Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

අස්වනු පාඩුව නිසා ගොවීන් වසබොන්න පටන් අරන් - ජනඅරගල ව්‍යාපාරය


‘‘අම්පාරේ, මඩකලපුවේ, ත‍්‍රිකුණාමලයේ, වව්නියාවේ වී අස්වැන්නෙන් 70%ක් නෙලලා අවසන්. 60%ක් පමණ විකුණලා අවසන්. දැන් වී මිල තිබෙන්නේ රුපියල් 13ත් 17ත් අතර මිලක. කනකර උගස් තියලා අස්වැද්දූ ගොවීන්ට අද වස බොන්න සිද්ධ වෙලා. මඩකලපුව රෝහලේ වස බිවූ ගොවීන් ගැන වාර්තා වෙනවා. ආණ්ඩුව මේවා හංගනවා.’’
යැයි  ජන අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. කේ. සුබසිංහ මහතා පසුගියදා (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරනය කර සිටි අතර ඒ මහතා එහිදී මාධ්‍යවේදීන්ට මේ ගැන විමර්ශනය කරන්න ලෙසද ඉල්ලීමක් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.


හෙක්ටයාර් එකක් කියන්නේ ආසන්න ලෙස අක්කර දෙක හමාරක්. අක්කරයක් වගා කරන්න රුපියල් 40,000ක පමණ නිෂ්පාදන වියදමක් යනවා. මේ කියන්නේ මෑත දී සිදු වුණු ඉන්ධන හා අනෙකුත් භාණ්ඩ, සේවා මිල ඉහළ යාම සලකන්නේ නැතිව. ඒ අනුව සාමාන්‍යයෙන් හෙක්ටයාර් එකක් වගා කරන්න රුපියල් 85,000ක් නිෂ්පාදන වියදමක් යනවා.

හෙක්ටයාර් එකකින් වී කිලෝ පන් දහසක් පමණ අස්වනු ගන්නවා. එතනින් කිලෝ 2500ක් රුපියල් 28 බැගින් ආණ්ඩුවට දුන්නොත් ගොවියාට ලැබෙන්නේ රුපියල් 70,000යි. කෑමටවත් තියා ගන්නේ නැතිව වී සියල්ලම විකුණා දැම්මොත් රුපියල් 1,40,000ක් ලැබෙනවා. නිෂ්පාදන වියදම අයින් කළාම ගොවියාට ඉතිරි වෙන්නේ රුපියල් 40,000යි. මාස හයක් ජීවත් වෙන්න ඉතිරි වන්නේ රුපියල් 40,000යි. ඒ කියන්නේ එක මාසයකට රුපියල් 7,000යි. ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ මාසෙක ජල බිල විතරක් රුපියල් 10,000ක් විතර වෙනවා.
මේ ආණ්ඩුව විශාල වශයෙන් බොරු සංදර්ශනවලට මුදල් වියදම් කරනවා. දැයට කිරුළට රුපියල් කෝටි දහස් ගණනක් වියදම් කරද්දී වී මිලදී ගැනීමට වෙන් කරන්නේ කෝටි 100යි. ආණ්ඩුව ලැජ්ජ වෙන්න  ඕන.

උතුරු නැගෙනහිර වී අස්වනු නෙලන්න පටන් ගන්නේ ජනවාරි මාසයේ සිට. නමුත් ආණ්ඩුව එම ගොවීන්ගේ වී මිලදී ගන්න වැඩපිළිවෙළක් හැදුවේ නැහැ. පොළොන්නරුවේ, අනුරාධපුර, කුරුණෑගල වී අස්වනු නෙලන්න පටන් ගන්න කොට තමයි ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන හදන්නේ වී මිලදී ගන්නවා කියලා. ඇයි ඒ?
මඩකලපුවේදී වී අස්වනු විකුණා ගන්න බැරි වෙන එක ආණ්ඩුවට දේශපාලන ප‍්‍රශ්නයක් නොවෙයි. නමුත් පොළොන්නරුවේදී, අනුරාධපුරේදී ඒක ආණ්ඩුවට දේශපාලන ප‍්‍රශ්නයක්. ආණ්ඩුවේ ඡුන්දවලට ඒක බලපානවා. ඒ නිසා අම්පාරේදි, මඩකලපුවේදී, වව්නියාවේ පෞද්ගලික අංශයට තමන්ගේ ලාභ පුරෝ ගන්න ඉඩ දීලා පොලොන්නරුවේදී, අනුරාධපුරේදී ආණ්ඩුව මාධ්‍ය සෙල්ලම් දානවා.

