Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ආරක්ෂක ලේකම් ඇත්තටම දක්ෂයෙක්ද?


වන සංරක්ෂන දෙපාර්ථමේන්තුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පත් කිරීමට ආණඩුව කරැණු සළකා බලමින් තිඛෙන බව ලංකා සී නිවිස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. දැනට එය පාලනය වන්නේ පරිසර අමාත්‍යංශයෙනි. රට පුරා දැව ජාවාරම වර්ධනයවී ඇති බවත් වනාන්තර හොරන් කැපීම වැළැක්වීමට වන රක්ෂණයද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිඛෙන බව එහි සඳහන් විය.
අපරාධ මර්දන වීරයා?

පෙබරවාරි මුල සතියේ දිවයින කතු වැකිය දෙවරක්ම ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් වෙන් කර තිබුණි. වසය අව්රැදු 17ක සිසුන් පිරිසක් තවත් පාසැල් සිසුවකු මරා දමන බවට තර්ජනය කොට කප්පම් ගැනීම සහ සෙවනගල රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා මරා දැමීමට තවත් වෛද්‍යවරයකු විසින් පානීය ජලයට වස මුසුකිරීමේ සිද්ධි මෙම කතුවැකි දෙකෙහි වස්තු බීජවී තිබුණි. එම කතුවැකි ලියා තිබුනේ මෙම සිදුවීම් ආරක්ෂක ඇමතිවරයාගේ අවධානයට යොමු කරනු පිනිස ය. ත්‍රස්තවාදය පරාජය කිරීමේ විශිෂ්ඨ දක්ෂතාවය අනුව යමින් අපරාධ මර්ධනයටද ආරක්ෂ ලේකම්වරයා මැදිහත් විය යුතු බව එහි සදහන් විය.
පළාත්පාලන මැතිවරණයට පෙර රාවය පුවත්පතට ලියූ වික්ටර් අයිවන් මහතා සඳහන් කර තිබුණේ යුද්ධය ජය ගැනීමට ආරක්ෂක හමුදාව මෙහෙයවා ජයගත් නමුත් සිවිල් පරිපාලනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගැටලුවක් තිබූ බවය. එනමුදු කොළඹ අලංකාරකරණය මගින් ආරක්ෂක ලේකම්වරයා ස්වකීය විශිෂ්ඨ දක්ෂතාව යලිත් වරක් පෙන්නුම් කර ඇති බව ඔහු දසහන් කළේය. පාට කණ්නාඩි ඉවත ලා ඔහුගේ හැකියාව අගය කල යුතු බවද එහි සඳහන් විය.
කෝ ආරකෂක නියෝජ්‍ය ඇමැති?
නිශ්චිත දින වකවානු පිළිබඳ සඳහන් කළ නොහැකි නමුත් ලංකාදීප සහ ලක්බිම පුවත්පත්ද ආරක්ෂක ලේකම්වරයාගේ දක්ෂතාවය නිරන්තරයෙන්ම අගය කරනු ලබයි. ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ වැඩිම ඉඩ ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ ආරක්ෂ ලේකම්වරයා වෙතය. නමට පමණක් ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයකුද සිටින නමුත් මෙම අඩවියෙහි දශම දෙකක හෝ ඉඩක් එම නි. ඇමැතිවරයාට වෙන් කර නැත.(ආරක්ෂ නියෝජ්‍ය ඇමැතිවරයා වන්නේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ය.) රජයේ සියළුම මාධ්‍යවල තත්ත්වයද ඒ හා සමානය. මැත ඉතිහාසය ගතහොත් ටී.බී. වේරපිටිය, ලලිත් ඇතුලත්මුදලි, රංජන් විෙජ්රත්න, රනිල් වික්‍රමසිංහ, අනුරැද්ධ රත්වත්ත, සහ අනුරුද්ධ රත්වත්ත යන මහත්වරු මහින්ද රාජපක්ෂ යුගයට පෙර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස කටයුතු කළහ. 2002 එජාප රජයේ ආරක්ෂ ඇමැතිවරයා ලෙස තිලක් මාරපන මහතා ක්‍රියා කළේ ය. මේ හැම කාලයකදීම ආරක්ෂක අමාත්‍යාංශ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළේ ද ආරක්ෂාව සම්බන්ධ සියළු ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ උත්සවයන්හි ආරාධිතයා වූයේ ද ජනාධිපතිවරයා හැරුණ විට නියෝජ්‍ය ආරක්ෂ අමාත්‍යවරයා ය.
