම සිටි සිසුන් එක් කාණ්ඩයක් යටතේ සකස්කොට ප‍්‍රවීණතා මට්ටම් අනුව දිස්ත‍්‍රික් හා දිවයින් කුසලතාව නිර්මාණය කළ බව හිටපු විභාග කොමසාරිස්වරයකු වන ඒ. එම්. ආර්. බී. අමරකෝන් මහතා රාවයට ප‍්‍රකාශ කළ අතර එහිදී කිසිදු ගැටලූවක් පැන නොනැගුණු බවත් ප‍්‍රතිඵලය අභියෝගයට ලක්කරමින් නඩු පවරා සිසුන් 11 දෙනකුට ද අධිකරණ තීන්දුව ලබා දුන්නේ විභාග දෙපාර්තමේන්තුවේ ක‍්‍රමවේදය නිරවුල් බව සඳහන් කරමිනි.

මෙවර විෂය නිර්දේශ දෙකක ගැටලූව නිරාකරණය කිරීමට ගොස් විභාග දෙපාර්තමේන්තුව විනාශයක් කර ගත් බව නම් පැහැදිලිය. එහෙත් මෙහි සම්පූර්ණ වගකිවයුත්තා විභාග දෙපාර්තමේන්තුව බව ඉඳුරාම කිව නොහැකිය. මන්ද උසස් පෙළ ප‍්‍රතිඵල ගැටලූව දෙයාකාර වූ නිසාය. එකක් නම් z අගය සකස් කිරීමේදී සිදුවූ පමාවයි. අනෙක නම් ප‍්‍රතිඵල අන්තර්ජාලයට එක් කිරීමේදී සිදුවූ තාක්ෂණික දෝශයයි.

z අගය සකස් කිරීමේදී නියමිත දිනට ප‍්‍රතිඵල නිකුත් කළ හැකි වනසේ විභාග දෙපාර්තමේන්තුව සියලූ කටයුතු සූදානම් කර තිබූ බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් රාවයට අදහස් දැක්වීය. ඔහු ප‍්‍රකාශ කළේ zzඅපි විභාගය පවත්වන්නේ සරසවි ප‍්‍රවේශය සඳහා නෙමෙයි. අපි පාසල් අධ්‍යාපන පද්ධතියේ කඩඉම් විභාගයක් ලෙසයි උසස්පෙළ විභාගය පවත්වන්නේ. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් කරගැනීමේ කටයුත්තෙදි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව උසස් පෙළ ප‍්‍රතිඵල උපකාර කර ගන්නවා. ඒකට විභාග දෙපාර්තමේන්තුවට කරන්න දෙයක් නැහැ. අපි විෂය නිර්දේෂ දෙකම යටතේ වෙනවෙනම z අගයන් සකස් කරලා වෙනමම ප‍්‍රතිඵල නිකුත් කරන්න සියල්ල සූදානම් කරලයි තිබුණේ. ඒ අවස්ථාවේ තමයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම කිව්වේ එයාලට මෙහෙම ප‍්‍රතිඵල නිකුත් කිරීම හරහා විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සිසුන් ඇතුළත් කර ගැනීම අසීරුවනබව. ඉතින් ඔවුන් කිව්වා මේ නිර්දේශ දෙකම එකම ඒකාබද්ධ කරලා එක් ප‍්‍රතිඵලයක් ලෙස නිකුත් කරන්න කියලා. අපි ඒකට උදව්වක් තමයි කළේ.

කෙසේ හෝ විෂය නිර්දේශයන් දෙක ඒකාබද්ධ කොට එක් ප‍්‍රතිඵල ලේඛනයක් සකස් කිරීමේදී මුහුණ දෙන ගැටලූ කිහිපයකි. පැරණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දී යම් ප‍්‍රතිඵලයක් ලබාගත් සිසුවෙක් එකම z අගයක් නිර්මාණය කිරීමේදී ස්ථාන තුනක් හෝ 4ක් වැනි ප‍්‍රමාණයක් ඉදිරියට හෝ පිටුපසට යාමයි. නව නිර්දේශයේ සිසුන්ටද එය එසේම බලපායි. එසේනම් කුමන හෝ තැනකදී කිහිපදෙනකුට වුවද යම් අසාධාරණයක් සිදුවීම වැළැක්වීමට නොහැකි විය. ප‍්‍රතිඵල නිකුත් වූයේ ඒ අසාධාරණය සිදුවුයේ කාටද කියා සොයා ගත නොහැකි වුවත් කාට හෝ එම අසාධාරණය සිදු කරමිනි.