අවුරුදු හතරකින් සහතික වී මිල ඉහළ දාලා නැහැ. අද ගොවියා ඉන්නේ අර මරණ තුනක් මැද. අවුරුදු හතරකින් සහතික වී මිල වැඩි කර නැහැ. නමුත් ඒ අවුරුදු හතර තුළ නිෂ්පාදන වියදම 60%කින් වැඩි වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි, ඒ අවුරුදු හතර තුළ ගොවි පවුලක ජීවන වියදම 70%කින් වැඩි වෙලා. නමුත් ගොවීන් තවමත් මේ ප‍්‍රශ්නය මේ ප‍්‍රමාණයෙන් වටහාගෙන නැහැ. ඒ නිසා පැරණි ණය ගත් තැන්වලට පොලූ තියලා ණය ගන්න අලූත් තැන් සොයමින් යනවා. අන්තිමට වියදම පියවා ගන්න බැරි වුණාම වස බොනවා. නැත්නම් ගොවිතැන අතහැර කොළඹට ඇවිත් කොන්ක‍්‍ර‍්‍රීට් අනනවා.  ඕක තමයි අද ඇති වෙලා තිබෙන තත්වය.

1990 දී වී කිලෝවක මිල රුපියල් 9.00යි. ලූණු කිලෝ එකක මිල රුපියල් 2.60යි. බුලත් විටක් 1.20යි. එදා වී කිලෝ එකක් විකුණලා ලූණු කිලෝ තුනක් අරගෙන බුලත් විටක් කන්නත් සල්ලි ඉතිරි වුණා. අද වී කිලෝ එකක් රුපියල් 15යි. ලූණු කිලෝ එකක් රුපියල් 32යි. බුලත් විටක් රුපියල් 20යි. අද වෙන කොට වී කිලෝ එකක් විකුණලා ලූණු කිලෝ එකක් ගන්න නොවෙයි, බුලත් විටක් කන්නවත් ප‍්‍රමාණවත් නැහැ. බුලත් විටක් කන්නත් වී කිලෝ එක හමාරක් විකුණන්න  ඕන.
අස්වැන්න නෙලන්න සූදානම් වෙන කොට කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ බව වාර්තා වෙනවා. නමුත් පොළොන්නරුවේ, දෙහිඅත්තකණ්ඩියේ, අම්පාරේ වී ගබඩා හිස් කළේ නැහැ. ඇයි ඒවා හිස් කළේ නැත්තේ? ඔබට මතක ඇති රජයේ ගබඩාවල වී නරක් වෙලා සත්ව ආහාරවලට විකිණුවා. ඒ ජනතාව බත් කන්න බෑ කියූ නිසාද? නෑ. ඒ විතරක් නොවෙයි, පන්නේගමුවේ, හිඟුරක්ගොඩ තිබුණු රජයේ වී මෝල් වහලා දාලා. ඒ නිසා අද බලපෑම් සහගත ආරක්ෂන වී තොගයක් තබා ගන්න ක‍්‍රමයක් නැහැ.

මේ ආණ්ඩුව වී මෝල්ලූන්ගේ ආණ්ඩුවක්. ආණ්ඩුව ගන්නේ 14 තෙතමනයට. ඒ ටිකත් ආණ්ඩුවේ ගබඩාවල දිරනවා. පෞද්ගලික මෝල්වල වී තොග අවසන් වුණාම ඒ ටික තුට්ටු දෙකට ගන්නවා. ඒ නිසා අවසන් මොහොත දක්වාම ගබඩා හිස් කරන්නේ නැහැ.

එස්. එම්. චන්ද්‍රසේන ඇමතිවරයා කියනවා අලූතෙන් ගබඩා හදනවා කියලා. අපි අදහනවා, කවද්ද කොහේද කියලා. ඒවා බොරු කතා. මීට කලින් එස්.බී. දිසානායක මහත්තයා ඊශ‍්‍රායල මලූ කියලා ගෙනාවා. වෙඩි තියලා පෙන්නුවා, වෙඩි වදින්නේ නැහැ කියලා. නමුත් වෙඩි වදින්නේ නැති ඊශ‍්‍රායල් මලූ අම්පාරේ මීයෝ කෑවා. අද වෙන කොට තියෙන්නේ වී මාෆියාවක්.

