Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

නැගෙනහිර උදානයේ මහා අඳෝනාව - කුසල් පෙරේරා


''අපට 'වී.ආර්.එස්' අර ගෙන යන්න කිව්වා. තාම වන්දියත් නැහැ....මට දැන් පඩි බාගෙත් නැහැ-රස්සාවත් නැහැ. දැන් ඉතිං මට වස බෝතලයක් ගන්නවත් සල්ලි නැහැ.....කොළඹින් එකක් එවනවා නම් ලොකු උදව්වක්....''
''අපේ දාඩියෙන් හම්බ කළ සල්ලි වලින් තමයි ඇඹිළිපිටය පටන් ගත්තේ....යුනියන් ප්ලේස් හෙඩ් ඔෆීස් බිල්ඩිම හැදුවේ....දැන් ඒවා සේරම විකුණලා, ඒ සල්ලි වලින් ආණ්ඩුව කාලා බීලා ඉන්නවා...අපේ පවුල් බඩගින්නේ...''
''අවුරුද්දකට දෙකකට කලින් ආණ්ඩුව ගම්පහින් මහත්තයෙක් පත් කෙරුවා සභාපති කියලා....එයා වැඩකට නැති බොයිලේරුවක් ඉන්දියාවෙන් ගෙන්නුවා ලක්ෂ 320 ට විතර....සමිති වලින් අපි කිව්වා ඒක වැඩක් නැහැ කියලා....ඒක දැන් අට්ටාලයක් උඩ තියෙනවා...ඒ සල්ලි වලින් අපේ වන්දි මුදල් දුන්නා නම්, ඊට වැඩිය ලාබයි.''


මෙවැනි තව බොහෝ ආවේගශීලි ප්‍රකාශ වලට සවන් දී සිටීමට සිදුවූයේ වාලච්චේනි කඩදාසි කම්හලේ සේවක රැස්වීමකට සහභාගි වන්නට මට අහඹු අවස්ථාවක් ලැබුණෙනි. මඩකළපු දිස්ති්‍රක්කයට අයත් වාලච්චේනිය දක්වා ගමන දැන් තරමක පහසු ගමනකි. මඩකළපුව දක්වා දිවෙන පාරවල් ඉතා සුන්දර නැවුම් බවක් සමගින් කිලෝ මීටර ගණන් දිගු ඇදෙයි. මඩකළපු යන අතර ඔට්ටමාවඩි පසු කළ විගස, වාලච්චේනිය නගරය ආසන්නයෙන් දකුණට හැරී කෙටි දුරක් යන විට මෙරට විශාලම කඩදහි නිෂ්පාදන කම්හල හමුවන්නේ ය. අක්කර 160 ක පමණ විශාල භූමි ප්‍රමාණයක පැතිර ඇති ගොඩනැගිලි සමග වන එය, තවමත් රාජ්‍ය ව්‍යවසායක ආයතනයකි. එළෙසින්ම, උතුරේ කන්කසන්තුරෙයි සිමෙන්ති, පුල්මුඩෙයි ඛනිජ වැලි සහ පරන්තන් රසායනික කම්හල් යළි ආරම්භ නොකෙරෙන්නේ නම්, මෙය උතුරු - නැගෙනහිර දෙපළාතටම ඉතිරි වන එකම රාජ්‍ය ව්‍යවසායි ආයතනය ද වන්නේ ය.
වාලච්චේනියේ මෙම කම්හල ආරම්භ කර ඇත්තේ 1957 දී පමණ ය. ඒ සඳහා පළමු යන්ත්‍රෝපකරණ ගෙන්වා ඇත්තේ ජර්මනියෙනි. පසුව පිලිප් ගුණවර්ධන යු.ඇන්.පි ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස 1968 දී එයට තවත් එකතුවක් කර ඇති අතර, එහි නව නිෂ්පාදන කටයුතු මෛතී්‍රපාල සේනානායක ඇමති ගේ මූලිකත්වයෙන් 1972 දී ආරම්භ කර ඇත.
