Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ලෝක විනාශය සහ ලංකාවේ අනාගතය පිලිබඳ විෂ්ණු දෙවියන්ගේ අදහස


විෂ්ණු දෙවියන්ගේ යැයි පැවසෙන අදහස්
  • 2012 වසරේදී ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ 
  • මහින්ද රාජපක්‍ෂ තව වසර දහයක්‌ බලයේ රැඳේ
  • මීළඟට අගමැති වීමට සුදුසුම ගෝඨාභය රාජපක්‍ෂ
  • ජනතා විමුක්‌ති පෙරමුණත් දිනෙන් දින පිරිහෙනවා
  • රනිල්ට බෑ. සජිත්ට පුළුවන්.
  • ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට බලපෑමක්‌ නෑ
  • ෆොන්සේකා මහතාට නිදහස් කරගැනීමට උද්ඝෝෂණ කිරීමෙන් පලක්‌ නැහැ
ඉහත ඔබ විසින් කියවූයේ දිනමිණ පුවත්පතින් උපුටාගත් කොටස් හෝ ITN ප්‍රවෘත්ති සිරස්තල නොවේ.

ලෝක විනාශය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන කාලයක බොරලැස්‌ගමුව, 10 කණුව, කොස්‌සින්න වත්ත පාරේ පිහිටි විෂ්ණු දේවාලයේ අසේල වික්‍රමසිංහ කපු මහතා විසින් ලෝක විනාසය හා රටේ අනාගතය ගැන විෂ්ණු දෙවියන් පවසන දෑ අද දිවයින පුවත්පතට පවසා තිබෙනවා. පහත සඳහන් වන්නේ එම කරුණුයි.


මට විෂ්ණු දෙවියන්ගේ බැල්ම තියෙනවා කියලා හඳුනාගත්තේ මීට වසර පහකට පමණ පෙර. එය දැනගත්දා සිට මම දේව රාජකාරි සඳහා යොමුවූවා. කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මැරෙන්නේ 2009 මැයි 18 වැනිදා කියා මම අනාවැකි පැවසුවා. නමුත් මම එය ප්‍රසිද්ධ මාධ්‍ය මගින් ප්‍රකාශ කර ප්‍රචාරයක්‌ ලබාගත්තේ නැහැ. ඔහු තමා ගැන හඳුන්වා දෙමින් පැවැසීය.

ඔබ එදා එවැනි අනාවැකියක්‌ ප්‍රසිද්ධ මාධ්‍ය මගින් ප්‍රකාශ නොකර අද ප්‍රසිද්ධ මාධ්‍ය මගින් ලෝක විනාශය ගැන මත ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නේ ඇයි?
ඒකට හේතුව තමයි වර්තමානයේ අප බොහෝ දෙනා ලෝක විනාශය ගැන කතා කරන්නේ බටහිර කෝණවලින් බලලා. නමුත් ලෝක විනාශය ගැන අප කථා කළ යුත්තේ විද්‍යාව සහ අවිද්‍යාව ඇස්‌ දෙකෙන් දැකලා. ලෝක විනාශය යෑයි පවසමින් විවිධ පුද්ගලයන් බොරු ප්‍රකාශ කරනවා. අවිද්‍යාවෙන් මිනිස්‌සු අන්ධවෙලා. බුදුදහම විනාශවන අයුරින් කටයුතු කරනවා. දෙවියන් ගැන විශ්වාසයක්‌ නැහැ. යක්‌ෂයෝ මතුවෙලා. එනිසා සත්‍ය ජනතාවට අවබෝධ කරදීම සඳහා මගෙන් රටට ජාතියට වියයුතු සේවය සිදු කිරීම සඳහා දිවයින වැනි ජාතික පුවත්පතකින් එම පණිවුඩය රටට ප්‍රකාශ කරන ලෙස දෙවියන් මට පැවසුවා.

