Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

හොඳ සිහියට එන්නට කාලය පැමිණ තිබේ - තිසරණී ගුණසේකර - පරිවර්තනය : හේමන්ත රණවීර


අප ගොඩනැගූ සියල්ල නැතිවී යන තරම් අගාධායේ කෙළවරටම අප පැමිණ ඇත. අපගේ අකර්මණ්‍යත්වය සිඳ දමා හොඳ සිහියට එළඹීමට කාලය පැමිණ නැද්දැZයි ඔබම සිතා බලන්න. අපට ගතකිරීමට ලැබී ඇති ජීවිතය අප විසින් ඉල්ලා සිටිය යුතු නොවේද? 2006 රාබින් සැමරුම් දේශනය නිව්යෝර්ක් රිවීව් ඔෆ් බුක්ස් 11.07.2007
එල්ටීටීඊය පරදවා ලැබූ මින්පෙර නුවූ ජයග්‍රහණයෙන් පසු මින් පෙර නූවූ අයහපත් සිදුවීම් රැසක් ඇතිවෙමින් තිබේ. බලය අයථා ලෙස යෙදවීම නම් ශ්‍රී ලංකා දේශපාලනයට අලූත් දෙයක් නොවේ. එහෙත් පාලක පවුලේ දේශපාලනය හෙංචයියන් ඇති කළ වර්තමාන අපරාධ රැල්ල නූතන ලංකාවේ මින් පෙර ඇති නූවු තත්ත්වයකි. යුද ගැටුම් සමයේ භීතියක් තිබීම අසාමාන්‍ය දෙයක් නූවු නමුත් මේ අපරාධ රැල්ල නැගී එන්නේ සාමකාමී සමයේය.
ලංකාව තුළ කෙදිනක හෝ රජයේ නිලධාරියකු ප්‍රසිද්ධියේ ගස් බැඳ තිබුණේද? එකම දේශපාලන පක්ෂයේ කල්ලි දෙකක් ජනාකීර්ණ මංසන්ධියක සිවුදෙනකුට මරු කැඳවමින් තුවක්කු භාවිත කළ අවස්ථා මින් පෙර නොතිබුණි. මින් පෙර ශ්‍රී ලංකාවේ කිසිදාක දේශපාලනඥයකු නිරායුධ පුද්ගලයකු මරා දමා කාන්තාවක සමූහ දූෂණයට ලක් කර තිබුණේද? එසේ මැරුම් කෑ අය ශ්‍රී ලාංකිකයන් වී නම් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප 2010 ජනාධිපතිවරණයේදී වයසක කාන්තාවක මරා බේරී ගිය ලෙසම බේරෙන්නට ඉඩ තිබුණි. උසස් පෙළ ප්‍රතිඵල අවුල මින් පෙරවූ හෙජින් ගනුදෙනුව, බාල ඉන්ධන ගෙන ඒම වැනිම පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් නිසා සිදුවූවකි.


ශ්‍රී ලංකාවේ පරිපාලනයේ අකාර්යක්ෂමතාව හා අක්‍රමිකතා වැනි දුර්වලතා තිබුණත් මේ පරිමාණයේ සහ මෙපමණ සංඛ්‍යාවක දූෂණ වංචා නම් මින් පෙර තිබුණේ නැත. ලක්විජය බලාගාරය වැඩ අරඹා ගත වූ 13මස තුළ තෙවරක් ගිනිගත් අතර පසුගිය සතියේ ඇති වූ ගින්න විශාල හානි ගෙන දුන්නේය. විදුලිබල මණ්ඩලය ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට අනුව මෙසේ නිතර නිතර ගිනි ඇතිවෙන්නේ මෙබඳු කම්හලකට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදා නොමැති බැවිනි. (දි. අයිලන්ඩ් 7.1.2012)
තංගල්ල මිනිස් ඝාතනයෙන් දිවිගලවා ගත් රුසියන් සංචාරිකා වික්ටෝරියා ඇලෙක් සැන්ඩ්‍රොව්නා සම්පත් චන්ද්‍රපුෂ්ප ඇතුලූ මිනීමැරුමේ සැකකරුවන් හඳුනා ගත්තාය. ඇය දූෂණය කළවුන් හඳුනා ගැනීමට නොහැකි වූයේ දූෂණය කරනවිට ඇය සිහිසුන්ව සිටි බැවිනි. මේ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා මාධ්‍යයේ වාර්තා වී තිබුණි. දැන්වත් රාජපක්ෂවරුන් මේ දාමරිකයන් පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේද? එසේ කිරීමට අසමත්වීම අනෙකුත් අපරාධකරුවන්ටත් නීතියට පිටින් කටයුතු කිරීමට අනුබලදීමක් වේ.