විවෘත ආර්ථීකය 1978 ආරම්භ කෙරෙන විට, වාලච්චේනි කඩදාසි කම්හලෙහි සේවක පිරිස 3,000 ක් පමණ විය. ඒ වටා තවත් වක්‍ර ආදායම් ලබන්නවුන් 2,000 ට වඩා සිටියේ යැයි පැරණි සේවකයෙක් පැවසී ය. ඒ වන විට, පසුව ආරම්භ කෙරුනු ඇඹිලිපිටය කම්හල ද සමගින් මෙරට කඩදාසි ඉල්ලූමෙන් සියයට 70 ක් පමණ වාලච්චේනිය කම්හලින් සැපයුනි. අභ්‍යාස පොත් සමග, විවිධ වර්ගයේ කඩදාසි එහි නිෂ්පාදනය කරනු ලැබිණ. මේ හේතුවෙන් වාලච්චේනිය කඩදාසි කම්හල සඳහා වසර කිහිපයක්ම ජනාධිපති සම්මානය ද ලැබී ඇත.
එකල වාලච්චේනි කම්හලේ රැකියාවල් සඳහා ඉමහත් ඉල්ලමුක් ද තිබී ඇත. ''ඒ කාලයේ බැංකු රැකියාවකට යනවට වඩා වාලච්චේනියේ රැකියාවකට යන්න තරුණ ළමයි කැමති වුනා. පඩියත් සාමාන්‍යයෙන් හොඳයි. අනිත් එක, හැම සුමානෙම වගේ මුදලක් අතට ලැබුණා....අතිකාල දීමනාව එක සතියක්, දිරි දීමනාව තව සතියක්....ඊළග සතියේ මාස පඩිය....ඒ නිසා වාලච්චේනියේ රස්සාවක් කිරීමට හැමෝම උත්සාහ කෙරුවා....'' තවත් එක් පැරණි සේවකයෙක් මා සමග කීවේ ය.
විවෘත ආර්ථීකයේ තරගකාරිත්වයට මුහුණ දීමට ද මුල් වසර වල දී වාලච්චේනියට හා ඇඹිලිපිටියට හැකි වූයේ ආනයනය කරනු ලැබූ කඩදාසි සඳහා බද්දක් පැනවීමට ආණ්ඩුව කැමති වූයෙනි. එහෙත් පසුව දේශපාලනය හා ව්‍යාපාරික වුවමනාවන් මත, වාලච්චේනියේ නිෂ්පාදනය කළ අභ්‍යාස පොත් පෞද්ගලික වෙළන්දෙකුට ලබා දීම සඳහා, ඉන්දියාවෙන් වාලච්චේනිය කම්හලට ගෙන්වා ගැනීමට සැළසුම් කළ නව නිෂ්පාදන යන්ත්‍රය නතර කෙරුනි. ඒ වෙනුවට එවැන්නක් පෞද්ගලික ව්‍යාපාරිකයාට ආනයනය කිරීමට අවසර ලැබී ඇත. කඩදාසි වෙළඳාම අධික මුදලක් එහා මෙහා වන ව්‍යාපාරයක් යැයි වෘත්තීය සමිති නායකයෝ පැවසූහ. එනිසා කොළඹ ව්‍යාපාරිකයින් ද මෙවැනි කඩදාසි නිෂ්පාදනය කිරීමේ කම්හලක් මෙහි නැවත ආරම්භ කිරීමට අකමැති යැයි ඔවුහු කීහ.
අද ? අද වාලච්චේනි කඩදාසි කම්හල මහා අඳෝනාවකි. සියලූ ගොඩනැගිලි ගරා වැටී ඇත. සියලූ යන්ත්‍රෝපකරණ කි්‍රයා විරහත ය. පසු ගිය වසර මැද වන විට, 1997 සිට එකතු වී ඇති පාඩුව රුපියල් දස ලක්ෂ 70,000 ක් යැයි එහි වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම පාඩුව පියවීම සඳහා එහි පාලකයින් විසින් කොළඹ යුනියන් පෙදෙසෙහි මූලස්ථාන ගොඩනැගිල්ල රුපියල් දස ලක්ෂ 400 ට විකුණා ඇතත් පාඩුව එසේම යැයි ඔවුහු පවසති. විදුලි බල මණ්ඩලයෙන් විදුලි බලය කපා හැර ඇත. අය විය යුතු විදුලි බිල රුපියල් දස ලක්ෂ 140 ක් යැයි පැවසින. මෙතෙක් මේ පාලන සභාව 2008 සිට කිසිදු සේවකයෙකු ගේ අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් රුපියල් කෝටි ගණනක් ගෙවා නැතැයි ද ඔවුහු පැවසූහ.
එනිසා දැන් එහි කිසිදු වැදගත් කාර්යක් සිදු නොවේ. පසු ගිය වසර 05 ක පමණ සිට සේවක සංඛ්‍යාව ක්‍රමානුකූලව 200 ට පමණ පහත වැටී ඇත. අවසාන වටයේ පාලක මණ්ඩලය විසින් යෝජනා කළ ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම යෑමට ඉල්ලූම් කර සේවයෙන් නිදහස් වූ කිසිවකුට, වන්දි මුදල ලබා දෙන තුරු ගෙවීමට පොරොන්දු වූ මාසික අඩ වැටුප හෝ ගෙවන්නේ නැත. ඉතිරිව ඉන්නා පිරිසට වැටුප් ගෙවීමේ කිසිදු සහතිකයක් නැත. ඔවුන්ට නත්තලට පෙර වැටුප් ලැබී නැත. හින්දු ආගමික භක්තිකයින් අති බහුතරයක් වන ඔවුන්ට, පසු ගිය තයි පොංගල් උත්සවය සඳහා හෝ වැටුප් ලැබුණේ නැතැයි ඔවුහු පැවසූහ.
කිසි දිනක වැටුප් ගෙවන්නේ නැති ද යන ප්‍රශ්නයට වූ එකම ගෝසාකාරී පිළිතුර වූයේ, කම්හලේ ඇති යකඩ, යන්ත්‍රෝපකරණ, තඹ රැහැන් සියල්ල වරින් වර ගලවා ගෙන ගොස් ඒවා අලෙවි කර ලබන මුදලින් විටින් විට වැටුප් ගෙවන බව ය.
මේ සියල්ලෙහි දේශපාලනයක් ඇතැයි ඔවුහු බොහෝ දෙන පැවසූහ. ඒ දේශපාලනය කුමක් ද ? නැගෙනහිර උදානය ඉදිරිපත් කිරීමෙන් ලොවට ප්‍රකාශ කරන ප්‍රෝඩාවට යටින්, උතුරු නැගෙනහිර ජනතාව සම්බන්ධව මේ ආණ්ඩුවේ ආකල්පය හා සැළකීම ඉන් පිළිබිඹු කෙරෙන්නේ ය. එය ආණ්ඩුවේ දේශපාලනයයි. මහ මාර්ග, පාළම් බෝක්කු, දැවැන්ත කාර්යාල ගොඩනැගිලි, වෙරළ බඩ පෙදෙස් විනාශ කරන මහ හෝටල් කිසිවකින් මේ නැගෙනහිර ජනතාවගේ ජීවනෝපාය, ගෞරවනීය ජීවන පැවැත්මකට බඳුන් කරන්නේ නැත. සුන්දර පාසිකුඩා වෙරළ වසා දැන් නැගී සිටින්නේ සීඝ්‍රයෙන් ඉදි කෙරෙන සුවිසල් හෝටල් ය.
මහ ඇමති පිල්ලෙයාන් ද මහ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද මේ හෝටල් ගැන දැඩි උනන්දුවක් පෙන්වන අතර රාජපක්ෂ පවුලේ ආසන්නම සාමාජිකයින් ද එම හෝටල් හැදීමට සම්බන්ධ යැයි අවට පිරිස් නම් නැතිව කියති. එම ඉදිකිරීම් වල සේවය සඳහා දකුණෙන් පැමිණ ඉන්නා සිංහල උදවිය පවසන්නේ ඔවුන් හෝටල් සංස්ථාවෙන් පත් කර ඇති බව ය. එම ගොඩනැගිලි සම්පුර්ණ වූ පසු, ඒවායේ රැකියා කිරීමට, ඒවායේ ඇති පහසුකම් බුක්ති විඳීමට තබා ඒවා අසළට යෑමට හෝ ඔවුනට නොහැකි යැයි ප්‍රදේශවාසීන් ගේ පොදු විශ්වාසයයි. ඔවුන්ට ඇත්තේ එවැනි ඉදිකිරීම් කටයුතු සමග කාන්දු වන ඉතා ස්වල්ප තාවකාලික ආදායමක් පමණි. නැගෙනහිර උදානයේ ඔවුන්ට ආදායම් ඉපැයීමේ කිසිදු ස්ථාවර සැළැස්මක් නැතැයි ඔවුහු කියති.
