Chitika Smowtion 468x60


Friday, March 30, 2012

ඇන්තනිගේ දුව සහ භාරතගේ දුව


පසුගිය දා හලාවතදී පැවති ධීවර උද්ඝෝෂණයක දී හමුදාවේ වෙඩි පහරින් මියගිය ඇන්තනි ප්‍රනාන්දු නම් ධීවර සහෝදරයා ගැන විවිධ ශෝක ප්‍රකාශ, කවි, අටුවා,ටීකා, ටිප්පනී ලියවිණි. ලංකාවේ වෙබි ජනමාධ්‍ය ඇතුලු බොහෝ විද්‍යුත්,මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍යයේ ඇන්තනිගේ මරණය ගැන විවිධ දෑ ලියවිණි.
ගොසිප් ලංකා වැනි වෙබි අඩවි වල ඇන්තනී පුනාන්දුගේ වෙඩි වැදුන පින්තූරයේ සිට මරණය අවසන් වන තුරු සියලු ඡායාරූප එකක් නෑර සියල්ලම පල විය. නලු නිලියන්ගේ මංගල සාද, උපන්දින සාද පලකරණු ලබන ආකාරයටම ඔවුන් ඇන්තනිගේ මරණයද කිසිදු වෙනසකින් තොරව සිය වෙබි අවකාශයේ පල කලේ කුමන හෝ ප්‍රවෘත්තියක් ඉක්මනින්ම පලකර හිටි වැඩි කර ගන්නට ඔවුනට ඇති දැඩි අවශ්‍යතාවය නිසාය. හිටි වැඩි වෙන විට දැන්වීම් වැඩියෙන් ලැබෙන නිසාම නලු නිලියන්ගේ ඕපාදූප කතා කිරීම සිය පරමාර්ථය කරගත් මෙවැනි වෙබි අඩවි වලට ඇන්තනිගේ මරණය තවත් එක් විකුණාගත හැකි උණු උණු කැවුමක් පමණක් විය.
ඇන්තනි නම් ධීවර තරුණයා මරණයට පත් වන්නේ රජයේ මර්ධන උපකරණයක් වන හමුදාවේ උණ්ඩයකිනි. සාමාන්‍යයෙන් අධිකරණයෙන් දුටු තැන වෙඩි තබන්නට යැයි නියෝග කළ අයෙකුට වුවත් වෙඩි තැබීමේ දී දණහිසෙන් පහලට වෙඩි තැබීම පිළිගත් සමිප්‍රදායයි. හමුදාවට පවා යුද්ධයකදී හැරුණ විට සිවිල් කටයුත්තකදී ජනතාවට සිය තුවක්කුවේ කොකා ගස්සන්නට පෙර දෙවරක් සිතා බලන්නට විනයක් තිබිය යුතුය. අප එයට හමුදා විනය නැත්නම් යුධ නීතියට අනුව කටයුතු කිරීම යැයි කියන්නෙමු.
විශේෂයෙන්ම ලෝකයේම විනය ගරුකම හමුදාව මේ විනය ඉහළින්ම ආරක්ෂා කරණු ඇතැයි අප විස්වාස කලෙමු. ඇන්තනිගේ හිසට පිටුපසින් වෙඩි තබන්නට තරම් හමුදාවේ විනය මේ වන විටත් පරිහී තිබේද? නැතිනම් මේ වෙඩි තැබීම අහම්බයකින් සිදු වූවක් ද? කෙසේ වුවත් මේ වන විටත් ඇන්තනි මරාදමා අවසන්ය. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම මේ වන විටත් අහවර වී නොමැත. ජන අරගල ව්‍යාපාරය විසින් පහසුකම් සපයා පවත්වා ගෙන යනු ලබන ලංකා විවිස් වෙබි අඩවියේ දැන් කාලයක පටන් මියගිය ඇන්තනිගේ ලේ වැකුණ ශරීරය කවියකින් උත්කර්ශයට නංවමින් ප්‍රදරශණය කරමින් තිබෙනු අප දුටිමු. ඇන්තනිගේ මරණය කවියක් මගින් සාහිත්‍යකරණයට ලක් කරමින් මරණයක් ලේ වැකුණු ආකාරයෙන්ම දිගින් දිගටම ප්‍රදර්ශණය කිරීම හරහා ජන අරගල ව්‍යාපාරය මේ ලබමින් සිටින්නේ කුමන විනෝදයක් ද?
