Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

පාතාලය නැසීමේ පාතාල චින්තනය - කේ. ඩබ්ලිව්. ජනරංජන


සතියකට සිදුවීම් එකක් හෝ දෙකක් හෝ වන රේට්ටුවකින් සුදු වෑන්වලින් පැමිණ පුද්ගලයන් පැහැරගෙන යෑම සිදුවෙයි. 2011 වසරේ අගභාගයේදීත්, මේ වසරේ ආරම්භයේ සිටත් දකුණේ ද මේ පැහැරගැනීම් යහමින් සිදුවෙයි. ගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර් මාස දෙකේ දී වරකාපොල, වත්තල, මහබාගේ, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කැලණිය මිරිහාන, කඩුවෙල හා මීගමුව යන ප්‍රදේශවලින් මෙවැනි සිදුවීම් වාර්තා විය.
දෙසැම්බර් 4වැනිදා, නේවි රුවන් නම් පුද්ගලයකු වරකාපොලදී පැහැරගන්නා ලදී. ඊට පෙර කරාටේ ධම්මික නම්, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂක මන්ත්‍රී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සමීප සගයෙක් පැහැරගන්නා ලද්දේය. නොවැම්බර් 12 වැනිදා මිරිහානේදී පැහැරගන්නා ලද පොත් සාප්පු හිමියාට නැවත පැමිණීමේ වාසනාව හිමිවිය. නොවැම්බර් 22 වැනිදා ඔරුගොඩවත්ත මාළු ව්‍යාපාරිකයෙක් පැහැරගන්නා ලද්දේය. ඔහු පැහැරගත්තේ යුදහමුදා නිල ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් හතරදෙනකු විසින් බවද මාධ්‍ය වාර්තා කළේය. පහරදෙනු ලැබ, දවසකට පසු මීගමුවේ දී ඔහු දමාගොස් තිබිණ. දෙසැම්බර් පළමු සතියේ දී අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට යාපනයට යමින් සිටි ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගනාදන් කිසිවකු විසින් පැහැරගන්නා ලදුව, ඔවුන් ගමන් ගනිමින් සිටි මෝටර් සයිකලය හමුවිය. තවමත් ඔවුන් ගැන විස්තරයක් දන්නේ නැත. ජනවාරි 2 වැනි දා, මොහොමඩ් නිස්තාර් නමැත්තෙක් පුත්තලමේදී සුදු වෑන් රියකින් පැහරගන්නා ලදී. පසුව ඔහුගේ, හිසට වෙඩි වැදුණු සිරුර හමුවිය. ජනවාරි 4වැනිදා, සුදු වෑන්රියකින් පැහැරගන්නා ලද තරුණයකුගේ මළසිරුර පසුදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දමාගෙස් තිබියදී හමුවිය. මේ කියන zදකුණේ සිදුවීම්වලට අමතරව උතුරේද නැගෙනහිරද සුපුරුදු පරිදි තවමත් නොකඩවා පැහැරගැනීම් සිදුවෙයි. 2011 ජනවාරි 17වැනිදා, මන්නාරමේදී පාසල් ශිෂ්‍යයන් දෙදෙනෙක් පැහැරගන්නා ලදහ. මැයි 1වනිදා යාපනය ප්‍රදේශයේ තරුණයකු කොළඹදී පැහැරගන්නා ලදී. මැයි 20වැනිදා මඩකලපුවේදී ඩිලූක්සන් ආනන්දරාජා නම් පුද්ගලයකු අතුරුදහන් විය. ජුලි 26වැනිදා යාපනයේදී පැහැර ගන්නා ලද බාලචන්ද්‍රන් සත්කුරුනාදන් නැමැත්තෙකුගේ මල සිරුර හමු විය. නොවැම්බර් 29වැනිදා යාපනය විශ්වවිද්‍යාල සිසුවකුවූ වේදරානියම් ලතීෂ් පැහැරගන්නා ලද බව වාර්තා විය. දෙසැම්බර් 6 වැනිදාද යාපනයේ තවත් දෙමළ තරුණයෙක් අතුරුදන් විය. මහින්ද රාජපක්ෂ පෞරුෂයෙන් ගිනිකණ වැටී අධිවේග මාර්ගයේ ආශ්චර්යය වන්දනාකරමින් සිටින බහුතරයට වගක් නැති මුත් ලංකාවේ අප ජීවත්වන්නේ කවර තරමේ භයානක අවස්ථාවකදැ'යි මේ ලැයිස්තුව දෙස බලන විට මැනැවින් තේරුම් යනු ඇත.