එහෙත් මහින්ද රාජපක්ෂ යුගයත් සමඟ ගෝඨාභය රාජපක්ෂ සුපිරි ආර්ක්ෂක ලේකම් තනතුර හදුන්වා දෙනු ලැබුනි. ජෙනරල් පොන්සේකා යුද හමුදාපතිව සිටිය දී ආරක්ෂ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු ඍජු අදහස් පළ කල අතර ඔහුගේ ඉවත්වීමෙන් පසු අද ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව මත හෝ අදහස් පළකරන එකම තැනැත්තා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි.
ආරකෂක අමාත්‍යාංශයට අමතරව ඔහු දැන් නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ ද එකම බලධාරියා ය. ලංකාවේ සිටින සුපිරිතම බලධාරියා බවට ඔහු පත්වන්නේ ජනාධිපතිධුරය දරන ඔහුගේ සහෝදරයා නිසා නොව සෑම ක්ෂේත්‍රයකම ඔහු දක්වන දක්ෂතාවය නිසා යැයි පිළිගැනීමක් ද තිබේ. පාර්ලිමේන්තු ඇමැතිවරයකුට නොව කැබිනට් ඇමැතිවරයකුට පවා දුරකථනයෙන් සම්බන්ධ කරගත නොහැකි එකම ලේකම්වරයාද ඔහුය. සියළුම කැබිනට් ඇමැතිවරු අමාත්‍යාංශ ලේකම්වරුනට මුල් නමින් ඇමැතීම කරන නමුදු සියළුම කැබිනට් ඇමැතිවරු ආරක්ෂ ලේකම් අමතන්නේ ලේකම්තුමා යන ගෞරව නාමයෙනි.
හිටපු කර්නල්වරයකුවන ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සුපිරි වරප්‍රසාද ලබන්නේ යුද්ධය ජයග්‍රහණය කරමින් දැක්වූ දක්ෂතාවය මත යැයි මතයක් ජනතාව අතර ගොඩ නගා තිබේ.
ඇත්ත කතාව මෙන්න
එහෙත් යුද්ධය ජයග්‍රහණය කරා ගෙනයාමේදී හෝ රටේ ආරක්ෂාව නීතිය හා සාමය පවත්වා ගෙන යාමේ දී හෝ ඔහු දැක්වූ දායකත්වය විමර්ශණය කිරීමට මෙතෙක් කිසිවකු පෙළඹී නැත. එහෙයින් ඒ පිළිබඳව මදක් සොයා බැලීම වැදගත් ය.
1971 දී දෙවන ලූතිනනවරයකු ලෙස යුදහමුදා සේවයට එක්වන ගෝඨාභය රාජපක්ෂ මහතා 1990 දී ස්ව කැමැත්තෙන් විශ්‍රාම යයි. 1990 දී යුද බිමට සමුදුන් ඔහු යළි දක්නට ලැඛෙන්නේ 2005 ජනාධිපතිවරණ සමයේ දීය.
