ඔවුන් අතරින් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වී සිටින අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තමාව නොසලකාහරිමින්, තමාව දැනුවත් නොකොට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට දැනුම්දී තිබේ.
මෙම ඇමතිවරුන් දෙදෙනා අතර පවතින අභ්‍යන්තර ගැටුම හේතුවෙන් ස්විස්ටර්ලන්තයේ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයද ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ‍්‍රී ලංකා කාර්ය මණ්ඩලයද දෙකට බෙදී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශෙනුකා සෙනවිරත්න මහත්මිය ජිනීවා රැගෙන ඒම පිළිබදව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුලනායගම් මහත්මියගේද නොසතුටට හේතුවී තිබේ. තමරාට පෙර ජිනීවා හි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කළේ ශෙනුකාය.
තමාරා හා ශෙනුකා අතර අභ්‍යන්තර ගැටුමක් පවතින බව දැන සිට ජනාධිපතිවරයා, කිසිම කාන්තාවක් මෙවර ජිනීවා සැසිවාරයට රැගෙන නොයන ලෙස ජී.එල්. පීරිස් අමාත්‍යවරයාට දැනුම්දී තිබියදී ශෙනුකාව ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නම්කර තිබීම ජනාධිපතිවරයාගේද කෝපයට හේතුවී ඇතැයි ජනාධිපතිලේකම් කාර්යාලයේ නිලධාරියෙකු අප කළ විමසීමේදී පැවසීය.
කෙසේ වුවද ශෙනුකා සෙනවිරත්න මහත්මිය ජිනීවා ගිය විගසම එහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘මිනිස්ටර් කවුන්සිල’ වන ජව්වර් නැමැත්තා සමග එක්වී තමාරා කුලනායගම් මහත්මියට එරෙහිව මඩ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එම තත්ත්වය යටතේ තමාරා කුලනායගම් මහත්මිය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග කටයුතු කරමින් ජී.එල්. පීරිස් අමාත්‍යවරයාව නොසලකා හැර තිබේ.
ශෙනුකා සෙනවිරත්න මහත්මිය ජිනීවා හි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස සිටි වකවානුවේ මෙම ජව්වර් නැමැත්තා සමග එක්වී වංචා දූෂණ රැසක් සිදුකර ඇති බවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න අමුණුගම මහතාට වාර්තා වී ඇත. ඒ පිළිබදව ජනාධිපතිවරයාට කළ දැනුම්දීම මත මානව හිමිකම් සැසිවාරය අවසන් වූ වහාම ජව්වර් මහතා ශ‍්‍රී ලංකාවට කැඳවා අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන යෝෂිත පෙරේරා නැමැත්තා ජිනීවා යැවීමට මේ වනවිටත් තීරණය කර තිබේ.
කෙසේ වුවද ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙකඩ වීම පිළිබදව අප වෙත කරුණු දැක්වූ ජිනීවා හා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පැවසූවේ, ජී.එල් පීරිස් අමාත්‍යවරයාගේ ක‍්‍රියාකළාපයන් තුලින් ශ‍්‍රී ලංකාව හෑල්ලූවට හා අපකීර්තියට පත්වෙමින් තිබෙන බවයි. ජී.එල්. පීරීස් අමාත්‍යවරයා මානව හිමිකම් සමුලූව ඇමතීම සඳහා සති ගණනාවක් පුරා වෙහෙස මහන්සි වී දේශන සටහනක් සකස්කරගෙන පැමිණියද ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සැසිවාරය ඇමතීමේ අවස්ථාව ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස සහභාගී වූ මහින්ද සමරසිංහ මහතාට හිමිවීම ජී.එල්. පීරීස් අමාත්‍යවරයාගේ කෝපයට හේතුවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වුවද ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙකඩවිම තුළ මානව හිමිකම් සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග සහ වැඩසටහන් මුලූමනින්ම අවුල්වී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
Source - lankanewsweb.com