සෑම සිදුවීමකම ඇත්තේ එකම පොදු ලක්ෂණය. පැහැරගැනීමට පැමිණෙන්නෝ ටී56 ආයුධවලින් සන්නද්ධ පිරිසකි. සමහර අවස්ථාවලදී ඔවුහු හමුදා නිලඇඳුම්වලට සමාන ඇඳුම්ද ඇඳ සිටිති. පැහැරගන්නා ස්ථානය කවර තරමේ ආරක්ෂාවක් සහිතද, ආරක්ෂක හමුදා මුරපොළ ආසන්නයේ තිබේද යන්න වැදගත් නැත. කවර තැනකදී වුවත් පැහැරගැනෙයි. සමහරවිට ඊට අඩි දෙකතුනක් එහායින් පොලිස් හෝ හමුදා මුරපොළකි. මාර්ග බාධකයකි. බොහෝ පැහැරගැනීම් සිදුවන්නේ මහදවාලේ, දෙනෝදහක් බලා සිටියදීය. පැහැරගනු ලබන්නාහු එක්කෝ සදාකාලිකවම අතුරුදන් වන්නාහ. නැතහොත් මරාදමනු ලබන්නාහු ඔවුන්ගේ සිරුර කොතැනක හෝ දමා තිබියදී හමුවෙයි. නැතහොත් කලාතුරකින් නැවත එන්නට හැකියාව ලබන්නාහ. ඒ සෑම තෝරාගැනීමක්ම ඇත්තේ පැහැර ගනු ලබන්නා වෙත නොවේ. පැහැරගන්නා ලද පුද්ගලයා, නැවත එවන්නේද, මරාදමන්නේද යන්න පැහැරගත්වුන්ගේ කැමැත්තයි. මෙහිදී පොලීසියටද රාජකාරියක් ඇත. අහවල් තැන පුද්ගලයකු පැහැරගත්තේය යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක හරහා මාධ්‍යවලට වාර්තා කිරීමත්, ඒ ගැන වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බව කීමත්, ඉන්පසු තමන්ගේ වෙනත් වැඩක් බලාගෙන සිටීමත්ය. පැහැරගන්නා ලද පුද්ගලයා නැවත පැමිණියහොත් ඒ ගැන වහාම මාධ්‍යවලට වාර්තා කිරීමද නොවළහා ඉටුකරනු ලැබේ. එහෙත් මේ තීරණාත්මක සිදුවීම්වලට වගකිවයුතු කිසිවකු අත්අඩංගුවට ගැනීමත්, නීතිය ඉදිරියට ගෙනඒමත් වුවමනාවෙන්ම වැළකී සිටිය යුතු 'මහා අපචාරයක්' බව සිතා පොලිසිය කටයුතු කරන බව පෙනේ.
පසුගිය ඔක්තෝබර් 27 වැනිදා මහබාගේ ප්‍රදේශයේ දී සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් පැහැරගනු ලැබූ රාගම දේවාලයේ භාරකාර මොහොමඩ් සාලි මොහොමඩ් නිසාස් හෙවත් ලොකුසීයාගේ මළසිරුර නොවැම්බර් 6වැනිදා අක්කරෙයිපත්තු මුහුදු වෙරළට ගොඩගසන ලදුව පසුව ඥාතීන් විසින් හඳුනාගන්නා ලදී. මේ පුද්ගලයා බරපතළ ලෙස ශාරීරික වධහිංසාවන්ට භාජනය කොට ඇති බවද, ඔහුගේ සිරුරට විෂ රසායනික එන්නත් කොට ඇති බවද, කටුකම්බිවලින් හා පොලිතින්වලින් ඔතන ලද මළසිරුර මුහුදට දමා තිඛෙන්නේ ගලක් වැනි බරක් ගැටගසා බවද පරීක්ෂණවලදී හෙළිවී තිබිණි. කොළඹ දී මහදවල් පැහැගත්කු මේ තරම් වදබන්ධයන්ට ලක්කොට අක්කරෙයි පත්තුව වැනි සාපේක්ෂව ඉහළ ආරක්ෂක විධිවිධාන පවතින ප්‍රදේශයක මුහුදට ගොස් දමන්නට සාමාන්‍ය අපරාධකරුවන් පිරිසකට බැරි බව පැහැදිලිය.