අධ්‍යාපනයට අඩුවෙන් මුදල් වෙන් කරන නිසි පිළිවෙලක් නැති අධ්‍යාපන ක්‍රමයක් ඇති කිසිම රටක සංවර්ධනයක් ඇති කරගත නොහේ. සංචාරකයන් තුවක්කු දරා සිටින දේශපාලන මැරවරයන්ගෙන් සුරක්ෂිත නොවේ නම් සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම වළක්වා ගත නොහැක. මේ ම්ලේච්ඡ සිදුවීම් දෙක රටේ ආර්ථීක සංවර්ධනය හා ජාතික සමෘද්ධියට මෙන්ම සිවිල් වැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමටත් එක සේ බලපානු ඇත.
නව ලිබරල්වාදීන් මනාව දන්නා ලෙස ඉතිහාසය අවසන්වන්නේ නැත. සුරංගනා කතාවක නම් වීරයා රට දිනාගෙන කුමරියද බේරාගෙන සියල්ල සතුටින් කෙළවර වේ. එහෙත් යථාර්ථය තුළ රට පාලනය කරන වීරයන් තමන් හිස සිඳ දැමූ යක්ෂයන්ගේ තත්ත්වයටම පත්වේ. මෙබඳු භයංකාර විපතක හොඳම උදාහරණය සිම්බාබ්වේ දේශයයි. විමුක්තිදායකයෝ සදාතනික පාලකයන්වීමට වෑයම් දැරූහ.
ඒකාධිපතියෝ එතරම් ප්‍රිය නොවන සැබෑ තත්ත්වයට වඩා මන:කල්පිත ලෝක ප්‍රිය කරති. සිවිල් වැසියන් කිසිවකුට හැකිනුවූ මානුෂික මෙහෙයුමේ සිට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය, ආශ්චර්යමත් සංවර්ධනය හා අනාගත සෞභාග්‍යය වැනි අභ්‍යවාදී මන:කල්පිත තෙක් ඇදීගියෙමු. අවශ්‍යව ඇත්තේ ප්‍රශ්න විසඳීම නොව ඒවා පාපිසි යටට අතුගෑම බව දන්නා බැවින් ගෝලයෝ මෙය අන්තයකට ගෙන ගියහ. ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර ගැටුම් කණ්ඩායම ඉදිරිපත් කළ වාර්තාවට වොෂින්ටන්හි තානාපති තේ වෙළෙන්දකු වූ ජාලිය වික්‍රමසූරිය ප්‍රතිචාර දැක්වූ අයෝග්‍ය ආකාරය මීට හොඳ නිදසුනකි. රාජපක්ෂලාගේ ළඟ ඥාතියකු වූ ඔහු එනිසාම ඉහළ තනතුරුවලට ඔසවනු ලැබුවෙකි. ඔහුගේ මව රාජපක්ෂ සහෝදරියන්ගේ නෑනා කෙනෙක් වේ.