වාලච්චේනි කඩදාසි කම්හල නැවත ස්ථාවර සැළැස්මක් ඇතිව ආරම්භ කිරීමේ වැදගත්කම ඇත්තේ එවැනි පසු බිමක ය. එහෙත් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග් ධන වියදම, ඇඹිලිපිටිය කම්හල මෙන් එය අලෙවි කිරීමෙන් හෝ විදේශ සමාගමකට බදු දීමෙන් හෝ ලබා ගැනීමට නොහැකි තරමට දැන් එය ගරා වැටී ඇත. අලෙවි කරන්්නේ නම් ඇත්තේ එහි ඉඩම් ප්‍රමාණය පමණි. එහෙත් පුදුමය වන්නේ ඒ සඳහා හෝ පසු ගිය දෙසැම්බරයේ ආණ්ඩුව සම්මත කළ පණත යටතේ පාඩු ලබන ආයතන නැවත පවරා ගැනීමට මෙම කම්හල නම් නොකිරීම යැයි සමිති නායකයින් කියයි.
වාලච්චේනි කම්හල නැවත ප්‍රතිසංස්කරණය කිරීමට අලූත් තාක්ෂණය සමග අලූත් යන්ත්‍රෝපකරණ අවශ්‍ය බව ද ඒ සඳහා ඉන්දීය යන්ත්‍රෝපකරන පහසු ණය ක්‍රමයක් යටතේ ලබා ගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුවට එය කළ හැකි යැයි ද ඔවුහු පවසති. යුද්ධයෙන් විපතට පත් ප්‍රදේශයක දහස් ගණනක ජනතාවකගේ ස්ථාවර රැකියා සහ ජීවනෝපායන් සඳහා නිෂ්පාදන ආයතනයක් ලෙස වාලච්චේනිය ඉදිරිපත් කරන්නේ නම්, අවශ්‍ය සියලූ ආධාර ලබා ගත හැකි බව ද ඔවුහු අවධාරණය කරති.
ඒ අනුව, වාලච්චේනි කම්හලේ වෘත්තීය සමිති සතරින් එකක් වන නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සේවා වෘත්තීය සමිතිය පැවැත් වූ සාමාජික හමුවේ දී යෝජනා 03 ක් සම්මත විය. ඉන් පළමු වැන්නෙන් කියැවෙන්නේ, ආණ්ඩුවත්, අදාළ ඇමතිවරයාත් එහි පාලන සභාවත් මෙම කම්හල මෙලෙස විනාශ මුඛයට ඇද දැමීම ගැන ඔවුන් ගේ විරෝධය ය. දෙවැන්න, මෙය නැගෙනහිර පළාතේ රැකියා උත්පාදනයේදී සංවර්ධන කි්‍රයාවලියට අත්‍යවශ්‍ය ආර්ථීක ආයතනයක් බවත් එනිසා මෙය මෙලෙස විනාශ නොකර යළි ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් යෝජනා කරන්නේ ය. තෙවැන්න, මෙය අලූත් තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ සමගින් ප්‍රතිසංස්කරණය කිරීමේ දී වෘත්තීය සමිති හා සාකච්ඡා කර සැළසුම් සකස් කළ යුතු බවත් යෝජනා කරන්නේ ය. ඒ සමග දැනට සේවයේ නියුතු සියල්ලන්ට නිසි පරිදි වැටුප් හා අර්ථසාධක අරමුදල් සාමාජිකත්වය ගෙවිය යුතු බවත් සඳහන් වන්නේ ය.
මේ ආණ්ඩුව මේ කාර්යන් එළෙස යහපත් අයුරින් සිදු කරනු ඇති ද ? සාමාන්‍ය සේවකයින්ට ඒ ගැන කිසිදු බලාපොරොත්තුවක් නැත. එහෙත් වෘත්තීය සමිති නායකයින්ට මේ ඛේදවාචකය අත හැර දැමිය නොහැක. නැගෙනහිර උදානයේ මේ මහා ඛේදවාචකය එවැනි හෙයියම්මාරුවකි.

































































































Source : lankanewsweb.com

Share this article with your friends