පවතින ධනවාදී ආන්ඩුවක් විසින් ධීවර කමිකරුවකු අමු අමුවේ ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමීම වැනි සිද්ධියක් සාහිත්‍යකරණයට ලක් කිරීම මගින් මේ අය යලිත් මේ කරමින් සිටින්නේ දේශපාලනය සංස්කෘතිකරණය කිරීම බව පසක් කොට අවසන්ය. ධනවාදයට එරෙහිව සමාජවාදී සමාජයක් ගොඩ නගන්නට තමන් වලිකන බව රටටම කියාපාන මේ ව්‍යපාරයේ උදවිය දේශපාලනයේ මූලික ආචාර ධර්ම නොදන්නවා වන්නට පුලුවන නමුත් අඩුම තරමේ ජනමාධ්‍ය ආචාරධර්ම වත් නොදන්නවා යැයි අපට සිතන්නට බැරිය.
ටිරාන් අලස් නම් ව්‍යාපාරික දේශපාලඥයා විසින් පවත්වා ගෙන යන මව්බිම නම් පුවත් පත ඇන්තිගේ දියණියගේ රුපය සිය වෙළෙද අරමුණු වෙනුවෙන් සියුමි ආකාරයෙන් යොදා ගත්තේ පසුගිය මවිබිම පවත් පතෙහි ඇයගේ සම්මුඛ සාකච්ඡාවක් පලකරමිනි. මේ සම්බන්ධයෙන් ඔවුන් රූපවාහිනය ඔස්සේ පුලුල් ප්‍රචාරයක් ද ලබා දෙනු ලැබීය. අවසානයේ ඇන්තනිගේ දියණිය මෙහිදී ප්‍රශ්ණ කරන්නේ තමන්ගේ පියා මරා දැමුවේ ඇයිද යන්න ගැනයි. දැන් මේ දියණිටයත් අවශ්‍ය නම් හිරුණිකා අක්කා සමග එක්ව සිය පියාට සිදුවූ අසාධාරණයට එරෙහිව දේශපාලනය කරන්නට පෙරට එන්නට පුලුවන.
ලංකාව් බහුතරයකට දේශපාලන මතක් වෙන්නේ තමන්ට අසාධාරණයක් සිදු වූ විටය. මෙයට උදාහරණ ඕනෑතරම් අපට සොයා ගන්නට පුලුවන. සන්ධ්‍ය එක්නැලිගොඩ, අනෝමා ෆොන්සේකා, හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර සහ අතුරුදන් වූවන්ගේ දෙමාපියන් වැනි සියලු අය දේශපාලනයට එන්නේ තමන්ට යම් අසාධාරණයක් වූ විටය. මෙය හරියමටම ටයර් කඩයකට පැච් දමන්නට එන වාහන වලට සමානය. රිය වාහනය හොදට දුවනතාක් ලෝකයේ සිදුවන අනෙක් සියලුම දෑ සම්බන්ධයෙන් අවිඥාණික උදවිය වාහනයේ පැචි එකක් ඇතිවූ විට පමණක් ටයර් කඩවලට පැචි දමා ගන්නට එයි. තමන්ගේ වාහනයට පැචි එක දමා අවසන් වූ සැනින් මේ උදවියට ඉතිරි සියලු වාහන වල පැචි ගියත් කමක් නැත. එදා අනෝමා ෆෝන්සේකා ජෙනරාල් යුධ වීරයා වන අවධියේ දිවි ගෙවුයේ මේ අකාරයට නොවෙි යැයි කිසිවකුට කිව හැකිද?
සිය පියා හදිසියේ ඝාතනයට ලක් වනතුරුම හිරුණිකා උත්සහා කලේ මිසු යුනිවර්ස් වන්නටය. ඒත් හදිසියේම සිය පියා ඝාතනයට ලක් වූ සැනින් ඇය මාක්ස්-ලෙනින් වාදිනියක් බවට පත් විය. පියා මිය යන්නට පෙර ඇය මාක්ස්-ලෙනින් හදාරා තිබුනා නම් ඇය මීට පෙර දේශපාලන කරලියේ දී අපට මුණ ගැසිය යුතුය. නමුත් ඇය අපට හමුවන්නේ දැන්ය. පවතින නරුමවාදී රාජ්‍ය පාලන ක්‍රමය පෙරළා දමා නව සමාජයක් ගොඩ නගන්නට නම් අප ඊට එරෙහිව සටන් කල යුතුය. සැවොම දේශපාලනයට තමන්ට අසාධාරණයක් සිදු වූ පසු පැමිනීම දිගින් දිගටම සිදු වන්නේ නම් පවතින ක්‍රමය වෙනස් කරන දේශපාලන ක්‍රමයක් ගොඩ නගන්නට නම් අපට සැමට අසාධාරණයක් සිදු වනතුරු බලා ඉන්නට සිදු වෙයිද?