මේ ගැන වික්‍රමසූරිය මහතා කළ ප්‍රකාශවල තර්ක බස හැසිරවීමටද වඩා තදබල ලෙස සාවද්‍යය. ඔහු ලංකාවේ රජයේ ආයතන කළ නිල ප්‍රකාශන ගැන පවා නොදන්නා බව පළ කළේය. ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දූෂණ සිදුවීම ඔහු මුලින් ප්‍රතික්ෂේප කර සිටියේය. zශ්‍රී ලංකාව තුළ එබඳු දෑ සිදුවන්නෑZ ඔහු කීවේය. (ග්‍රවුන්ඩ්වීව්ස් 6.1.2012) ස්ත්‍රී දූෂණ සිදුනොවීමේ සිට දුෂණ කීපයක් සිදුවූ බව පිළිගන්නා තත්ත්වයට යෑමට ඔහුට සිදුවිය. zඅනික් රටවල වගේ ඉඳහිට එක දෙකක් සිදුවෙනවාZ ඔහු කීවේ ශ්‍රී ලංකා පොලීසිය දක්වන අදහස්වලට පටහැනිව යමිනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මේ වසරේ දිවයිනේ වාර්තා වූ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව පසුගිය වසරවලට වඩා සෑහෙන්න වැඩිවී ඇති බව ප්‍රකාශ කළේය. (කලම්බු පේජ් 28.12.2011)
ඇත්තෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ව්‍යසනයක් බවට පත්වෙමින් තිබේ. මේ දරුණු අපරාධවලට ලක් වන්නන්ගෙන් වැඩි දෙනක් අවුරුදු 16ට අඩු ළමයිය. වර්තමාන සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ස්ත්‍රීන්ට එරෙහි දූෂණ හා බලහත්කාරකම් 5ක් සිදුවේ. 2007 සිට මේ සිද්ධි විශාල ලෙස වැඩි වී තිබේ. 1995 සිද්ධි 542ක් සිදුවූ අතර 2007 දී එය 1397 දක්වා වැඩිවිය. 2008, එය 1582 දක්වාද 2009 , 1624 දක්වාද, 2010දී 1854 දක්වාද වැඩිවී තිබේ. වික්‍රමසූරිය මහතා නිල සංඛ්‍යා ලේඛන ගැන සොයා බැලූවේ නම් මෙබඳු අපහසුතාවන්ට ලක්වීමෙන් බේරීමට ඉඩ තිබුණි. තානාපතීන්ගේ මේ දුර්දාන්ත කටයුතු නිසා රාජ්‍යතාන්ත්‍රිකයන් අතීතයේ කළ කටයුතු කරගැනීමට ඩොලර් මිලියන ගණන් වැය කොට මහජන සම්බන්ධතා ආයතන කුලියට ගැනීමට සිදුවීම අරුමයක් නොවේ. තානාපති වික්‍රමසූරියගේ මේ හානිදායක හැසිරීම රාජපක්ෂ පාලනය උරුම කරගත හැකි දුර්වලතාවල පෙන්නුම් කිරීමකි. රාජපක්ෂ පාලනය යටතේ දේශපාලකයකුගෙන් හෝ රාජ්‍ය නිලධාරියකුලෙන් බලාපොරොත්තු වන එකම ගුණාංගය බැගෑපත් කීකරුකම පමණි. ඔහු ඥාතියකු හෝ හෙංචයියකු නම් සුදුසුකම් කිසිවක් අවශ්‍ය නැත. මර්වින් සිල්වා ඉදිරියට ගිය ආකාරයෙනි. නීතිපති දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකිරීම, සම්පත් චන්ද්‍රපුෂ්ප එක මිනීමැරුමක් කර බේරී තවත් එකක් කිරීම හොඳ නිදසුන් වේ.
සෑම ඒකාධිපතියකුම තමන්ගේ අඩුපාඩු. ජනප්‍රියතාව පිරිහීම මකා ගැනීමට කරන්නේ බොරුව ඒත්තු ගැන්වීම තුළිනි. ප්‍රතික්ෂේප කිරීම මෙබඳු ක්‍රමයක ප්‍රධාන අංගයකි. වික්‍රමසූරිය, ඔහුගේ ඥාතියා ගෝඨාභය රාජපක්ෂගේ, මුලින් කිසිදු සිවිල් වැසියකුට හානි නොවීම සහ පසුව හානි කීපයක් සිදුවීම දක්වා වෙනස් කිරීමේ පිළිවෙත අනුගමනය කළේය. ජනප්‍රිය භෝජන ශාලාවක බත් පැකට්ටුවක ඉමිටේෂන් මුද්දක් හමුවූ විට මුලදී එහි අයිතිකරු වගකීම භාර ගත්තද පසුව බහුජාතික සමාගම්වල කුමන්ත්‍රණයක් නිසා මෙය සිදුවී ඇති බව පත් කළේය. (ගොසිප් ලංකා 6.1.2012)