වරකාපොලදී සුදුවෑන් රියෙන් පැහැරගන්නා ලද්දේ කරාටේ ධම්මිකය. (මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සමීප අධාරකරුවෙකි.) කඩුවෙලදී ගලබඩනම් පාතාල සාමාජිකයෙකි. මීගමුවේදී ෆෙරෝස්ය. දෙමටගොඩදී අජාය. බැලු බැල්මට මෙලෙස දකුණේදී පැහැර ගනු ලබන්නෝ කිසියම් අපරාධ කල්ලියක සාමාජිකයෝ බව පෙනේ ( උතුරු නැගෙනහිරදී නම් පැහැරගන්නේ පාතාල සම්බන්ධයක් නිසා නොවේ.) මේවා සිදුවන්නේ කාගේ වුවමනා මතද? ඒ ගැන කිසියම් අදහසක් ඇති කර ගැනීමට උදව්වන ප්‍රධාන ප්‍රවෘත්තියක් පසුගිය ජනවාරි 04වැනිදා ආණ්ඩුවේ දිනමිණ පුවත්පත පළ කළේය. එහි මුල් ඡේද දෙක මෙසේය.
'දරුණු ගණයේ අපරාධ සිදුකරමින් රටපුරා ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලි පනහකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මර්දනය කර තිබේ. මේ කල්ලි සාමාජිකයන් කොටු කර ගැනීම සඳහා පොලිසිය යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම අපරාධ කල්ලි මර්දනය කිරීමට හැකිව තිබුණි.
එම පාතාල කල්ලි සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදී තිබිණි.'
දිනමිණ කියන විදියට, සංවිධානාත්මක අපරාධ කල්ලි පනහකට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම සඳහා එම සාමාජිකයන් කිසිවකු අත්අඩංගුවට ගත් බවවත්, ඔවුන් අධිකරණය ඉදිරියට පමුණුවා නඩු විභාග කළ බවවත්, අධිකරණය ඔවුන්ට ද~ුවම් නියම කළ බවවත් අපට අසන්නට දකින්නට ලැබුණේ නැත. නීතියේ කාර්යපටිපාටියට අනුව එසේ විණි නම්, මේ අපරාධකරුවන් සමඟ එක්ව කටයුතු කළ අනෙක් අය කවුද, ඔවුන්ට උදව් කළ, අනුබල දුන් පුද්ගලයන් කවුද, ඔවුන්ට මුදල් ලැඛෙන්නේත්, ඔවුන් විවිධාකාරයෙන් රැස්කරගන්නා මුදල් වියදම්කරන්නේ කවරුන් විසින්ද යන්නත් කිසියම් දුරකට හෝ සොයාගන්නටත්, ඒ ගැන කරුණු හෙළිවන්නටත් කිසියම් ඉඩක් තිබිණි. දැන් ඒ කිසිවක් නැතිව, එක් එක් අපරාධකරු පමණක් තනිවම නොදන්නා තැනකට ගෙනගොස් දමා තිබේ. ඒ අනුව, දිනමිණ මේ කියන්නේ, නීතියේ කාර්යපටිපාටිය අනුව අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමේ මෙහෙයුමක් ගැන නොවේ. එසේ සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් අපරාධ කල්ලි සාමාජිකයන් zඅවසන් කිරීමේZ මෙහෙයුම ගැනය. ඒ අනුව, මේ සිදුවන්නේ මහින්ද චින්තනයට අනුව රටේ අපරාධ මර්දනය කිරීමේ මහා මෙහෙයුමයි. මේ මෙහෙයුමේදී ඒ ඒ බරපතළ අපරාධකරුවන් පෝෂණය කළ, ඔවුන්ගේ සහාය ලබාගත් කිසිදු දේශපාලනඥයකු, බලවතකු, නිලධාරියකු ගැන කරුණු හෙළි නොවේ. තමන්ගේම හෙංචයියන් වූ අපරාධකරුවන් තුරන්කොට අතසෝදාගෙන, සතියකට වරක් බැගින් දළදා මාලිගාවට හෝ කතරගමට ගොස් වැඳපුදාගෙන මහානායක හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබාගෙන පිරිසිදු මහත්වරුන්වීමට මේ බලවතුන්ට අගනා අවස්ථාවක් එයින් හිමිවෙයි.