70-77 කාලය වන විට ජාතික වී නිෂ්පාදනයෙන් 15%ක් 20%ක් පමණ ප‍්‍රමාණයක් මිලදී ගන්න රජයේ වී ගබඩාවල ධාරිතාව තිබුණා. නමුත් 77 විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නාට පස්සේ, නව ලිබරල් ධනවාදයේ පළමු ඉනිමේදී මේ වී ගබඩා වහලා ඒවා ඇඟලූම් කර්මාන්තවලට විකිණුවා. ජේ. ආර්. කිව්වේ පිට රටට ඇඟලූම් විකුණලා ඒ සල්ලිවලින් හාල් ගේනවා කියලා. අද වෙන කොට ගබඩා ධාරිතාව තිබෙන්නේ වී අස්වැන්නෙන් 4%ක් ගබඩා කරන්න පමණයි. ආණ්ඩුවට අවශ්‍ය නම් නාස්තිකාර වියදම් නතර කරලා ඒ මුදලින් ගොවියාට සේවාවක් කරන්න පුළුවන්.

නව ලිබරල්වාදයේ දෙවැනි ඉනිම ක‍්‍රියාත්මක කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සහන කැපීමේ ගිවිසුමක් අත්සන් කළා. මුලින්ම සහන කපන්නේ ගොවියාගේ. මුලින්ම ගොවියාට බැංකුවලින් කියනවා, කෘෂිකර්මාන්තයට ණය දෙන්න බෑ, ගෙස්ට් හවුස් එකක් දාපන් ඒකට ණය දෙන්නම් කියලා. ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය ඒක.
ඒ නිසා ජන අරගල ව්‍යාපාරය ප‍්‍රධාන සටන් පාඨ තුනක් ඔස්සේ ගොවි ජනතාව සංවිධානය කරන්න තීරණය කර තිබෙනවා. පළමු වන සටන් පාඨය ‘වසර හතරකින් වැඩි නොකළ සහතික මිල වැඩි කරනු!’, දෙවැනි එක ‘බොරු එපා. සහතික මිලට වී ගැනීම වහා අරඹනු!’ මොකද ආණ්ඩුව සහතික මිලට ඇත්තටම වී ගන්නේ නැහැ. තුන්වැනි සටන් පාඨය අපි ඉදිරිපත් කරන්නේ ගොවියා වෙත. ඒක තමයි ‘වී ගොවියාගේ සාරය උරා බොන ආණ්ඩුවේ වී මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු.’ මේ සටන් පාඨ තුන මූලික කර ගෙන ගොවි ජනතාව සංවිධානය කිරීමේ කටයුතු ජන අරගල ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ කේ. තිරුබාහරන් මහතා මෙසේ පැවසීය.

සුබසිංහ සහෝදරයා කිව්වා හෙක්ටයාර් එකකට කිලෝ 5000ක් ගන්න පුළුවන් කියලා. ඒත් ඇත්ත තත්වය තමයි එච්චර ගන්න බැහැ. වෙලාවට පොහොර, වතුර ලැබෙන්නේ නැහැ. පොහොර ලැබෙන්නේ පරක්කු වෙලා. මම පොහොර ගත්තේ ජනවාරි 15 වැනිදා. ගොයම් කපන්න දවස් 20කට කලින්.

ඉස්සර කිව්වා යුද්ධෙ නිසා ප‍්‍රශ්න විසඳන්න බැහැ. යුද්ධෙ ඉවර වුණු ගමන් විසඳනවා කියලා. දැන් යුද්දෙ ඉවරයි. අපේ ප‍්‍රශ්න ගැන මොනවා හරි කතා කළොත් දැන් කියනවා ‘කොටියා’ කියලා. එහෙම කතා කළොත් එදා ?ට අවදියෙන් තමයි ඉන්න වෙන්නේ. මම ආවේ මේ ප‍්‍රශ්න කවුරු හරි කට ඇරලා කියන්න  ඕන නිසා. අවට අය මටත් කිව්වා යන්න එපා කියලා. කවුරුත් කතා කරන්න බයයි. ඒත් මැරුණත් කමක් නැහැ මේ ප‍්‍රශ්න කියන්න  ඕන කියලායි මම ආවේ.

ජන අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. කේ. සුබසිංහ මහතා, මෙහෙයුම් කමිටු සාමාජික කේ. තිරුබාහරන් මහතා, පොළොන්නරු දිස්ත‍්‍රික් මෙහෙයුම් කමිටු සාමාජික ආර්. කේ. ඉන්ද්‍රානන්ද මහතා මෙම මාධ්‍ය හමුවට එක්වී සිටියහ.



Source - lankanewsweb.com

Share this article with your friends