Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

හදිසි මහමැතිවරණයක් පවත්වන ලෙස ජනපතිට උපදෙස් !


ඉදිරි වසර කිහිපය තුළ රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්වන බවත්, එම තත්ත්වය තුළ ජනතා සහන කප්පාදු කිරීමට අනිවාර්යෙන්ම සිදුවන බවත්, එකී තත්ත්වය සැලකිල්ලට ගෙන හදිසි මහමැතිවරණයක් පැවැත්වීම අනාගත දේශපාලන පැවැත්ම සඳහා වැදගත් විය හැකි බවට ජනාධිපතිවරයාගේ උපදේශකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තරය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව සිදුකෙරන තර්ජනවලට එරෙහිව පුලූල් ජනමතයක් ගොඩනගමින් යළි දේශානුරාගයක් ඇතිකොට වහාම මැතිවරණයකට යාම සුදුසු බව එම උපදේශකයින්ගේ අදහස වී තිබේ.


ජාත්‍යන්තරය මොනවා කීවත් රටේ ජනතාව ජනාධිපතිවරයා සමග බව එවැනි හදිසි මැතිවරණ ජයග‍්‍රහණයක් තුලින් ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගැන්වීය හැකි බවත්, එසේම ජනාධිපතිවරයාට පක්ෂපාතී නොවන ආණ්ඩුවේ මැතිඇමතිවරුන් ඉවත් කොට වඩාත් පක්ෂපාතී නවක මන්ත‍්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කරගැනීමට එයින් ඉඩ ප‍්‍රස්ථා සැලසෙන බවත් එම උපදේශකයින් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

එම යෝජනාවට ජනාධිපතිවරයා එතරම් යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති අතර එවැනි තත්ත්වයකදී සන්ධානය ජයග‍්‍රහනය කළද පාර්ලිමේන්තුව තුල අද පවතින තුනෙන් දෙකේ බලය යළි ලබාගත නොහැකි බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබේ.

තුනෙන් දෙකේ බලය හරහා ව්‍යාවස්ථා සංශෝධනය කොට ජනාධිපති ධූර කාලය සංශෝධනය කොටගෙන ඇති බැවින් ඉදිරියේදී ජනාධිපතිවරයාගේ පැවැත්මට බාධාවක් නොමැති බව සඳහන් කර ඇති එකී උපදේශකයින්, තවදුරටත් එවැනි තුනෙන් දෙකේ බලයක් තිබුණද ජනතා බලය හමුවේ එහි වලංගුබාවය අහෝසි වී යන බව පැහැදිලි කර තිබේ. මේ වනවිට තුනෙන් දෙකේ බලයක් තිබුණද වෘත්තීය සමිතිවල බලපෑම් හමුවේ සමහර පනත් හකුලා ගැනීමට සිදුවූ බව මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජනාධිපතිවරයාට සිහිපත් කර තිබේ.

එම කාරණය අනුමත කොට ඇති ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු මෙන්ම බැංකු ප‍්‍රධානියෙකු, ඉන්ධන මිල ඉහළ යාම තුල ආණ්ඩුවට හිතවත් පිරිස්ද කෝපයට පත්කර සිටින බවත්, විපක්ෂය එයින් උපරිම ප‍්‍රයෝජන ගනිමින් සිටින හෙයින් විපක්ෂයට සංවිධානය වීමට කාලය නොදී වහාම මැතිවරණයකට යාම වඩාත් සුදුසු බවත් පැහැදිලි කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ තීන්දුවෙන් පසු ඇතිවන තත්ත්වය සැලකිල්ලට ගෙන එවැනි මැතිවරණයක් පිළිබද තීරණයක් ගැනීම වඩා සුදුසු බව ජනාධිපතිවරයා මෙහිදී එකී උපදේශකයින්ට පවසා ඇත.

කෙසේ වුවද රටතුල යළි දේශපේ‍්‍රමය ජනිත කරවන්නාවූ අඛන්ඩ ප‍්‍රචාරක වැඩපිලිවෙලක් හා ක‍්‍රියාමාර්ග සිදුකළ යුතු බවට එම සාකච්ඡුාවට සහභාගී වූ සියලූ දෙනාම ඒකමතිකව තීන්දු කර තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends