Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

කොළඹ එජාප මන්ත‍්‍රීවරු 6ක් ජරාවකාලා


කොළඹ නගරසභාවේ ගිණුම් කමිටුවට සාමාජිකයන් පත්කරගැනීම සඳහා පසුගියදා (20) පැවති රහස් ඡන්දයේදී නගරසභාවේ ආණ්ඩු බලය හොඹවන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරු 6 දෙනෙකු විපක්‍ෂයට ඡන්දය දී තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සඳහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාව ඊයේ පස්වරුවේ විපක්‍ෂ නායක කාර්යාලය කැඳවා තිබේ.

පක්‍ෂයට එරෙහිව ඡන්දය දුන් එජාප මන්ත‍්‍රීවරුන් පිළිබදව සොයාබලා වහාම විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නැයි වික‍්‍රමසිංහ මහතා එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතාට දැනුම්දි ඇත.

විපක්‍ෂ නායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ආරියරත්න සන්තියාගෝ, ඒ.සී.එම්. බදුර්දීන්, එම්.ඒ. සරත්දීන්, ඒ.බී. තරංග ශානක, නවුෆර්, භාෂිත් නවාස්, මූර්ති මුෂින් සහ විමලධර්ම යන එජාප මන්ත‍්‍රීවරුන් පක්‍ෂයට එරෙහිව ඡන්දය දී ඇති බවට මේ වනවිට සැකයට භාජනය වී ඇත.

කොළඹ මහනගර සභාවේ ගිණුම්කාරක සභාව සාමාජිකයන් 6 දෙනෙකුගෙන් සමන්විත වනඅතර නගරාධිපතිවරයා නිල බලයෙන් එහි සභාපති ධූරයට පත්වේ.

එම තත්ත්වය යටතේ සෙසු සාමාජිකයින් වශයෙන් නගරසභාවේ මන්ත‍්‍රීවරුන් 5 දෙනෙකුගේ නම් නගරාධිපතිවරයා විසින් යෝජනා කොට ඇත. එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නියෝජ්‍ය නගරාධිපති ටයිටස්, සුනිල් විතානගේ යන මන්ත‍්‍රීවරුන්ද මනෝ ගනේෂන් මහතාගේ පක්‍ෂය වෙනුවෙන් ප‍්‍රියානි ගණරත්න මහත්මියද විපක්‍ෂය වෙනුවෙන් අසාද්සාලි සහ ටෝනි රම්සි යන සන්ධාන මන්ත‍්‍රීවරුන්ද නගරාධිපතිවරයාගේ ලැයිස්තුවට ඇතුලත් වී තිබී ඇත.

එහෙත් නගරාධිපතිවරයාගේ ලැයිස්තුවට එරෙහිව විපක්‍ෂය විසින්ද 5 කගේ නම් සභාවට යෝජනා කර තිබේ. නගරාධිපතිවරයා විසින් යෝජනා කළ විපක්‍ෂ මන්ත‍්‍රී ටෝනි රම්සි මහතාගේ නමද එකී ලැයිස්තුවට ඇතුලත්ව තිබී ඇත.

එම තත්ත්වය තුළ පැවති රහස් ඡන්දයේදී විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු 4 දෙනෙකු තේරී පත්වූ අතර ආණ්ඩු පක්‍ෂයෙන් ජයග‍්‍රහණය කරනු ලැබුවේ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් මහතා පමණි.

ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය විසින් යෝජනා කළ ටෝනි රම්සි මෙන්ම විපක්‍ෂයේ ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ මන්සිල්, රෝයි බෝගහවත්ත සහ රිසාසරුක් යන සන්ධාන මන්ත‍්‍රීවරුන්ද මෙහිදී ගිණුම්කාරක සභාවට තේරී පත්විය.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය විපක්‍ෂය වෙත ලබාගැනීම සඳහා නගරසභාවේ නියෝජ්‍ය විපක්‍ෂ නායක මොහොමඞ් මහරුෆ් මහතා මෙන්ම ටෝනි රම්සි, රෝයි බෝගහවත්ත හා මන්සිල් යන විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 8 දෙනෙකු සමග වෙන් වෙන්ව රහස් සාකච්ඡා පවත්වා ඇති බවත්, ඡන්දය ලබාගැනීම සඳහා එජාප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුට මුදල් ලබාදී ඇති බවත්, මේ වනවිට විපක්‍ෂනායක කාර්යාලය වෙත වාර්තා වී තිබේ.


Source: lankanewsweb.com

Share this article with your friends