විභාග කොමසාරිස්ට හෝ අධ්‍යාපන ඇමතිට හෝ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට නිර්දේශ දෙක ඒකාබද්ධ කොට ප‍්‍රතිඵල නැවත සකස් කිරීමේ ක‍්‍රමවේදය කළ නොහැකි විය. ඔවුන්ට එතරම් දැනුමක් නොවූ නිසා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සංඛ්‍යාන විද්‍යාව හා ගණිතයේ වෘත්තිය විශිෂ්ඨයන් 5 දෙනකුගෙන් සමන්විත කමිටුවක් නව සූත‍්‍රය නිර්මාණය කිරීමට පත් කරන ලදී. එහි සිටි සියලූ දෙනා ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ මහාචාර්යවරුන්ය.

එම කමිටුවේ සිටි සංඛ්‍යානය පිළිබඳ මහාචාර්යවරයෙක් සම්බන්ධ කර ගැනීමට රාවයට හැකිවිය. ඔහු ප‍්‍රකාශ කළේ ඔවුන්ට ලබා දුන්නේ නව හා පැරණි නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ගේ z අගයද සකස් කරන ලද ප‍්‍රතිඵල ලේඛන බවයි.

අපි කමිටුවේ සිටි සියලූම දෙනා මේ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳ ලංකාවේ සිටින ඉතාම දක්ෂයන්. ඔවුන් ඒ කාර්යය ඉතාම හොඳින් සිදුකළා. සංඛ්‍යාන විද්‍යාවේ තිබෙන ලෝකයම පිළිගත් සූත‍්‍රයක් අපි මේ සඳහා භාවිත කළා. මේ සියලූ දේ සඳහා දවස් දෙකක කාලයක් තමයි ලැබුණේ. දිවා රෑ නොබලා වෙහෙසිලා ප‍්‍රතිඵල ඉතාම නිරවද්‍ය අයුරින් අසාධාරණයක් නොවන විදිහට ලබා දෙන්න අපට හැකි වුණා. ඉතාම සුළු පිරිසකට ස්ථාන තුනක් හතරක් එහා මෙහා වීමක් සිදුවුණා. ඒක අපි ඉතාම සූක්ෂමව සිදුකළේ. එවැනි දේවල් සිදු නොවී මේ කාරණය කරන්න බැහැ. එහෙත් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේ අවම සුදුසුකම් ලබාගත් ළමයින් ගැන සහ මෙරිට් ගත්තු ළමයි ගැන අපි ඉතාම අවධානයෙන් තමයි කටයුතු කළේ. ලංකාවේ ඉතාම හොඳම ප‍්‍රතිඵල ලබාගත් 40% ගැන ඒ කියන්නේ මෙරිට් ගත්තු ළමයින්ට නම් ඉහත කිව්ව ආකාරයේ අසාධාරණයක්වත් සිදු නොවෙන්න අපි කටයුතු කළා. එයාලගේ ප‍්‍රතිඵල නම් කිසි සේත්ම එහා මෙහා වුණේ නැහැ. ප‍්‍රතිඵල සම්බන්ධයෙන් උද්ගත වුණු ප‍්‍රශ්නය නම් z අගය හෝ ප‍්‍රතිඵල පිළිබඳ ගැටලූව නෙමෙයි. තාක්ෂණික දෝශයක්.