එල්ටීටීඊ ය සහ යුද හමුදාව අතර ගැටුමේ ඉතිහාසය කොටස් හතරකි. එනම් පළමුවන ඊළාම් යුද්ධය (1983-1987), දෙවන ඊළාම් යුද්ධය (1990-1994), තෙවන ඊළාම් යුද්ධය ( 1995 -2002), සහ සිව්වන ඊළාම් යුද්ධයයි (2005-2009). මේ කොටස් හතරෙන් ගෝඨභය රාජපක්ෂ මහතා සක්‍රිය ලෙස සටන් වැදුනේ පළමු ඊළාම් යුද්ධයේ දී සහ දෙවන ඊළාම් යුද්ධයේ මාස තුනකය. පළමු ඊළාම් යුද්ධය එල්ටීටීඊය සැහැල්ලූ ගිනි අවි සහ බිම් බෝමබ පමණක් යොදා ගත් කාලයකි. සත්‍ය ලෙසින්ම යුද්ධයේ අති බිහිසුණු අවධිය එළඹෙන්නේ 1990වෙන් පසු ය. මරාගෙන මැරෙන බෝම්බ මෝටාර් සහ රෙකට් වෙඩි වලින් සන්නද්ධ වීම අරඹන එල්ටීටීය 1999 වනවිට මිලි මිටර් 152 කාල තුවක්කු සහ යුද්ධ ටැංකිවලින් සන්නද්ධ හමුදාවකි. එහෙත් එම දැවැන්ත යුද ශක්තිය යෙදවුවද එල්ටීටීඊයට සිය ඉලක්කය සපුරා ගත නොහැකි වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාව පමණක් නොව මව්බිමද අතහැර ගොස් සිටි සමයක සටන් කළ සෙසු ආරක්ෂක හමුදා සාමාජිකයින් නිසාය. 1999 දී අලිමංකඩ කදවුර බිද වැටීමෙන් පසු යාපනය කරා ආ එල්ටීටීඊය නැවැත් වුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් නොවේ. ආරක්ෂක අමාත්‍යවරුන්ව සිටි රංජන් විෙජ්රත්න සහ අනුරුද්ධ රත්වත්තේ වැනි මහත්වරු එදා සටන් බිමට ගොස් සෙබළ දුක සැප සොයා බැලුහ.
බිහිසුණුම අවධියකට පසු 2005 දී යළි කරළියට එන ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයට සංචාරය කර ඇත්තේ සිව් වතාවකි. වවුනියාවට තෙවතාවකි. නැගෙහිරට දෙවතාවකි. ඒ යුද බිම වෙත නොවේ. ඇතැමුන් කියන මේ වීරයා හමුදා හෙල්මටයක් හෝ වෙඩි නොවදින ජැකට්ටුවක් හෝ පැළද යුද බිම ආසන්නයට ගිය එකද ජායාරූපයක් හෝ සොයා ගත හැකි ද?
ආරක්ෂ ලේකම්වරයාගේ විශිෂ්ඨ දැනුම සංග්‍රාමික දක්ෂතාතාවය එක් උදාහරණයක් නම් (වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී දයා රත්නායක මහතා මෙම සිදුවීම ගැන හොදින්ම දන්නා තැනැත්තාය) වන්නේ 2005 මැයි මාසයේ මඩකළපුව පූනානි මෙහෙයුමය.
යුද බිමේ කෑ ගුටි
එවක 23වන සේනාංකාධිපතිව සිටි දයා රත්නායක මහතා හදිසි අනතුරකින් රෝහල්ගතව සිටි අතර එම තනතුරේ වැඩ බලන ලද්දේ කර්නල් එම් ජයවර්ධනය. මේ අවස්ථාවේ දී යුද හමුදාපති සරත් පොන්සේකා මහතා ඔහුට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මාරාන්තික තුවාල ලබා සිංගප්පූරුවේ රෝහලක පසු විය. පූනානියේ කොටි කඳවුරක් ගැන වාර්තා වූයේ මෙම අවස්ථාවේදීය. කර්නල් ජයවර්ධන ඒ පිලිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ ය. ගෝඨභය රාජපක්ෂගේ උපදෙස වූයේ ට්‍රක් රථ දෙකකින් හමුදා පිරිස් ගෙන ගොස් මඩකළපුව - පොළෙන්නරුව මාර්ගයේ පූනානියේ දී හිමිදිරියේදී බස්සවා පහර දෙන ලෙසය. ඒ වන විට පැවැති වටපිටා තත්ත්වය විස්තර කිරීමට ගිය කර්නල් ජයවර්ධන වෙත බැණු වැදුණූ ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ ''තමන් ග්‍රවුන්ඩ් එක හොදින් දන්නා බවය''. පසලොස් වසරකට පෙර රාජපක්ෂ මහතා දැන සිටි ගවුන්ඩ් සිටුවේෂන් අනුව ප්‍රහාරයේ යෙදුණු යුද හමුදාවේ 30 දෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු අත් අඩංගුවට පත් විය.