ඒ මෙහෙයුමට නීතියක් නැත. පිළිවෙලක් නැත. සාධාරණ නඩු විභාගයක් අවශ්‍ය නැත. අධිකරණ අවශ්‍ය නැත. විනිසුරුවරුන් අවශ්‍ය නැත. අවශ්‍ය එකම දේ රටේ එක් බලවත් පුද්ගලයකුගේ හෝ දෙදෙනකුගේ අණඥාවත්, විනිශ්චයත් පමණය. රටේ අපරාධකරුවන් ලෙස හඳුන්වා ඇති නිසා, නීතිගරුක වැදගත් මහත්වරුන්ගෙන් හා මහත්මීන්ගෙන් යුත් අපේ සාමජය ද මේ අපරාධරකරුවන් මර්දනය කරනවාට ඉතසිතින් කැමතිය. (උතුරු නැගෙනහිර සිදුවන පැහැරගැනීම් හා ඝාතන මේ පරාසයට ඇතුළත් නොවන නමුත්, අපට ඒවා වාර්තා නොවේ. වාර්තා වුවත්, එසේ පැහැරගනු ලබන්නෝ දෙමළු සහ මුස්ලිම්හු බැවින් කම්පා විය යුතු කිසිවක්ද නැත.) රාජිත සේනාරත්න ඇමතිවරයා පසුගියදා මාධ්‍යවලට ප්‍රකාශකර තිබුණේ, ත්‍රස්තවාදීන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්ද නීතියට අනුව කටයුතු නොකරන නිසා, ඔවුන් මර්දනය කිරීමටද නීතිය අනුව බැරි බවය. මෙහි තේරුම නීතිය අනුව කටයුතු නොකර අය මර්දනයට ආණ්ඩුවද යොදාගත යුත්තේ කැලේ නීතිය බවය. ඇත්ත. රාජපක්ෂ ආණ්ඩුවේ නියමය එයයි. උතුරේ දෙමළ මිනිසුන් අයිතිවාසිකම් සඳහා කළ සටන, එහි සන්නද්ධමය ස්වරූපය, ආණ්ඩුවට පෙනුණේ මුළුමනින්ම හුදු ම්ලේච්ඡ ත්‍රස්තවායක් ලෙසය. රටට පන්නුවේද එලෙසය. ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමටයැ'යි කියා ආණ්ඩුවද කළේ ත්‍රස්තවාදය භාවිත කිරීමය. මේ රාජපක්ෂ නියමය පිළිගන්නේ නම්, රටකට නීතියක් අවශ්‍ය නැත. මානව හිමිකම් අවශ්‍ය නැත. අධිකරණ හා සාධාරණ නඩු විභාග අවශ්‍ය නැත. ඔවුන්ගේ නියමය අනුව, මානව හිමිකම් තිඛෙන්නේ අවශ්‍ය වෙලාවට කඩා බිඳ, තමන්ට රිසි සේ යුද්ධ කරන්නටය. රට පාලනය කරන්නටය. එහෙත්, මානව හිමිකම් සංකල්පය ගොඩනැගෙන්නේම, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, zඅවශ්‍ය ඕනෑම විදියකට යුද්ධ කිරීමේ සංකල්පය' ට සපුරා එරෙහිවය. නොකැඩිය යුතුයැ'යි පිළිගෙන ඇති හිමිකම් කවර යුද්ධයකදී වුවද කඩන්නට නොහැකිය.
අනෙක් අතට, කිසියම් තීරණාත්මක වෙලාවක සියලූ මානව සාරධර්මයන් හා පිළිගත් මානුෂවාදී ප්‍රමීතීන් සුණු විසුණු කොට දමා නැවත මුල සිට ගොඩනගමුයැ'යි කීවාට එය කළ නොහැකිය. යුද්ධය අවසන්වී අවුරුදු දෙකකට පසුවත් රටේ වැඩිදියුණු වෙමින් පවතින මිලිටරිකරණයත්, ඒකාධිපති පන්නයේ වැඩපිළිවෙලත් නැවත නැවතත් කියාපාන්නේ එම සත්‍යයයි.
සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කළයුතු බව සැබෑය. ශිෂ්ට සමාජයකට එය අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත්, පාතාලය මර්දනය කළ යුත්තේ ඊටත් වඩා බලගතු ආණ්ඩුවේ පාතාලයකින් නොවේ. එලෙස විසෙන් විස නසා අවසන්කොට, ඉන්පසු ඇතිවන නැවුම් පොළොවේ, අලූතෙන් නීතියේ ආධිපත්‍යයයේ මල්පැල සිටුවන්නට හැකිවේයැ'යි සිතනවා නම් එය දුෂ්කර ව්‍යායාමයකි. ආණ්ඩුවක් පාතාලයක්, ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත්වූ පසු නැවත සුදු රෙදි පොරවාගන්නට තම අත ඇති ආයුධවත්, ඒ ආයුධ හරහා ලබාගත් බලයවත් (තව තවත් දැඩිකර ගන්නාවා මිස) අත්හරිනනේ නැත. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය රටේ නිලනොවන පාලනාධිකාරිය කිරීමෙනුත්. 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අර්ධ ඒකාධිපති බලතල කාල නියමයක් නැතිවන සේ ව්‍යවස්ථාපිත කිරීමෙනුත් පෙනන්නේ එයයි. එවැනි ආණ්ඩුවකට තම ආයුධ හා නොපනත්කම් අතහැර සුදුරෙදි පොරවාගන්නටයැ'යි නීතිගරුක වන්නටයැ'යි කියන්නන්ද ආණ්ඩුවට පෙනෙන්නේ තම සතුරන් ලෙසය. එක් මොහොතක තමන් සමඟ සිටි, තමන් කළ දේ අනුමත කළ, දැන් තමන්ට විරුද්ධවන (සරත් ෆොන්සේකා වැනි) ප්‍රවේණිගත වෛරක්කාරයන් ලෙසය. ඒ වෛරය බොහෝ දැඩිය. ඵළව එළවා පළිගන්නා සුළුය.
ඒ නිසා, සුදු වෑන් එවා පාතාලය මර්දනය කොට, ඉන්පසු නීතියේ ආධිපත්‍යය සහිත දේශයක් ආණ්ඩුව ගොඩනගාවියැ'යි සිතා අද කැරෙන දේ අනුමතකරන්නේ නම් හෝ ඒ ගැන නිහ~ව සිටින්නේ නම් හෝ නම් අප යමින් සිටින්නේ මුලාවකටය. අද පාතාලයන් විනාශ කිරිමටයැ'යි සියල්ලන්ගේ අනුමැතියෙන් නීතිය කුණුමුල්ලට විසිකරමින් කරගෙන යන රාජපක්ෂ ආණ්ඩුවේ පිළිවෙත හෙට නියත වශයෙන්ම අනෙක් වෙනස් මත දරන්නෙන් වෙතද එල්ලනවා ඇත. පුහුලට තබන්නේද ලබ්බට තැබූ අතමය. ඒ නිසා, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම ගැන කතා කළ යුත්තේ හෙට නොවේ අදය. ඒ සඳහා ආණ්ඩුවේ මේ නොපනත්කම් අදම විවේචනය කළ යුතුය. අදම ඒවාට විරුද්ධ විය යුතුය. ඒවා නවත්වන්නට අදම මැදිහත් විය යුතුය. (ඇත්ත වශයෙන්ම එය පටන්ගත යුතුව තිබුණේ පසුගිය යුද්ධ කාලයේදීමය.)
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Share this article with your friends