z අගය නිර්මාණය කිරීම සඳහා යොදාගත් සූත‍්‍රය පේලි අටකින් සමන්විත වන බවත් එය තමාටවත් සුළු කර ගත නොහැකි බවත් ලංකාවේ සිටි සුප‍්‍රකට ආර්ථික විද්‍යා දේශකයකු වන වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කළේය. ඒ හරහා ඔහු සිදුකළේ අවැඩක් බව නම් කිව යුතුයි. මන්ද ඔහුට සුළු කරන්න බැරි සූත‍්‍රයක් නැතැයි ජනතාව සිතන බවත් විශේෂයෙන්ම උසස්පෙළ සිසුන් අතර ඔහු ප‍්‍රසිද්ධ ආර්ථික විද්‍යා දේශකයකු වන බවත් ඔහුද හොඳින්ම දනී. ඒ මත නිකුත් වීමට නියමිත ප‍්‍රතිඵලය පිළිබඳ මුල සිටම අවිශ්වාසයකින් සිටීමට සිසුන්ට සිදුවිය.

එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යවරයාද අධ්‍යාපනයනම් තමන්ගේ ය යන න්‍යායේ සිට සිසුන් කිහිපදෙනකුට අසාධාරණයක් සිදුවීම වැළැක්විය නොහැකි බව නැවතත් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. ඒ හරහා ළමුන්ගේ මානසිකත්වය තවදුරටත් පහතට ඇද දැමීමට උසස් අධ්‍යාපන ඇමතිවරයා කටයුතු කළේය.

නොදන්නවා නම් පැත්තකට නොවී නොඉඳ හැම දේටම කටමැත දොඩවන ඇමතිවරු දෙදෙනාම ප‍්‍රතිඵලයේ විශ්වසනීයත්වයට සිසුන් කරන අභියෝගය වෙනුවෙන් වගකිව යුතුය.

බන්දුල ගුණවර්ධන සුළු කර ගැනීමට බරි බව කී සූත‍්‍රය පසුගිය වසරේදී ඉදිරිපත් වූ z අගය සම්බන්ධ සූත‍්‍රයකි. එමෙන්ම ඔහු එම ප‍්‍රකාශය පාර්ලිමේන්තුවේදී කරන අවස්ථාව වන විට ගණිත විශේෂඥ කමිටුව නව සූත‍්‍රය නිර්මාණය කොට නොතිබිණි. එසේනම් සිසුන්ගේ මානසිකත්වය කඩා වැටීමට අධ්‍යාපන ඇමතිවරයා වගකිව යුතුය. ඔහු ඒ වෙනුවට සිදුකළේ ප‍්‍රතිඵල නිකුත්වූ දා රාත‍්‍රියේම ලංකාවෙන් පිට වීමය. වගකිවයුත්තෝ පිළිතුරු දීම වෙනුවට වගකීමෙන් කටයුතු කළේ ඒ ආකාරයටය.

එසේම ප‍්‍රතිඵල නිකුත් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම තම අමාරුකම් කීම හරහා සිදුවූ ප‍්‍රතිඵල ප‍්‍රමාදයටත් මෙවන් උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීම වෙනුවෙනුත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමද ඍජු වගකිව යුත්තෙකි. ඒ වෙනුවෙන් කොමිසමට එල්ලවන්නට අවශ්‍ය දොෂාරෝපණයද විභාග දෙපාර්තමේන්තුව පිටින් ගියේය. මේ කියන්නට යන්නේ විභාග දෙපාර්තමේන්තු හොඳයි කියා නම් නොවේ.

