Chitika Smowtion 468x60


Tuesday, February 28, 2012

ඉන්ධන සහන දෙනවා වෙනුවට ජීවිත බිලිගන්නා ආණ්ඩුව තවමත් ඔවුන්ගේ තීරණ වෙනස් කර ගෙනනැහැ - ජනඅරගල ව්‍යාපාරය


"ඉන්ධන මිල වැඩි වෙන්න කලිනුත් ධීවරයින්ට ප්‍රශ්න තිබුණා. ඒ මොහොතේ ඉන්ධන මිලත් ඔවුන්ට දරා ගන්න බැරිවයි හිටියේ. ඒ තත්වය තුළ ආණ්ඩුව අසාධාරණ ලෙස ඉන්ධන මිල වැඩි කළා. ධීවරයින් ඉල්ලා සිටියේ අමුතු දෙයක් නොවෙයි. පැරණි මිලට ඉන්ධන දෙන්න කියලා.
නමුත් ආණ්ඩුව ඊට කන් දුන්නේ නැති නිසා තමයි උද්ඝෝෂණ කරන්න සිදු වුණේ. ධීවර සටනේදී ඇන්ටනී සහෝදරයා මිය ගියා. නමුත් ආණ්ඩුව තවමත් තමන්ගේ තීරණය වෙනස් කර නැතැයි'' ජනඅරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක අජිත් කුමාර මහතා පසුගියදා (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එහිදි අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

''බහුදින ධීවර යාත්‍රාවකට ඩීසල් ලීටර් 4000ක් පමණ වැය වෙනවා. එම යාත්‍රාවලට රුපියල් 1,20,000ක පමණ අතිරේක වියදමක් දරන්න වෙලා. එක්දින යාත්‍රාවකට දිනකට භූමිතෙල් ලීටර් 25ක් 50ක් පමණ වැය වෙනවා. රුපියල් 900කින් 2000කින් පමණ ඔවුන්ගේ දෛනික ඉන්ධන වියදම වැඩි වෙලා. මේ අමතර‍ වියදම දරන්න ක්‍රමයක් නැහැ. ඒ මුදල ඔවුන්ට ලැබෙන්න ක්‍රමයක් නැහැ.
මාලු මිල වැඩි කරන්න බැහැ. අනෙක් සියලුම භාණ්ඩ මිල වැඩි වී තිබෙන වෙලාවක මාලු මිලත් වැඩි වුණොත් මාලු මිලදී ගන්න පුළුවන් ජනතාවක් නොවෙයි ඉන්නේ. ඒ නිසා මාලු මිල වැඩි කරන්න බැහැ.

ධීවරයින්ගේ ආදායම ස්ථාවර එකක් නොවෙයි. අනෙක් අයගේ ආදායම ප්‍රමාණවත් නොවුණත් නිශ්චිතයි. නමුත් ධීවරයින්ගේ ආදායම දිනපතා වෙනස් වෙනවා. මාලු හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වාරකන් කාලෙට මුහුදු යන්න බැහැ. ඒ වගේම ඇතැම් විට යන්න වෙන දුර වැඩියි. ඒ නිසා තමයි ධීවරයින් ආණ්ඩුවට බල කළේ කලින් මිලට ඉන්ධන දෙන්න කියලා. ඒ ඉල්ලීම් ගැන කිසිම තැකීමක් නොකරන ආණ්ඩුව ධීවරයින්ට තර්ජනය කරමින් සිටිනවා.

හලාවතදී ඇන්ටනී සහෝදරයාට වෙඩි තියලා මරන්න කලින් දවසේ මීගමුවේදී හමුදාව පොළු මුගුරු අරගෙන ඇවිත් ධීවරයින්ට පහර දුන්නා. හලාවතදී නීතිය අභිබවා ගිහින් වෙඩි තැබුවා. ඇත්ත ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට හමුදාව කැඳවලා උද්ඝෝෂණ මර්දනය කරනවා. ඒ විතරක් නොවෙයි, තුවාලකරුවන් රෝහලට ගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. ඇන්ටනීගේ මළ සිරුර බිම දාලා පෑගුවා.

අද වෙන කොට ආණ්ඩුවේ දේශපාලනඥයින් තොටුපළෙන් තොටුපළට යමින් ධීවරයින්ට තර්ජනය කරමින් ඉන්නවා, විරෝධතා නවත්වන්න කියලා. ඒක පැහැදිලිවම කිව යුතුයි. ඒ නිසා මුහුදු නොගිහින් හරි ජීවත් වෙන්න ඔවුන් හිතනවා.වෙඩි වෙනුවට ජනතාවට අයිතීන් දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

වෙනදාට වඩා විශාල මුදලක් වැය කරන්න වෙනවා නම් ධීවරයින්ට වෙන්නේ බෝට්ටු විකුණලා දාන්න. ඔවුන් මත්ස්‍ය සම්පත නෙලන්න යන්නේ නැත්නම් ඒක  ජාතික නිෂ්පාදනයට බලපානවා. දැන් ධීවරයින්ට ඕන සහනාධාර ‍නොවෙයි, තිබුණු මිලටම ඉන්ධන දෙන්න කියලායි ඔවුන් ඉල්ලන්නේ."

මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට අජිත් කුමාර මහතා දුන් පිළිතුරු....

ප්‍රශ්නය - ආණ්ඩුව කියනවා වෙඩි තැබුවේ හමුදාව නොවෙයි පොලිසිය කියලා.

පිළිතුර - ඒ සිදුවීම සජීවීව ඇසින් දුටු අය ඉන්නවා. ඒ වගේම අපි මාධ්‍යවලින් දැක්කා. ඒ ප්‍රදේශය එදා තිබුණේ යුධ පිටියක් වගේ. ජනාධිපතිවරයා ආඩම්බරකාර තාත්තා කියමින්, ඇන්ටනීගේ දරුවන්ට තාත්තා කෙනෙක් නැති කළා.

ප්‍රශ්නය - 15 වැනිදා සිට සහනාධාර ගන්න පුළුවන් කියලා ආණ්ඩුව කියනවා.

පිළිතුර - ධීවරයින්ට මීට කලිනුත් සහනාධාර ගැන කිව්වා. නමුත් දුන්නේ නැහැ. ආණ්ඩුව උදේ කියන දේ හවසට බොරු කරනවා. හැම ප්‍රශ්නයකදීම ආණ්ඩුව කරන්නේ ඔය වගේ කතාවලින් උද්ඝෝෂණ යටපත් කරන එක. ඒ නිසායි ධීවරයින් කියන්නේ සහනාධාර එපා, පරණ මිලට ඉන්ධන දෙන්න කියලා.

ප්‍රශ්නය - ධීවරයින් අත ආයුධ තිබුණා කියලා ආණ්ඩුව කිව්වා. ඒක ඇත්තද?

පිළිතුර - එහෙම එකක් ගැන අපි නම් දන්නේ නැහැ. සාමකාමී උද්ඝෝෂණයට ආයුධ‍ගෙනාවේ ආණ්ඩුව. හමුදාව කැ‍‍‍ඳෙව්වේ ආණ්ඩුව. උද්ඝෝෂණ වළක්වන්න සන්නද්ධ හමුදාව කැඳවන්න බැහැ. ඒක කළේ ආණ්ඩුව තීරණයක් අරගෙන.''
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා, පැට්‍රික් ප්‍රියන්ත, ප්‍රියශාන්ත හා සැම්සන් යන ධීවර නියෝජිතයින්ද මෙම හමුවට එක්ව සිටියේය.


Source - lankanewsweb.com

Share this article with your friends