සංචාරකයන් මියයන අතර සමහර විටෙක මරණ අවස්ථාද ඇත. එහෙත් පාලක පක්ෂයේ දේශපාලනඥයකු හා ඔහුගේ මැරවර ගෝලයන් විසින් සංචාරයකු මරා දැමීමේ එකම සිද්ධිය මෙය විය හැකිය. රාජපක්ෂලාගේ කණ්ඩායමේ සාමාජිකයන් සහ උදව්කරුවන් කරන මේ අපරාධවල දරුණුකම, ඒවා පාලනය කිරීමට අසමත්වීම අතිභයානකය. අපගේ රටේ දේශපාලනය සහ සමාජය මේ මට්ටමට පිරීහීම ගැන ජනතාවද වගකිවයුතු බවට ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කරන ප්‍රකාශය අඩක් නිවැරදිය. අපි පාලකයන්ට අපගේ අයිතීන් කැමති ලෙස නැති කිරීමට බලය දුන්නෙමු. මනාප දුන්නේ සමාජයට වැඩක් කළ හැකි අයට නොව යහමින් මුදල් ඇති මැරයන්ට හෝ ලස්සන තාරකාවලටය. ඡන්දදායකයා කියන්නේ ඔවුන් නුසුදුස්සන්ට ඡන්ද දුන්නේ දේශපාලන නායකයන් ඔවුන්ට අපේක්ෂකත්වය දුන් නිසා බවය. දේශපාලන නායකයන් කියන්නේ ඔවුන් එබන්දන්ට නාමයෝජනා දුන්නේ මැතිවරණ දිනිය හැක්කේ එබඳු පුද්ගලයන් නිසා බවය. දේශපාලන නායකයන් අපරාධකාරී අතීතයක් ඇති පුද්ගලයන්ට නාමයෝජනා නොදිය යුතුව තිබුණා. මෙන්ම ඡන්දදායකයාද පක්ෂයට ඡන්දය දී එබඳු මැරයන්ට මනාප නොදිය යුතුව තිබිණ. දුමින්ද සිල්වා උදාහරණයට ගනිමු. ඔහුගේ පෙර වැරදි නොසලකා එජාපය සහ සන්ධානය දෙකම ඔහුට නාමයෝජනා දුන්නා. ඔහුට තදබල චෝදනා දෙකක් තිබිණි. ළමා අපයෝජනය සහ පැහැර ගැනීමයි. ඔහු තවත් හිංසාකාරී ක්‍රියාවලටද සම්බන්ධව සිට ඇත. දෙපක්ෂයේම ඡන්දදායකයෝ නැවත නැවතත් විශාල මනාප සංඛ්‍යාවක් ඔහුට ලබා දුන්හ.
මර්වින් සිල්වා කොළඹට කීපවරක් තරග කර අන්ත පරාජයට ලක්විය. රාජපක්ෂ ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ කැලනියට දැමූ විට 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉහළ මනාප සංඛ්‍යාවක් ගෙන පාර්ලිමේන්තුවට පත්විය. ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප ඡන්දදායකයෝ දේශපාලනය නොදත් නිළියක මනාපවලින් කරු ජයසූරියටද ඉහළින් තැබූහ. ඇය කළේ ඔවුන් කළ වැරැද්ද පෙන්වා දෙමින් පළමු අවස්ථාවේදීම අනික් පැත්තට මාරුවීමය. ඒ අනුව ඇමති රඹුක්වැල්ල අඩක් නිවැරදිය. ප්‍රධානතවම වැරැද්ද රාජපක්ෂ හා ගෝලයන්ට පැවරෙන අතර ඡන්දයාකයන් වන අපිද එහි කොටස්කරුවෝ වෙමු.
පාර්ලිමේන්තුවේ පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල අපරාධකරුවන් හා සමාජ විරෝධීන් සිටින්නේ පක්ෂ නායකයන් ඔවුන්ට නාමයෝජනා දීමක් ඡන්දදායකයන් විසින් මනාප දීමත් නිසාය. ඡන්දදායකයන්ට අවශ්‍ය නම් අපරාධකාරයන්ට මනාප නොදී පක්ෂ නායකයන්ට පාඩමක් ඉගැන්විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයවල ජනතාවට ලැඛෙන්නේ ඔවුන්ට අවශ්‍ය නායකයන්ය. අපට අවශ්‍ය දුමින්ද සිල්වා, මර්වින් සිල්වා වැනි මන්ත්‍රීන් නම් සම්පත් චන්ද්‍රපුෂ්ප වැනි පළාත් පාලන සභාපතිලා නම් අපි කවුරුන් වෙමුද?
- රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Share this article with your friends