ප‍්‍රමාද වී හෝ නිවැරදි හා නිරවුල් ලෙස ප‍්‍රතිඵල ලබා දීමට කටයුතු සූදානම් වෙමින් තිබියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රශ්නයට මැදිහත් වන්නේ ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුන්ගේද කොමසාරිස්වරයාගේද පූරුවේ කළ පාපකර්මයකටය. බස් වර්ජනයේ සිට වැසිකිළි ප‍්‍රශ්නය දක්වා සියලූම ගැටලූවලට මැදිහත්වී ක්ෂණික විසඳුම් දීමට යන මහින්ද රාජපක්ෂ මෙවර ලක්ෂ තුනක් පමණ සිසුන්ගේ මානසිකත්වය බින්දුවට ඇදදැමීය. පසුගිය 24 වනදා අරලියගහ මන්දිරයට විභාග කොමසාරිස්වරයා, අධ්‍යාපන ඇමතිවරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා, නීතිපතිවරයා කැඳවා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ හෙට දිනයේ (25 දා) ප‍්‍රතිඵල නිකුත් කළ යුතු බවයි. මෙතෙක් කලක් තවම විශ්ලේෂණ කොට අවසන් නැතැයි කී ප‍්‍රතිඵල ක්ෂණිකවම විශ්ලේෂණය කොට අවසන් විය. මේ වන විට මෙරට ජනාධිපතිවරයාගේ දේශපාලනය රාජ්‍ය පරිපාලනය කෙරෙහි ව්‍යසනකාරී ලෙස බලපෑම් කරන්නේ එසේය.

කමිටුව නැවත නැවතත් පරීක්ෂණ කරන ලද අවසන් ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවට ලැබී තිබුණේද 25 වනදාය. ජනාධිපතිවරයා ප‍්‍රතිඵල නිකුත් කළ යුතු යැයි කීවේද 25 වනදාය. කෙමසාරිස්ට ජනාධිපති අණ පිළිගත යුතු නිසා විධිමත් ආකාරයට නිසි ක‍්‍රියාපරිපාටියට අනුකූලව අන්තර් ජාලයට ප‍්‍රතිඵල නිකුත් වූයේ නැත.

විභාග දෙපාර්තමේන්තුවට මේ සා විශාල හානියක් සිදු නොකොට නොහැකි නම් නොහැකි යැයි නොකියා දේශපාලනඥයන්ගේ අණට බලූ කුක්කන් සේ කීකරු වන රාජ්‍ය සේවයක්, පරිපාලන සේවයක් තිබෙන තුරු මෙවන් විපත් වැළැක්විය නොහැක. පරිපාලන නිලධාරීන් යනු දේශපාලන ගැත්තන් නොවන බව ජනතාව සිතන නිසාත් ඉතිහාසය තුළ පරිපාලන තනතුරුවලට දේශපාලන ගැත්තන් පත් නොවූ නිසාත් කොන්ද පණ ඇති මහජන සේවයක් ඔවුන් අතින් සිදුවිය. පරිපාලන තනතුරු තුළ දේශපාලන හස්තයක් හොල්මන් කිරීමේ අනිවාර්ය අනතුර නම් මෙයයි.

විභාග කොමසාරිස්වරයා අන්තර්ජාලයට ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවූ වරද වෙනුවෙන් වගකීම ඍජුවම භාරගත යුතුය. මන්ද එහිදී ද විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ කිසිදා සිදු නොවුණු බිඳවැටීම් කිහිපයක්ම ඔහු අතින් සිදුවී ඇති නිසාය.

ප‍්‍රතිඵල බැලූ සිසුන්ගේ දිස්ත‍්‍රික් කුසලතා සම්පූර්ණයෙන් වෙනස් වී තිබුණි. ඇතැම් ශිෂ්‍යයන්ට තමන් පෙනී නොසිටි විෂයන් සඳහා ප‍්‍රතිඵල ලැබී තිබුණි. එමෙන්ම විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිටි සිසුන්ට විද්‍යා විෂයන් දෙකක කලා විෂයක ප‍්‍රතිඵල ලැබී තිබුණි.