දෙවන උදාහරණය සුප්‍රකට මාවිල් ආරුවය. (මේ ගැන දන්නා තැනැත්කු වන්නේ දැනට ආරක්ෂ මාණ්ඩලික කාර්්‍යාලයට අනුයුක්ත කර සිටින මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහය. ඔහු එකළ මාවිල් ආරුව බාර ප්‍රදේශයේ අඥාපතිය) මාවිල් ආරුව විවෘත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුද දැනුම යොදා කළ මෙහෙයුම් ප්‍රයත්න 12ක් අසාර්ථක විය. මැරුම් කෑ සෙබළුන් ගනන 38කි. තත්ත්වය වෙනස් වී මාවිල් ආරුව විවෘත කර ගත හැකි වූයේ සුව වී පැමිණි ජෙනරල් සරත් පොන්සේකා ආරක්ෂ ලේකම්වරයාගේ සැලසුම් ඉවත දා කෙලින්ම භූමියට අණ දීමත් සමඟය.
යුද මෙහෙයුම සහ ආරක්ෂ ලේකම්වරයා පිළිබඳ මෙවැනි තවත් උදාහරණ කොතෙක් දිය හැකි වුවත් යුද්ධයෙන් පසු රාජපක්ෂ මහතාගේ දක්ෂතාවය සාකච්ජා කිරීම දැන් සුදුසුය.
වැඩ බැරි දාස සහ අපරාධ රුල්ල
පොලිස් මූලස්ථානය 2011 වසර පිළිබඳ නිකුත් කළ අපරාධ වාර්ථාවන් දෙස මඳකට යොමුවෙමු. පොලිස් මූලස්ථානයට අනුව 2011 වසර තුළ ශ්‍රි ලංකාවෙහි වාර්තා වූ මිනී මරුම් සංඛ්‍යාව 720කි. ඒ අතර ළමුන් ඝාතනය කිරීම්ද 22ක් වෙයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව 2011 වසර තුළ වාර්තා වූ ළමා අපචාර 1053කි. ළමා ආරක්ෂක අධිකාරියේ දුරකථනයට ලැබුණු පැමිණිළි සංඛ්‍යාව 20,000කට ආසන්නය. 2011 වසරේ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 1085කි. සරලව බැලූවහොත් ශ්‍රී ලංකාවෙහි සෑම පැය 13කටම වරක් මිනීමරුමකි. සෑම පැය අටකටම වරක් ස්ත්‍රි දූෂණයකි. සෑම පැය පහකටම වරක් ළමා අපචාරයකි. 2012 ජනවාරියේදී පමණක් රිය අනතුරු නිසා මිය ගිය ගනන ( ආසියානු මානව හිමිකම් කවුන්සිල වාර්තා අනුව) 170කි. ඒ අනුව ජනවාරි මාසයේ දී සෑම පැය 4ක්සහ මිනිත්තු 30කට එක් අයෙක් මිය ගොසිනි. අද නමින් පළ කැරෙන පුවත්පතෙහි වාර්තාවකට අනුව 2011 වසරෙහි සිදුවූ රිය අනතුරුවලදී පාසැල් දරුවන් පමණක් 225ක් මිය ගොස් 4100ක් තුවාල ලබා ඇත. සරළව කිව හොත් 2011 වසරේදී සෑම පැය 39ටම වරක් රිය අනතුරු නිසා පාසැල් දරුවෙක් මිය යයි. සෑම පැය 2 මිනිත්තු 19කට වරක් පාසැල් දරුවකු තුවාල ලබයි. තහවුරු නොකළ සංඛ්‍යා ලේඛන අනුව 2011 වසරේදී ඩෙංගු රෝගය නිසා පමණක් 500කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත. මේ අනුව පෙනෙන්නේ යුද සමයේ දී වාර්තා වූ අපරාධ සංඛ්‍යාව වර්ධනය වීමක් මිස අඩු වීමක් නොවේ. පොලිස් මූලස්ථානයට අනුව 2011 වසරේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අපරාධ සංඛ්‍යාව 57,560කි. එනම් සෑම මිනිත්තු නමයකටම වරක් අපරාධයකි. යුදුධය පැවැති 2009 වර්ශයේ වාර්තාවූ අපරාධ සංඛ්‍යාව 57,340කි.