ලෝක විනාශය සිදුවන්නේ 2012 වසරේදීද?
ඔව්.... විෂ්ණු දෙවියන් පවසනවා 2012 වසරේදී ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ. 2014 වසරේදී ලෝකයේ විශාල ජන සංහාරයක්‌ සිදුවෙනවා. ඉන් ලෝක ජනගහනයෙන් සියයට 35 ක්‌ සියයට 48 ක්‌ අතර පිරිසක්‌ මිය යනවා. එය සිදුවන්නේ නායයාම්, ගිනිකඳු පිපිරීම්, සුළි සුළං, ගංවතුර යුද ගැටුම් ආදිය නිසා.

ඉන් ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?
ඔහු නැවතත් දේව භාෂාවකින් යමක්‌ ප්‍රකාශ කරයි. දෙවියන් පවසනවා ශ්‍රී ලංකාවේ අනාගතය බොහොම පැහැදිලියි. දෙවියන්ගේ ශක්‌තිය තිබෙනවා. හැබැයි ජනතාව බුදු දහම නිවැරදිව අවබෝධ කරගෙන පිං දහම් කළ යුතුයි. දෙවියන්ට ගරු බුහුමන් කළ යුතුයි. එසේ නොවුණහොත් වසංගත රෝග, ගංවතුර, නායයැම් වැනි ස්‌වභාවික ව්‍යසන සංඝභේදය ආදිය ඇතිවිය හැකි බව දෙවියන් පවසනවා.

වර්තමානයේ බොහෝ දෙනා බුදුදහම නිවැරදිව අවබෝධ කරගෙන නැහැ. ගිහියන්ට වඩා ඇතැම් භික්‌ෂුන් වහන්සේලා, ගිහි සැප සම්පත් භූක්‌ති විඳිනවා. බුදු දහම අද ඇතැම් දෙනාට විලාසිතාවක්‌ වෙලා. බුදුන්වහන්සේ පැවසුවේ යහපත් දිවියක්‌ ගතකිරීම සඳහා දාන, සීල, භාවනා යන කටයුතුවල යෙදෙන ලෙසයි. දානයෙන් තණ්‌හාව නැතිවෙනවා.


ඉන් සීලයට මග පෑදෙනවා. සීලය රැකීම යනු යහපත් දිවියක්‌ ගත කිරීමයි. එවිට සිත කය පාලනය වීම නිසා මනස නිරවුල් වෙනවා. ඉන් භාවනාවට මග හෙළි පෙහෙළි කෙරෙනවා. නමුත් අද බොහෝ දෙනා මොනවාද කරන්නේ කියා සිතාගන්න බැහැ. ඇතැම් දෙනා එකවර භාවනාවට යොමු වෙනවා. එය විලාසිතාවක්‌ වෙලා. ඔවුන් තුළ දාන සීල ගතිගුණ නැහැ. හැබැයි ඔවුන් උත්සාහ ගන්නේ මාර්ග ඵලයක්‌ ලබාගැනීමටයි. සමහරු කියනවා. මම දැන් සෝවාන් වෙලා කියලා.

දෙවියන් ඇදහීමත් එහෙමයි. අපට දේව ආරක්‌ෂාව පිහිට ලබාගන්න නම් දෙවියන්ට ගරු කළ යුතුයි. දෙවියන්ට අවමන් කරමින් දේව කරුණාව පිහිට ආරක්‌ෂාව ලබාගන්ටන බැහැ. දැන් බලන්න අද කීදෙනෙක්‌ දෙවියන් වඳිනවිට දොහොත් මුදුන් තියලා වඳිනවාද කියලා. ඇඟිලි නවාගෙන නාසයට හෝ නිකට ප්‍රදේශයට දැත් තබාගෙන දෙවියන් වඳින්නෙ. එසේ දෙවියන්ට අවමන් කරමින් දෙවියන්ගේ පිහිට ආරක්‌ෂාව බලාපොරොත්තු වෙනවා.