මේ සියලූ අක‍්‍රමිකතාවලට ඍජු වගකිවයුත්තා විභාග කොමසාරිස්වරයාය. ඔහු ප‍්‍රසිද්ධ සංවාදයකදී වෘත්තිය සමිති නායකයන්ට බැණ වදිමින් පහත් අයුරින් ආමන්ත‍්‍රණය කරමින් තමන්ගේ හෙළුව වසා ගැනීමට තැත් කළ, තව තවත් ඔහු සිසුන් ඉදිරියේද මහජනතාව ඉදිරියේද නිර්වස්ත‍්‍ර විය. වැරදි ප‍්‍රතිඵල සිසුන්ට ලැබුණේ ගියවසරේ තොරතුරු තාක්ෂණ විෂයට පෙනී සිටීම සඳහා මෙම සිසුන්ටම ලබා දුන් විභාග අංක මේ වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී වෙනත් සිසුන්ට ලැබී තිබුණු නිසා එම අංක දෙක පටලවාගෙන අන්තර්ජාලයෙන් ප‍්‍රතිඵල බලද්දී වෙනත් අයකුගේ ප‍්‍රතිඵලයක් ලැබීම සාමාන්‍යයෙන් සිදුවන බවත් එයට වගකිවයුත්තේ සිසුන් බවත් කොමසාරිස්වරයා ලැජ්ජා නැතිව සෑම තැනදීම ප‍්‍රකාශ කර තිබුණි. එහිදී වසර 25කට අධික කාලයක් විභාග දෙපාර්තමේන්තුව ආරක්ෂාකරගෙන පැමිණි පිළිවෙතක්, නීතියක් කොමසාරිස්වරයා කඩ කර ඇත. 1980 සිට 2005 වන තුරුම එකළඟ වර්ෂ දෙකකදී එකම විභාග දෙකකට හෝ වෙනත් විභාග දෙකකට එකම අංකයක් ලබා දී තිබූ අවස්ථාවක් පෙන්නා දෙන්නටයැයි අපි විභාග කොමසාරිස් තුමාට අභියෝග කරමු. එකළඟ වර්ෂ දෙකකදි තබා වසර 6ක් ගතවන තුරුත් එකම විභාගයක් සඳහා එකම විභාග අංකයක් නැවතත් ලබා දීමට දෙපාර්තමේන්තුව 2005 වන තුරු කටයුතු නොකර තිබුණි. එයට හේතු එකක් නොව කිහිපයකි. පළමුවැන්න සිසුන්ට විභාග අංකය පැටලැවේ යැයි කියන බියටය. ඊටත් වඩා යම් සිසුවකු විභාගයේදී වරදක් සිදු කර ඔහුගේ විභාග තහනමට ලක්කරන්නේනම් ඒ වසර 5ක් සඳහාය. එසේ නම් එකම අංකය නැවත එක ළඟ වසරවලදී ලබාදුනහොත් විභාග තහනමට ලක්වූ සිසුවකුගේ අංකයක් වෙනත් සිසුවකුට ලබාදීම හරහා සිදුවනදේ අමුතුවෙන් කිවයුතු නැත. මේ අක‍්‍රමිකතා සියල්ලක්ම ආවරණය වනසේ සෑදුනු විශිෂ්ඨ සම්ප‍්‍රදායක් විභාග දෙපාර්තමේන්තුව සතුව ඇත. වර්තමාන විභාගකොමසාරිස්වරයා වසර 7 ක් තුළ නැත්තටම නැති කළේ විභාග දෙපාර්තමේන්තුව කොමසාරිස්වරු 15ක් යටතේ රැුකගෙන ආ සම්ප‍්‍රදායයි, නීතියයි.

විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතාගේ ආගිය තොරතුරු හා අකටයුතු කම් අමුතුවෙන් කිව යුතු නැත. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා විභාගය පැවැත්වීමට ප‍්‍රතිපාදන කොමිසමෙන් විභාග දෙපාර්තමේන්තුවට දුන් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් තම පෞද්ගලික ගිණුමට බැර කර ගත්තේ මේ කොමසාරිස්වරයාය.