වෙබ් අඩවිය බදු අරගෙන
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්න වගකීම දරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයයි. රාජ්‍ය ආරක්ෂාවට නීතිය හා සාමය පවත්වාගෙන යාමද අමතරව පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද එහි කාර්්‍යයන්ය. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වරයා ය. නියෝජ්‍ය අමාත්‍යවරයකු ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන තත්ත්වයක් යටතේ දී එම වගකීම උසුලන්නේ ආරක්ෂක ලේකම්වරයාය. ආරක්ෂ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්්‍ය භාරය කොතරම්ද කිවහොත් ( මෙම ලිපිය ලියන පෙරවාරි මුල් දින කිහිපයෙහි) අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ මුල් පිටුවේ ජායාරුප 27කින් 20ක් ම ලේකම්වරයාට සම්බන්ධ ඒවාය. එකක් ජනාධිපතිවරයාට සන්බන්ධය. තවෙකක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියගේය. අනෙක් පහ වෙනත්් විශයන්ය.
අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පුරාවටම දක්වා ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ දෙසුම්ය.''ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශ්‍රී ලංකාවේ අත්දැකීම්'',  ''වෘත්තීයවේදීන් අමතා ගරු ලේකම්තුමා කළ දෙසුම'', ''රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ලේකම්තුමා කළ දෙසුම'', ''උත්තම ප්‍රජා සම්මාන උත්සවයේ ලේකම්තුමා කල දෙසුම'', සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සම්බන්ධව ලේකම්තුමාගේ දෙසුම'', ''ශ්‍රී ලංකාව ලෝකයේ ඇති සුරක්ෂිතම සහ ස්ථාවරම රටක්- ලේකම් තුමා'' - මේ සියල්ල ආරක්ෂ අමාත්‍යෘංශයේ වෙබ් අඩවියේ ඇති මාතෘකාය.
පත්තර කතා හරහට
මේ සමඟ පසුගිය කාලයේ දක්නට ලැබුණු පුවත්පත් සිරස්තල කිහිපයක් ද උපුටා දැක්වීමද අපට හැකිය. ''සිසුවා මරණ බවට තර්ජනය කර දෙමාපියන්ගෙන් ලක්ෂ 03ක් කප්පම් ඉල්ලු සිසුන් දෙදෙනෙකු අත්් අඩංගුවට'' ''බන්ධනාගාර කැරුල්ල පිටුපස බන්ධනාගාර උසස් නිලධාරියෙක්, ඇමැති කියයිZZ වෛද්‍ය ඝාතනයට හවුල් කපිතාන් රිමාන්ඩ්'' ''ක්‍රෙඩිට් කාඩ් වංචාවකට පොලිස් නිලධාරීන් දෙදෛනෙකු හවුල්'' ''කප්පම් සිද්ධියට පොලිස් නිලධාරීන් 05ක් මාට්ටු'' ''සයමස් බිළිදාගේ ගෙල කපා ඝාතනය කරයි'' සෙබළ පෙම්වතා පොලීසිය තුලදීම පෙම්වතියට වෙඩි තබයි'' ''කොස්තාපල්් රාජකාරි අවියෙන් පෙම්වතියට වෙඩි තබා ඝාතනය කරලා'' ''මංකොල්ල පහකට සැක හමුදා නිලධාරීන් පැන යති'' ''කහවත්තේදී මව සහ දුව කෙළෙසා ඝාතනය කරති''
ලංකාව පුරාම මතට තිත නම් සංකල්පයක් නමට ක්‍රියාත්මකය. ගංගාවක් අසළක හෝ වෙරළක හෝ බියර් වීදුරුවක් බීමට හෝ ගෙනයාමට අවසර නැත. මුහුදු වෙරළේ අතිනෙත ගෙන සිටින තරුණ පෙම්වතුන් අධිකරණයට දක්කාගෙන යති. සියළු වේබ් අඩවි හිටි හැටියේම තහනම් කරයි. බැලු බැල්මට පෙනෙනෙනේ පොලීසිය නීතිගරුක විනයානුකූල සමාජයක් නිර්මාණය කිරීමට කැපවී සිටිව බවකි.