දෙවිවරු කියන්නේ ආශාවන් සහ කෙලෙසුන්වලින් පිරිණු අය. එනිසා ඔවුනට පුද පූජා කරන විට ඔවුන් සතුටුවන අයුරින් එය කළ යුතුයි. විශ්වයේ ඇති පිරිසිදුම ආහාරය තමයි පලතුරු. දෙවියන් පලතුරුවලට ප්‍රිය කරනවා. එනිසා දෙවියන්ට පලතුරු වට්‌ටියක්‌ තබන විට ඉතා පිරිසිදු, හොඳින් ඉදුනු පලතුරු තැබිය යුතුයි. පලතුරු වට්‌ටියට රුපියල් දාහේ නෝට්‌ටු තැබුවාට දෙවියන් සතුටු වන්නේ නැහැ.

කපු මහත්වරු කියන්නේ දේව බැල්ම තියෙන අය. ඔවුන් කටයුතු කරන්නේ දෙවියන්ගේ උපදෙස්‌ අනුවයි. ඒනිසා තමයි දේව පූජාවකදී හොඳ පලතුරු වට්‌ටියක්‌ තිබුණොත් කපු මහත්වරු නිරායාසයෙන්ම එය දොහොත් මුදුණින් පිළිගන්නේ. එය දේව කැමැත්ත. කිසිම මොහොතක දෙවියන්ට පූජා කළ පළතුරු වට්‌ටියක්‌ තනිව අනුභව කරන්න එපා. දුගී මගී යාචකයන්ටත් දී බෙදාහදාගෙන කන්න. එවිට දෙවියන් සතුටු වෙනවා.

රටේ දේශපාලන නායකයන්ට ඇති සුබ අසුබ බව කොහොමද?
නැවතත් ඔහු දේව භාෂාවෙන් යමක්‌ පවසයි. ඔව්... විෂ්ණු දෙවියන් පවසනවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රට පාලනය කරන තුරු රටට අනතුරක්‌ සිදු නොවන බව. තව වසර දහයක්‌ පමණ ඔහුට බලයේ රැඳී සිටීමේ ශක්‌තියක්‌ තිබෙන බව පවසනවා. හැබැයි එතුමාට නිතර ඇතිවන කෝපය නැතිකර ගත යුතු යෑයි දෙවියන් පවසනවා. එසේ නොවුණහොත් ඉන් ඔහුගේ ජීවිතයට හානියක්‌ සිදුවේවි යැයි දෙවියන් අනතුරු අඟවනවා.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එක්‌සත් ජාතික පක්‍ෂය ගොඩනැගිය නොහැකි බවත් දෙවියන් පවසනවා. පක්‍ෂය ගොඩනැගිය හැකි තැනැත්තා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතායි. නමුත් ඔහු ඒ සඳහා උත්සාහ ගත යුතුයි. දැනට ඔහු සිදුකරන්නේ ඈත තියෙන ගසකට ඊට ළං නොවී නඟින්න උත්සාහ ගැනීමක්‌ වැනි ක්‍රියාවක්‌. එනිසා ගස ළඟට ගොස්‌ ගස අල්ලාගෙන ඊට ගොඩවිය යුතුයි.

මීළඟට රටේ අගමැති වීමට සුදුසුම තැනැත්තා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවයි දෙවියන් පවසන්නේ. මර්වින් සිල්වා වැනි ඇමැතිවරුන් ජනාධිපතිතුමා සමඟ සිටිය යුතුයි. කතරගම දෙවියන් තම රන් අභරණ ඇතුළු වස්‌තුව රැකගැනීමට වගකීම භාර කළේ කඩවර යක්‌ෂයාටයි.

ලබන 27 වැනිදා ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට යම් බලපෑමක්‌ මතුවේද?
ඔහු නැවතත් දේව භාෂාවෙන් යමක්‌ පවසයි. අපට එම සමුළුවේදී කිසිදු බලපෑමක්‌ සිදු නොවන බව දෙවියන් පවසනවා. ශ්‍රී ලංකාවට විෂ්ණු දෙවියන්ගේ ඇති බැල්ම වැඩියි.

සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතාට නිදහස ලැබෙයිද?
දේව භාෂාවෙන් යමක්‌ පවසා ඊට පිළිතුරු දුන්නේ සරත් ෆොන්සේකා මහතාට දැන් වුවත් නිදහස ලබාගත හැකියි. හැබැයි බුද්ධිය තිබුණට මදි. ප්‍රඥවත් තිබිය යුතුයි. උද්ඝෝෂණ කිරීමෙන් පලක්‌ නැහැ. ඔහුට රටේ අගමැති වීමේ ශක්‌තියක්‌ තිබුණා. 


නමුත් ප්‍රඥව යෙදවූවේ නැති නිසා එය අහිමි වුණා. නැවත ඔහුට එම ශක්‌තිය ලැබෙන්නේ නැහැ. ජනතා විමුක්‌ති පෙරමුණත් දිනෙන් දින පිරිහෙනවා. ඔවුන්ට එහෙම වන්නේ ඔවුන් සිදුකරන්නේ යක්‌ෂයින් පිනවීමේ කටයුතුවල නිරත වන නිසා. කවදාවත් යක්‌ෂයන් ලොව ජයගත්තේ නැහැ.

වර්තමානයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ඔවුනට සහනයක්‌ ලබා ගැනීමට කළ යුත්තේ කුමක්‌ද?
දේව භාෂාවෙන් යමක්‌ ප්‍රකාශ කරයි. ඔව්... මේ ලෝකයේ ඇති ප්‍රබලම ස්‌ථානය තමයි අනුරාධපුරය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වසන භූමිය. එහි ගොස්‌ දාන, සීල, භාවනා වැඩසටහන්වල යෙදීමෙන් තමුන් තුළ ඇති යක්‌ෂ, ප්‍රේත, භූත බැල්ම නැතිකර ගත හැකියි.

දැන් බලන්න... අප රටේ බහුතරයක්‌ දෙනා පීඩා විඳින්නේ බුදුදහමට පටහැනිව වැඩ කරන්න ගිහින්. සුරාවට සූදුවට, සත්ත්ව ඝාතනයට යොමුවෙලා. ඔවුන් යක්‌ෂයින් බවට පත්ව සිටිනවා. එවැනි පුද්ගලයින්ට දෙවියන්ගේ රැකවරණය ලැබෙන්නේ නැහැ. දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ ආගම දහම අනුව කටයුතු කරන අයටයි. වර්තමානයේ බොහෝ දෙනා පිං දහම් කරනවා කියා කරන්නේ පව්කාර වැඩ. 


සතුන් ඝාතනය කර මළකුණු මහා සංඝරත්නයට දානය ලෙස පූජා කරනවා. සමහරු ඊට පිළිතුරු ලෙස පවසන්නේ කන්න කැමති දේ දීමෙන් මහත් ඵල මහානිශංස ලැබෙන බවයි. එය දානයක්‌ නෙවෙයි, දොළපිදේනි දීමක්‌. තමන්ගේ අම්ම තාත්තා මියගිය පසු ඔවුන් සිහි කර දානය දෙන විට ඇතැම් දරුවන් පවසනවා අම්ම තාත්තා කන්න කැමති මස්‌ මාංශ දානයට පූජා කරනවා කියලා. එය දොළපිදේනියක්‌. ඉන් දානයක ආනිශංස ලැබෙන්නේ නැහැ. 

එනිසා නිවැරැදිව බුදුදහම අවබෝධ කරගෙන දෙවියන්ට ගරු කරමින් ජීවත් වන අයට කිසිදු පීඩාවක්‌ නැහැ. ඔවුන් සතුටින් ජීවත් වෙනවා. දාන, සීල, භාවනා ගුණ ඔවුන් තුළ තිබෙනවා. ඔවුනට කිසිදාක පීඩාවන් ඇතිවන්නේ නැහැ.

එම සම්පූර්ණ ලිපිය මෙතනින්.








Source: http://www.gossip9.com/2012/02/blog-post_26.html#ixzz1ncwbLHLF

Share this article with your friends