මේ අක‍්‍රමිකතා ගැන කතා කිරීම පසෙකින් තබා මොහු අතින් වූ විභාග පරිපාටියේ අක‍්‍රමිකතා ගැන කතා කළොත් මොහු පත්ව ආ අවුරුද්දේම එනම් 2005 වසරේදි රසායන විද්‍යා ප‍්‍රශ්නපත‍්‍රයේ ප‍්‍රතිඵල උඩුයටිකුරු කොට පළ කළේය. ඒ වෙනුවෙන් පත්කළ එනම් 2005 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී OMR යන්ත‍්‍රය නිසි ලෙසින් භාවිතා නොකිරීම පිළිබඳව සොයා බැලීමට විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා ගේ ප‍්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවට අනුව විභාග කොමසාරිස්වරයා වරදකරු බවට පත්විය. නමුත් එම වාර්තාව කොමසාරිස්වරයා මේ දක්වාම සඟවා තබා ගෙන සිටී. එවකට විගණකාධිපතිවරයා විසින් ඉල්ලා සිටියද කොමසාරිස්වරයා එම වාර්තාව ලබා දී නොතිබුණි.

විදේශයන්හි අධ්‍යනය ලැබීම සඳහා ඇතැම් තැනැත්තන්ට ව්‍යාජ අධ්‍යාපන සහතික නිකුත් කරන බවටද ඔහුට විරුද්ධව චෝදනා එල්ල වෙයි. එය කෙසේ නමුදු මේ අවස්ථාව වන විට විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය නම් අනතුරේ බව අපි හොඳින්ම දනිමු. මන්ද විභාග දෙපාර්තමේන්තුවේ සිදුකරන ලද අභ්‍යන්තර විගණනයකදී ප‍්‍රකාශ වී ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පරිගණක පද්ධතියේ දෝෂ තිබෙන බවත් ඒවා ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් කළ යුතු බවත්ය. නමුත් මේවනතෙක් ඒවා පිළිසකර කොට නැත.

මෙවර උසස් පෙළ විභාගයේදී පෙර වසරේදී නිකුත් කළ විභාග අංක නැවතත් නිකුත් කිරීම නිසා සිසුන් වරදවාගෙන ඇතැයි ප‍්‍රසිද්ධ මාධ්‍යයේ කී කොමසාරිස් ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනාධිපති හදිස්සි කළ පමණින් තවත් අකටයුත්තක් සිදුකර තිබුණි.

සාමාන්‍යයෙන් අවසන් ප‍්‍රතිඵලය අන්තර්ජාලයට දැමීමට පෙර ප‍්‍රතිඵල නියමාකාරයෙන් සටහන් වී ඇත්දැයි බැළිම සඳහා පරිගණක දෙකකට ප‍්‍රතිඵල යොමුකොට ඒ දෙක සංසන්දනය කොට යම් වැරැුද්දක් දත්තයන් අතර පරස්පරතාවක් ඇත්නම් ඌණතා වාර්තාවක් ලබාගෙන නැවත සකස්කොට එසේත් නොහැකිනම් උත්තර පත‍්‍රය පරීක්ෂාකොට නැවත නිවැරදි දත්තයන් පරිගණක ගත කරයි. ඉන් පසු (Abnormal Reports) අස්වාභාවික ප‍්‍රතිඵල එනම් A සාමාර්ථ 2ක් ගත් සිසුවකු අනෙක් විෂයට C හෝ S සාමාර්ථයක් ලබා ඇත්නම් ඒ පිළිබඳව සොයා බලයි. එමගින් එය ඔහුගේ ඇත්තම ප‍්‍රතිඵලයද නැත්නම් පරිගණකගත කිරීමේදී සිදුවූ දෝෂයක්ද යන්න පරීක්ෂා කර බලයි. එමනේම (Sample Report) සාම්පල ප‍්‍රතිඵල වාර්තා හා අහඹු ලෙස ලබාගන්නා වාර්තා (Random Reports) ද යනාදී විවිධාකාරයෙන් ප‍්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ ක‍්‍රමවේද අනුගමනය කොට පරිගණක ගත කිරිමේ දෝශ නිරාකරණය කරයි.

මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල පරිගණක ගත කිරීමේදී හා අන්තර්ජාලයට එක්කිරීමේදී ඒ කිසිවක් සිදුකර නැත. සිදු කළා යැයි කියනවා නම් ඒ සඳහා සාමාන්‍යයෙන් ගත වන දින තුනක පමණ කාලය 25 වනදා දවස තුළදී ලබා ගත්තේ කෙසේදැයි අපි කොමසාරිස්තුමාගෙන් අසමු.

