තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුද්දර කාර්යංශයේ සේප්පුවක තිබී පැරණි මුද්දර තොගයක් සොයා ගෙන ඇතැයි කියන පුවතේ සත්‍යතාවක් නොමැති අතර එම මුද්දර තොගය ආරක්ෂිත ලෙස මුද්‍රා තබා තිබු මුද්දර තොගයක් යැයි ද ඒවා සොයා ගැනීමක් නො ව ගණන් කිරීමක් පමණක් සිදු කොට ඇති බව තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
'මුද්දර කාර්යංශය මඟින් ක්‍රම දෙකක් යටතේ මුද්දර මුද්‍රණය කරනවා. සමහර මුද්දර නැවත නැවත මුද්‍රණය කරනවා. නමුත් සමහර මුද්දර මුද්‍රණය කරනු ලබන්නේ එක වතාවක් පමණයි. එක වරක් පමණක් මුද්‍රණය කරනු ලබන මුද්දර සඳහා වැඩි වටිනාකමක් තිබෙනවා. මේ නිසා මේ මුද්දරවලින් ඉතිරිවන මුද්දර විනාශ කරන්න විශ්ව තැපැල් සංගමයෙන් උපදෙස් ලැබෙන්නේ. එසේ විනාශ කළ යුතු මුද්දර කොටසක් තමයි ආරක්ෂිත සේප්පුවල දමා මුද්‍රා තබා තිබෙන්නේ'.
එක්වරක් පමණක් මුද්‍රණය කරනු ලබන මුද්දර සඳහා විශාල වටිනාකමක් ඇති බවත් මුද්දර එකතු කරන්නන්ගේ මුද්දර සඳහා එනිසා වටිනාකමක් ලැබෙන බවත් ඒ හේතුව නිසා ඒවා විනාශ කරන බවත් ප්‍රකාශ කළ දිසානයක මහතා එසේ විනාශ කර නොගත් ආරක්ෂිත අයුරින් තබා තිබු මුද්දර තොගයක් ගණනය කිරීම පමණක් සිදු කර ඇති බව ද කීය.
මෙම මුද්දර නැවත ප්‍රයෝජනයට ගත නොහැකි බව සඳහන් කළ දිසානායක මහතා එම මුද්දර අතර අවුරුදු 30ක් පමණ පැරණි මුද්දර ද ඇති බව වැඩිදුරටත් පැවසීය.
DB
Source : news.lk