ආරක්ෂක ලේකම්වරයාට අනුව ශ්‍රී ලංකාව ආරක්ෂිතම සහ ස්ථාවරම රටකි. එහෙව් ස්ථාවර රටේ රාජපක්ෂ බලකොටුව වන තංගල්ලේදී පෙම්වතාට වෙඩි තබා මරා පෙම්වතිය දූෂණය කලේ ටික දිනට පෙරය. ඒ උණුසුම යන්නටම පෙරම තවත් සංවාරක කාන්තාවක් මාතරදී දූෂණයට ලක්විය. ඊයේ පෙරේදා යළිත් දික්වැල්ලේදී තවත් සංචාරක කතකට අතවරයකි.
ඩෙංගු රෝගය මර්දනය කිරීමද භාරගෙන සිටින්නේ මේ ආරක්ෂක ලේකම්වරයාය. ඔහුගේ පරිසර පොලිීසිය වැහි පීල්ලක රොඩු ටිකක් තිබුනත් නිවැසියන් උසාවියට දක්කාගෙන යයි. එහෙත් 2012 ජනවාරියේ දී පමණක් ඩෙංගු රෝගයෙන් 60කට වඩා මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාශය කියයි.
හෙළුව පෙන්නන කොලූවා මේන්
ඉතාම දක්ෂ සහ කාර්්‍යශ+ර ආරක්ෂ ලේකම්වරයකු සිටින මේ වා සිදුවිය හැකි දේද? උදේ හවා බලයෙන් පන්සිල් ගන්වන රටක විනාඩි 09කට වරක් අපරාධයක් සිදු වන්නේ ඇයි? නිල ඇදුමෙන්ම ගොස් රාජකාරි ගිනි අවි පෙන්වා පොලීසියේ සහ හමුදාවේ පිරිස් මිනී මරන්නේ ඇයි? මංකොල්ල කන්නේ ඇයි? සෑම පැය 13කට වරක් මිනී මැරුමක්ද පැය 08කට වරක් ස්ත්‍රී දූෂණයක් ද සිදුවන්නේ ඇයි? මේ සියල්ල සිදුවන්නේ විෂයෙහි දක්ෂ පරිපාලකයකු සහ විශිෂ්ඨයකු සිටින නිසා ද?
රජු සහ සීතාම්බර පටසළු කතාව අපි අසා ඇත්තෙමු. අතිශය අලංකාර සළුවක් යැයි වන්දි භට්ටයින් විසින් වර්ණනා කරනු ලැබූ ඇදුම හැදි රජු ඇතු පිටින් ආඩම්බරයෙන් නගර සංචාරයේ යෙදී සිටියේ ය. රජු නිරුවතන් බව දැන දැනත් සියළ්ලෝ නිහඩව සිටියහ. නිහඩතාව බිදිමින් රජ්ජුරුවෝ හෙළුවෙන් යැයි කීවේ පුංචි දරුවෙකි. තමන්ගේ නිරුවත රජු තේරුම් ගත්තේද ඒ මෙහොතේදීය.
අද ලංකාවට අවශ්‍යව ඇත්තේද බොරු ආරක්ෂකයාගේ හෙළුව පෙන්විය හැකි නිර්භය පුංවි දරුවෙකි.
පත්තරකාරයා විසිනි.
පෙබරවාරි 2012


Source - lankanewsweb.com

Share this article with your friends