ජනාධිපතිවරයාට බියෙන් ප‍්‍රතිඵල පරිගණක ගත කිරීමේදී මාතර දිස්ත‍්‍රික්කයේ සිසුන් 600කගේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කිරීමට අතපසුවී ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් රාවයට පැවසීය. මේ හේතුවෙන් සමස්ත ප‍්‍රතිඵලය තුළ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය විය.

ප‍්‍රතිඵලය පිළිබඳ තමන්ට කිසිදු ගැටලූවක් නොමැති බවත් ප‍්‍රතිඵල ගැන සැක සිතන සිසුන්ට ලබාන 8 වනදා දක්වා නැවත සමීක්ෂණ සඳහා ප‍්‍රතිඵල යොමු කළ හැකි බවත් ඉන් ඔබ්බට ප‍්‍රතිඵල සංශෝධනය කිරීමේ කිසිදු පියවරක් නොගන්නා බවත් විභාග කොමසාරිස්වරයා රාවයට ප‍්‍රකාශ කළේය.

ඔහුට නම් ප‍්‍රශ්නයක් නැති බව සැබෑය. මන්ද ඔහු හෝ ඔහුගේ දරුවන් මෙවර උසස්පෙළට පෙනී සිටියේ නැත. ඒ නිසා මේ දරුවන්ගේ මානසිකත්වය කොතරම් පහළට ඇදවැටුනද ඔහුට කම් නැත. ප‍්‍රතිඵල බැලූ දරුවෙක් හෝ දෙදෙනෙක් සිය දිවි නසා නොගන්නේ නම් කොමසාරිස්ගේ පිනකටය.

එසේම වරදකරු කොමසාරිස්ම බව දරුවන්ද පිළිගත්තා සේ කිසිදු පාසලකින් පාසලට ලැබුණු ප‍්‍රතිඵල ලේඛනයේ දෝෂයක් පිළිබඳව පැමිණිලි කළේ නැත. ඒ අතින් බලද්දී විශේෂඥ කමිටුවේ ක‍්‍රියාකාරිත්වය නිවරදියැයි ද ඔවුන් තමන්ට භාරදුන් කාර්යය නියමාකාරයෙන් කර ඇතැයිද පෙනේ. සිසුන්ගෙන් සුළු පිරිසකට කුසලතාවයේ යම් වෙනස්වීමක් නොවැළැක්විය හැකි පරිදි සිදුවූවායැයි කමිටුව කියන පරිදිම සිදුවීම හැර වෙනත් වරදක් කමිටුවෙන් සිදුවී නැත.

කෙසේ නමුත් අවසානයේ කිවයුතුව ඇත්තේ මේ සම්බන්ධයෙන් ද අවසාන වගකිවයුත්තෙක් නොමැති බවයි. කොමසාරිස්වරයා මේ පුවත්පත පළවන මොහොත වන විට විශ‍්‍රාම ගොස්ය. කළ හැක්කේ ඔහුගේ ඔහු වැරදි කරු වුවහොත් විශ‍්‍රාම වැටුප අහිමි කිරීම හැර වෙන කුමක්ද? එසේ කළද ඔහුට කමක් නැත. ඔහු ඇති තරම් හරි හම්බ කරගෙනය. ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි වෘත්තීය සමිති නගනා චෝදනා සාධාරණය. නමුත් ඔහු ඉල්ලා අස් නොවන බව ලංකාවේ දේශපාලන ඉතිහාසය දන්නා අපි සැවොම දනිමු. අවසානයේ මෙයට වරදකරුවන් මෙවන් අඳ බාලයන්ට පරික්ෂා කිරීම සඳහා විභාග ලියන අහිංසක සිසුන්ගේමය. එනයින් විභාග කොමසාරිස් හරිය වරද දරුවන්ගේය.

හර්ෂා රූපරත්න/ජයසිරි විතාන [Sunday, January 1, 2012]




Source : ravaya.lk

Share this article with your friends