හිරුණිකා දුව වෙනුවෙන් වාසු මාමා කතා කලේය. මේ දුව වරෙක කීවේ ජනාධිපතිතුමාට අපේ තාත්තා කිවේ මහින්ද අයියා කියලා. මහින්ද අපේ තාත්තට කිවේ මල්ලී කියලා. මම විස්වාස කරනවා මට සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා. මේ කාලයේ හිරුණිකා මහින්ද රාජපක්ෂටත් වඩා ජනප්‍රියය. ඇය ජනමාධ්‍ය ඉදිරියේ විවිධ සංදර්ශන පැවැත් විය. අවසානයේ මහජන පක්ෂයෙන් දේශපාලනයට පැමිණියාය. ඊලග මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන බව සහතිකය. නමුත් ඇන්තනිගේ දුවට අත්වන්නට නියමිත ඉරණම කුමක් ද? ඇය රාජ්‍ය විරෝධී වූ අයකුගේ දියණියකි. ඇයට කිසි දිනෙක හිරුණිකාට ලැබුන කිසිවක් නොලැබෙන්නේ ඇයි? ඇයට අවසානයේ නියමිත කටුනායක ගාර්මන්ට් ෆැක්ටරියක ඇදුම් මසන්නට දැයි අප නොදනිමු. මේ පරතරය නිර්මාණය කර තිබෙන්නේ වෙන කිසිවකුත් විසින් නොව ධනවාදය වසිනි. ඇතැමුන්ට අනුව මෙය පින් පවු සංකල්පයක් හෝ දෙවියන්ගේ කැමැත්ත යැයි නිහඩව ඉන්නට පුලුවනද? හිරුණිකා උපන් පංතිය සහ ඇන්තනිගේ දියණිය උපන් පංතිය අතර පරතරය මෙයයි.ඇන්තනි නම් ධීවර සහෝදරයා් ගේ මරණය අපට කියා දෙන පාඩම වන්නේ ධනවාදයේ සුන්දරත්වය නොවද?
පවතින ක්‍රමයට එරෙහිව අරගලයක් කරන්නට වෙර දරණ මිනිසුන් වශයෙන් මියගිය සහෝදරයන්ගේ මළමීනී විකිණිමේ සිට දරුවන් විකිනීම දක්වා ඔිනෑම දෙයක් කරන ධනවාදී ජන මාධ්‍ය වලින් අපේ මාධ්‍ය භාවිතය වෙනස් වන්නේ අප දේශපාලනය වෙනුවෙන් වෙබි අඩවියක් කරනවා විනා අප වෙබි අඩවි මගින් දේශපාලන නොකරන බැවිනි. මේ නිසා අපට හිටවලින් වැඩක් නැත. ලක්ෂ සංඛ්‍යත ජනකායක් අප සමග සක්‍රීයව අරගලයට දායක වන කාලයක අපේ වෙබි අඩවියේ හිටි අනිවාර්යෙන්ම වැඩි වන බව අපට සහතිකය.
එවිට අපට දැන්වීම් කරුවන්ට වෙබි අවකාශය විකුණනවා වෙනුවට පවතින ධනවාදී සමාජක්‍රමය පෙරළා දමන්නට එය ශක්තියක් වනු ඇතිබව ව්ස්වාසය. ලෙනින් වරෙක ප්‍රකාශ කළ පරිදි කුඩා කණ්ඩායම් සාමුහිකව එක්ව කරණු ලබන කතිකාවන් හරහා සක්‍රීයව විප්ලවය ජය ගන්නට දොරගුළු විවිර වනු ඇත. සමාජයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පවතින දේශපාලන අවශ්‍යතාවය තුල වෙබි අවකාශයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම මේ කාලයේ අවශ්‍යතාවයක් වන බව අපට විස්වාස වුවද ගල්ගහන අරාබී විප්ලව ෆේසු බුක්,ටුවිටර් සහ බිලොග් අඩවි මගින් කරන්නට වලිකන උදවියට අපට කියන්නට ඇත්තේ විප්ලවය යතාර්තයක් වන්නේ මධ්‍යගත නායකත්වයක් මත මහපොලොවේ ජනතාව සමග කරන අරගලයක ප්‍රතිපලක් ලෙසින් වන බවයි.
- 3mana.com

Share this article with your friends